දකුණු ලකේ නම රැන්දු හෙල්මට් අක්කා ඉන්දු

අප්‍රේල් 29, 2024

අවුරුද්දට හිස් වෙච්ච කොළඹ ආයේ සෙනඟින් පිරෙන්න පටන් අරන්. හරියටම මට මතක් වෙන්නේ පොද වැස්ස එකින් එක එකතු වෙලා ඉස්සර මහකනදරාව පිරෙනවා වගෙයි. හිස් වෙච්ච කොළඹ මිනිස්සුන්ගෙන් පිරෙද්දි... මිනිස්සුන්ගෙන්, වාහනවලින් පිරිල තිබුණ අධිවේගී මාර්ගය ආයෙමත් හිස් වෙන්න පටන් අරන්.

මම යන්නේ අන්න ඒ හිස් වෙච්ච දකුණු අධිවේගී මාර්ගය දිගේ. ඒ ගමනාන්තයේ මම හොයාගෙන යන්නේ ඇයව. හෙල්මට් අක්කා ගැන ආරංචි වුණ දවසේ ඉඳලම මට තිබුණේ ඇයව ඇසින් ඇස මුණ ගැසීමේ බලාපොරොත්තුවක්. මොකද ඇය ඒතරමටම දිරිය ගැහැනියක්. මඳ පොද වැහි වැටෙමින් දක්ෂිණ අධිවේගී මාර්ගය දිගේ මම යන්නේ දක්ෂිණපාය දිහාවට.

මම දැන් ඉන්නේ දක්ෂිණපාය ඉදිරිපිට. 'මෙතැනට ආවොත් මාව ඕ‍ෙන වෙලාවක හමුවෙන්න පුළුවන්'. පෙරදාක රාත්‍රියේ ඇය ලබා දුන් ඇමතුම එසේය. මේ ගමන ඇයගේ විස්කම් දෑතින් මතුවන දස්කම් දැකීම පිණිසමයි. 'හෙල්මට් අක්කා' මුළු දකුණු ලකම එයාව දන්නේ ඒ නමින්. මිනිහෙක්ගේ ඔළුව පරෙස්සම් කරනවා කියන්නේ වෙනම වැඩකි. ඔළුව පරෙස්සම් කරන්න ගැහැණියක් ඉදිරිපත් වෙනවා කියන්නේ ඒක වෙනමම වැඩක්. අපි ඇවිත් ඉන්නේ අන්න ඒ යකඩ ගැහැනිය සොයාගෙන.

උදෑසන එළැ‍ෙඹන්නටත් කළින් අපි එතැනට වෙලා බලන් හිටියේ එයා එන පුංචිම පුංචි බස් එක එනකම්. ඈතින් බස් එක එනකොට තැනින් තැන මතු වෙච්ච බයිසිකල් දක්ෂිණපාය ඉස්සරහට ආවේ ඇයගේ සේවාව ලබාගනු පිණිසමය. ඊට ඉස්සෙල්ලා අපි ඉක්මන් වුණා.

ඉතින් කොහොම ද?

ඇය අපිව පිළිගත්තේ හරිම සුහදශීලි හිනහවකින්. ඇගේ හැඟුම්බර බව වගේම ශක්තිමත් බවත් ඒ මුහුණේ ගැබ්වෙලා තිබුණා. මම ඇගේ ඇස් දෙක දිහා බලාගෙනම ඇගේ හදවතට එබුණා. මේ ඇගේ කතාව.

සෑහෙන පිරිසක් එනවා නේද ඉන්දු අක්කට කියලා හෙල්මට් හදාගන්න....

ඔව් දැන් ව්‍යාපාරය සරුයි. කිලෝ මීටර් 10 - 12 දුර ඉඳන් එන අයත් එනවා. එයාලා එන්නේ තව හෙල්මට් රෙපායාර් කරන තැන් පහුකරගෙන. මාව විශ්වාස කරන නිසානේ මාව එයාලා සොයාගෙන එන්නේ. ඒ නිසා මට එයාලව රස්තියාදු කරන්්න බැරි නිසා මම ඉරිදා හැර අනිත් හැමදවසෙම දක්ෂිණපාය ඉස්සරහට එනවා. ගොඩක්ම දක්ෂිණපායට එන අය තමයි එන්නේ. එහෙම දක්ෂිණපායට එන අය මාව දැක්කම ඊළඟ සැරේ එන්නේ හදාගන්න හෙල්මට් කීපයකුත් අරගෙනමයි.

