නවල කපල කෙසෙල් කොළේ මෙහෙමයි මේ රටා කළේ

මාර්තු 10, 2025

ඉවතලන වියළි කෙසෙල් කොළයෙන් ස්වාභාවික වර්ණ රටා සංයෝජනය කරමින් ත්‍රිමාණ රූප හා සමාන ඕනෑම රූපයක් චිත්‍රයකයට නැඟීම සඳහා යොදා ගන්නවා යැයි කීවොත් ඔබ මවිත වනු ඇති. ඒ විදිහට කෙසෙල් කොළෙන් හරි අපූරු නිර්මාණ කරන රජරට ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරියක් ගැනයි අද අපි කියන්න යන්නේ.

ඇය නිවන්දනී කිෂානි හෙට්ටිආරච්චියි. විස්මිත හැකියාවක් ඇති නිවන්දනී කෙසෙල් කොළෙන් අපූර්ව වූ නිර්මාණ මවන්නියක්. ඒ සඳහා ඇයට ජනාධිපති සම්මාන සහ ස්වර්ණාභිමාන සම්මානි හිමිව ඇති අතර, මෙම නිර්මාණ සඳහා පේටන්ට් බලපත්‍රයකද හිමිකාරිනියක්..

නිවන්දනීගේ මේ අපූරු නිර්මාණ රැසක එකතුවක් ප්‍රදර්ශනයක් ලෙසින් ජනගත කිරීමට ඇය සූදානමින් සිටියි. ඇය සමඟ කළ කතා බහ දිග හැරෙන්නේ මෙලෙසයි.

 

" හුඟක් පුංචි කාලේ ඉඳලා විවිධ නිර්මාණ කරන්න මම හරි ආසයි. යාළුවන්ට සුබපැතුම් පත් හදන්න තමයි මුලින් පටන් ගත්තේ. ඒ හැම නිර්මාණයක්ම වගේ වියළි මල් සහ කොළ ආශ්‍රිතව තමයි කළේ. මගේ පාසල් මිතුරියක් හිටියා. ඇයගේ පියා ජපානයේ ගිහින් එද්දී සිහිවටනයක් ගෙනත් තිබුණා. ඒක වෙල්වට් රෙද්දක කරලා තිබුණේ. ඒක දැක්කම මට හරි ආස හිතුණා. ඒ අන්කල් මට ඒක ගලවලා දීලා කිව්වා දුව ආසයිනේ මේ වගේ නිර්මාණවලට මේ විදිහේ නිර්මාණයක් කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා. ඒ නිර්මාණය තමයි මාව මේ තරම් දුර ගෙනාවේ.

 

ඒ නිර්මාණයට වියළි කෙසෙල් පත්‍ර යොදා ගන්න අදහස ආවේ කොහොම ද?

ඒ නිර්මාණය කරලා තිබුණේ උණ ගහේ පතුරුවලින්. මං ඒ කාලේ පාසල් යන පුංචි දරුවෙක්. උණ ගහෙන් ඒක කරන හැටි ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් මං හිතුවා ඒක පිදුරුවලින් කරන්න. පිදුරුයි, උණ කොළයි අරගෙන ඒකට ගැළපෙන විදිහට මාධ්‍ය යොදා ගත්තා. මම මුලින්ම පිදුරු ගහක් අතින් ඇල්ලුවේ එදා. හරි ලස්සන සුදු පාටක් ඒ පිදුරු ගස්වල තිබුණේ. ඒ පිදුරුවලින් නිර්මාණය කරගෙන යද්දි ගඳක් ආවා. මගේ තාත්තා යාපනයේ නේවි ඔෆිසර් කෙනෙක්. එයා නිවාඩු ඇවිත් හිටියේ. මම තාත්තගෙන් ඇහුවා පිදුරු ගස් ගඳයිද කියලා. තාත්තා කිව්වා පිදුරු කියන්නේ හරිම සුවඳ දෙයක් කියලා. ඉතින් මම මගේ ළඟ තිබුණ පිදුරු ගස් කිහිපය බලලා තාත්තා කිව්වා මේ පිදුරුවලට ගව මුත්‍රා වැටිලා.. ඒ ගඳ තමයි මේ එන්නේ කියලා. පිඳුරු ගහ කොච්චර ලස්සන වුණත් මට එතැනින්ම ඒක එපා වුණා. ඒ පිදුරු ටික විසි කරලා, භාගෙට ඉවර කරපු චිත්‍රෙ දිහා බලාගෙන මම කල්පනා කළා ඊළඟට මොකද කරන්නේ කියලා. එතකොට තමයි වත්තේ තිබුණ කෙහෙල් ගහේ කෙහෙල් කොළ දැක්කේ. ඊට පස්සේ අනිත් කොළ ඔක්කොම අයින් කරලා කෙසෙල් විතරක් යොදාගත්තා.

 

වියළි කෙසෙල් පත්‍ර නිර්මාණ ඔබව තරග ජයග්‍රහණ කරාත් ගෙන ගියා.

 

මම මුලින්ම කරපු නිර්මාණය 1989 දී කළේ. එතකොට මම