හෙල්මට් අක්කා දැන් ලංකාව පුරාම ජනප්‍රියයි...

මගේ නම ඉන්ද්‍රාණි කුමාරි. මාව දන්න අය ඉන්දු කියලා තමයි කතා කරන්නේ. හැබැයි මගේ හරි නම නොදන්න හැමෝම මට කියන්නේ හෙල්මට් අක්කා කියලා. හෙල්මට් හදන නිසාමයි මේ නම වැටුනණත්..

ව්‍යාපාරය ගැනත්...අපි කතා කරමු.

මම කරන්නේ හෙල්මට් අලුත්වැඩියාව. හෙල්මට් වර්ගත් විකුණනවා. ඊට අමතරව ජැකට්, සන්ග්ලාස් වගේ දේවල්, කී ටැග් වගේ බයිසිකල් වලට අවශ්‍ය දේවලුත් මම මේ බස් එක ඇතුළෙම විකුණනවා.

උදේ 8.30 - 9.00 වගේ වෙද්දි මහත්තයා බස් එක දක්ෂිණපාය ළඟ පාක් කරලා යනවා. ඊට පස්සේ එයා ඔෆිස් යනවා. ඒ වෙලාවට මමත් මෙතැනට එනවා. ගෙදර උයන පිහන වැඩ ගෙදර දොරේ වැඩ ටික කරලයි මම මෙතැනට එන්නේ සමහර දවස්වලට උදව්වට පුතාව අරන් යනවා.. ඒ නැතත් මම වැඩ කරද්දී කවුරුම හරි කෙනෙක් ඉතින් උදව්වට එනවා. මහත්තයා එක්කම බස් එකේ මෙතැනට එන දවසුත් තියෙනවා. ගෙදර ඉඳන් මෙතැනට බොහොම පොඩි දුරක් තියෙන්නේ.

ඉන්දු අක්කගෙ බස් එක එනකල් බලන් හිටිය මහ සෙනඟ දැන් තමන්ගේ හෙල්මට් අතට අරන් ආපු රාජකාරියට සුදානම්. හෙල්මට් හදන්න ආපු නැති කෙනෙකුට එතැන හිටියේ මං විතරයි.

මේ වැඩ ටික ඉවරයක් වෙන්නේ නැහැ. එකක් ඉවර වෙද්දි තව එකක්. ඒ විදිහට හවස් වෙනකම්ම එක දිගට වැඩ.. මම හෙල්මට් එකක් හදන ගමන්ම කතාව කියන් යන්නම්කෝ...

ඉන්දු අක්කගෙ මේ ව්‍යාපාරයට දැන් වසර කීයක් වෙනව ද?

ව්‍යාපාරය කරගෙන යන හතරවැනි අවුරුද්ද තමයි මේ ගත වෙන්නේ. ගාල්ල ලබුදූවෙ දකුණු පළාත් අමාත්‍යංශය ගාව තමයි තමයි මං බස් එක පාර්ක් කරගෙන ඉන්නේ. දක්ෂිණපාය කිව්වම කවුරුත් ඉතින් මෙතැන දන්නවා.

මේක අක්කගෙ පළමු ජොබ් එක ද?

මුලින්ම මම කලේ කාන්තා සහ ළමා ඇඳුම් මහපු එක. ඒක කාලයක් කරගෙන යද්දි මම කරාතේ ඇඳුම් මහන්න ගත්තා. ඒ කාලේ කරාටි ඇඳුමට ලොකු ඉල්ලුමක් තිබුණා. හැබැයි කොවිඩ්ත් එක්ක මගේ ව්‍යාපාරය කඩන් වැටුණා. මගෙ ළඟ වැඩ කරපු ළමයි තුන්දෙනාට මට පඩි ගෙවාගන්න බැරි වුණා. එහෙම අසරණ තත්ත්වයේ ඉන්නකොට තමයි හෙල්මට් ව්‍යාපාරයට බැස්සේ.

කාන්තාවන්ට කරන්න පුළුවන් වැඩ ඕනෑ තරම් තියෙද්දි ඒ වගේ අදහසක් ආවේ කොහොම ද?

අපේ ඥාතිවන මාමා කෙනකුගෙන් මම හෙල්මට් හදන හැටි ඉගෙනගෙන තිබුණා. ඒ කාලේ හෙල්මට් හදන්න ඉගෙන ගත්තේ ව්‍යාපාරයක් කරන්න ඕනේ කියන අරමුණෙන් නෙවෙයි. ඒක විනෝදෙට වගේ කරපු දෙයක්. එතකොට මට වයස අවුරුදු 17යි. මට ඒ ඉගෙන ගත්ත දේ මතක් වුණා.. ඒකෙන් තමයි මම හිතුවේ මේ වැඩේ මමත් කළා නම් හොඳයි කියලා. ඉතින් මම මහත්තයට මගේ අදහස ඉදිරිපත් කරලා වැඩේ පටන් ගත්තා.

පටන්ගත්ත තැන කොතැනද?

කොවිඩ් එකත් එක්ක සෑහෙන හිරවෙලා හිටපු වෙලාවක් ඒක. අපි බැංකුවලින් ලෝන් කිහිපයකුත් අරන් තිබුණ නිසා ඒවටත් හිරවෙලා හිටියේ. ඒ අතරතුරේදී තමයි මම මේක පටන් ගත්තේ. කොරෝනා බිය හොඳටම තිබ්බ කාලයක්. ඒ වගේ වෙලාවක කෙනෙක් ඔළුවේ දාගෙන හිටපු හෙල්මට් එකක් හදනවා කියන්නේ ඒක ලොකු අවධානමක්. ඒත් මම ඒ අවදානම අරගෙන තමයි ව්‍යාපාරය පටන් ගත්තේ. ඒ නිසා මහත්තයා වුණත් කැමැති වුණේ නැහැ මේ වැඩේට. ඒත් ආර්ථික ගැටලුවලට වෙන කරන්න දේකුත් නැති නිසා මම හෙල්මට් ව්‍යාපාරය පටන් ගත්තා. ත්‍රීවිල් එකෙන් තමයි පටන් ගත්තේ.

ඇය කතාව කියාගෙන යන ගමන් නලලත දිගේ ගලන හීන් දහඩිය බිඳු පිසාදා ගත්තා ඒ දහදිය අස්සේ තිබුණෙ යකඩ ගැහැනියකගේ දිරිවිරිය.

අපිට තිබ්බා ඉන්දු අක්කා ආයෙත් කතාවට වැටුණා. පියාජියෝ ත්‍රීවිල් එකක්. ඒකේ කැනපි එකක් ගහලා පොඩි පෙට්ටි ටිකක් තියාගෙන...මම මැඳින් ඉදගෙන තමයි හෙල්මට් අලුත්වැඩියා කළේ. මේ අවට තියනවා කුරුඳුවත්ත හංදිය කියලා තැනක්. එතැන තියාගෙන ඒ රස්සාව කළා මාසයක් එකහාමාරක් විතර. ඊට පස්සේ දක්ෂිනපාය ළඟට අරන් ගියා. මහත්තයත් කැමැති වුණේ නැහැ මම එතැන ත්‍රීවිලරය තියාගෙන දුක් විදිනවා බලන්න. ඉඩකඩ මඳිකමයි.. රස්නෙයි එක්ක හරි අමාරුවෙන් ඒක කරගෙන ගියේ. එතන ඒ විදිහට මාස 7-8ක් හිටියා. උදේම එනවා..හවසට යනවා.

ත්‍රීවීලරයේ පුදුම දුකක් විදගෙන මම ව්‍යාපාරය කළේ. මම ඉතින් නිතරම මගේ මහත්තයට ඇවිටිලි කරනවා අපි කොහොම හරි බස් එකක් ගමු කියලා. එහෙම කලොත් මේ ව්‍යාපාරයෙන් ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන් කියන එක ගැන මම එයාට පැහැදිලි කළා. මහත්තයා මගේ වචනය විශ්වාස කරලා ලීසින් දාලා කොහොම හරි බස් එකක් ගත්තා. ඊට පස්සේ මගේ ව්‍යාපාරික ස්ථානය වුණේ මේ බස් එක තමයි.

ඇගේ ජීවිතය ගැටගසා දෙන බස්රථය දෙස ඉන්දු අක්කා ගෞරවයෙන් හැරී බලයි. නැවත ඇය මා සමඟ කතාවට වැටෙයි.

මේ ළඟපාත තියෙනවා වාහන හදන ගැරිජ් එකක්. ඒ අයට අපි කිව්වා බස් එක බිස්නස්එකට හරියන විදිහට හඳුනගන්න ඕනේ කියලා. ඒ විදිහට හදන්න නම් බස් එකේ පිටිපස්සේ දොර කපන්න ඕනේ කිව්වා. හැබැයි ඒකට ලොකු වියදමක් යනවා කිව්වා. හැබැයි අපිට ඒ වියදම දරන්න හැකියාවක් ඒ මොහොතේ තිබුණේ නැහැ. ණය වෙලා කොහොම හරි ඒකත් කර ගත්තා.

දිනේෂ් කියලා තව මල්ලි කෙනෙක් ලස්සනට ස්ටිකර් කළා. ධම්මික කියලා තව කෙනෙක් වෑල්ඩින් වැඩ ටික කරලා දුන්නා. එහෙම අපිට අවශ්‍ය විදිහට බස් එක නිර්මාණය කළා.

මේ දවස්වල රස්නේ නිසා හරිම අමාරුයි බස් එක ඇතුළේ වැඩ කරන්න. ඉතින් පොඩි ෆෑන් එකක් එහෙම මම දාගත්තා. ෆෑන් එකක් දැම්මා කියලා රස්නෙන් නම් අඩුවක් නැහැ ඉතින්. මහත්තයා නම් කියන්නෙත් සතියට දවස් තුනක් වගේ යන්න කියලා. මොකද එයා දකිනවා මම මහන්සි වෙන විදිහ. හවස් වෙද්දි පුදුම තෙහෙට්ටුවක් මට දැනෙන්නේ. ඒ තෙහෙට්ටුව ජිවිතේ ජයගන්න කියල හිතෙනකොට ඉබේටම මැකිලා යනවා.

ඉන්දු අක්කේ මම ගිය සෙනසුරාදත් ආවනේ අක්කා හිටියේ නෑනේ. අක්කා හැමදාම වගේ එන නිසා මම කෝල් එකක්වත් දුන්නේ නැහැ.. එහෙම කියාගෙන එතැනට ආවෙ හෙල්මට් දෙකක් ඇතැති මැදිවයසේ පුද්ගලයෙක්....

ඉන්දු අක්කව හොයාගෙන එන්න තරම් ඉන්දු අක්කගේ තියෙන විශේෂත්වේ මොකක් ද.?

මම ඒ පැණය ඇහුවේ ඇයගෙන් නෙවෙයි ඔහුගෙන්.

ඉන්දු අක්කා තරම් අඩු ගානට හෙල්මට් හදන කෙනෙක් ඉන්නවද මේ ගාල්ලේ. වැඩේ කොලිටියටම කරනවනේ. ඉන්දු අක්කගේ වැඩ ෂුවර්. ඒකයි මෙතැනටම එන්නේ.

අක්කා එහෙනම් මේ හෙල්මට් දෙක හදලා තියන්න මම තව පැය දෙක තුනකින් අරන් යන්න එන්නම්. එහෙම කියපු ඔහු හෙල්මට් දෙක ඇයට දීලා ගියේ පුදුම හදිස්සියකින්.

එයා මගේ හොඳ සේවාදායකයෙක්. මම හිතන්නේ එයා අවුරුදු තුනක් විතර වෙනවා මගෙන්ම හෙල්මට් හදන්න අරගෙන.මම ගොඩක් සහනදායි ව්‍යාපාරයකට තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. මම රෙපෙයාර් එක් හරියටම කරනවා. ඒ නිසානේ එක පාරක් ආපු කෙනෙක් නැවත නැවත මං ළඟට එන්නේ. රුපියලකවත් මම අසාධාරණයක් කරන්නේ නැහැ. අනික මම මගේ රෙපෙයාර්වලට බාල බඩු දාන්නේ නැහැ. හැම එකක්ම අලුතෙන් දාන්නේ. මම හිතන්නේ මේ ගමනට ආශිර්වාදය වුණෙත් මගේ අවංක භාවය.

මේ ගමනට සැමියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්න ඇති..

මහත්තයගේ නම ලක්ෂිත විජේරත්න. එයා අක්මීමන ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා නිලධාරියකු විදිහටයි වැඩ කරන්නේ. බස් එක උදේට හවසට ගෙනියන්නේ එයා. ගෙදර වැඩේ ඉඳලා හැමදේටම උදව් කරන්නේ එයා. ගෙදර උයන පිහන වැඩවලටත් එයා උදව් කරනවා. එයාගේ උදව්ව නිසයි මේ වගේ ගමනක් එන්න ලැබුණේ.

දරුවන්ගෙනුත් උදව්වක් ලැබෙන අවස්ථාත් ඇති නේද?

මට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතා කොතලාවල කැම්පස් එකේ ඉගෙන ගන්නවා. දෙවැනියා මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයට පෙනී ඉන්නවා. තුන්වැනියා රිච්මන් කොලේජ් එකේ 10 වසරේ ඉගෙන ගන්නවා. කොල්ලොම තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මම. එයාලා පුළුවන් හැමවෙලාවෙම මට උදව් කරනවා.

ව්‍යවසායිකාවක්, බිරියක්, මවක් විදිහට කොහොමද මේ දේවල් හරියටම කරගෙන යන්නේ?

අපිට මොනවහරි දේකට වෙලාව නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්. අපිට අවශ්‍යතාව තියෙනවානම් වෙලාව හදාගන්න පුලුවන්. මම උදේ ඉඳන් හෙල්මට් හැදුවට ගෙදර දොරේ වැඩ අමතක කරන්නේ නැහැ. මවක් බිරියක් විදිහට ඒ හැම දේම හොයලා බලලා ඉටු කරනවා. පවුල අංක එක කියලා හිතාගෙනයි මම හැම වෙලාවෙම වැඩ කලේ. අපි මොන තරම් දේවල් කළත් වැඩක් නැහැ අපි පවුලක් විදිහට සතුටින් නැත්නම්.

අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

මට මං ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. සමාජ මාධ්‍ය ජාලාවල ශෙයා වෙච්ච මගේ විඩියෝ එක බලලා ගොඩක් අය මට කතා කලා. අපි හරිම පුංචි තැනකින් පටන් ගත්තේ. අද වෙද්දි ලංකාවෙම අය කතා බහට ලක් වෙන කෙනෙක් වෙනවා කියන්නේ ලොකු දෙයක්. ඇත්තටම අද අපි ලොකු තැනක ඉන්නවා. මේ ව්‍යාපාරය පටන් ගද්දි ලැබුණ ආදායමයි දැන් ලැබෙන ආදයමයි එක්ක බලද්දි මම හොඳ ගමනක් ඇවිත් තියෙනවා කියලා මම දන්නවා. ගොඩක් අය මාව අගයනවා. කාන්තාවන්ට ආඩම්බරයක් කියලයි මං ගැන ගොඩක් අය කතා වෙනවා. ගොඩයක් අය මගෙන් සේවාව ලබා ගන්න එන්නෙත් මම කාන්තාවක් නිසා. එයාලා හිතන්නේ මං වගේ කාන්තාවකගෙන් සේවය ගන්න එක මට දිරිගැන්වීමක් කියලයි.

දිරිය ගැහැණියක් විදිහට තරුණී පාඨකයින්ට කියන්න දෙයක් තියෙනව ද?

අද පවතින තත්ත්වෙත් එක්ක පවුලේ එක්කෙනෙක් විතරක් රැකියාවක් කරලා මදි. ඒ නිසා සැමියට ශක්තියක් වෙන්න බිරියත් මොකක් හරි ආදායම් මාර්ගයක් හොයාගන්න ඕනේ. අඩුම ගානේ කෑම පැකට් ටිකක් හරි විකුණන්න ඕනේ. තව කෙනෙක්ට පුළුවන් පාපිසි ටිකක්, කොට්ට උර ටිකක් මහලා විකුණන්න. මම දන්න දන්න අයටත් මම එහෙම දේවල් කියනවා. එහෙම කියලා ගොඩගිය කීප දෙනෙකුත් ඉන්නවා. මං දිහා බලලා කෙනෙක් හැදෙනවනම් ඒක තමයි මට තියෙන ලොකුම සතුට.

අපේ මේ දිගු ගමනේ අරමුණ අන්න ඒක. කෙනෙක් දිහා බලලා ඒ ගැන හිතලා ඒ ගැන අධ්‍යයනය කරලා තව කෙනෙකුට හැදෙන්න පුළුවන් නම් මිනිස්සු ජීවිතේ දිනනවා කියලා කියන්නේ අන්න ඒකට. ඉර කියන්නේ අපට තවත්වන්න දෙයක් නෙවෙයි. ඉරට පුළුවන් දවසක් උදාකරලා මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න. මේ ඉර මුදුන්වෙන වේලාවේ මට හිතුණේ අන්න එහෙම. ඉන්දු අක්කත් හරියටම ඉර වගේ තවත් ජීවිත එළිය කරාවි...

මම ඇයට සමුදුන්නේ ඒ ශක්තිමත් දෑත අල්ලගෙනමයි.

 

ඡායාරූප - දික්වැල්ලේ තිලකරත්න

ගාල්ල සමූහ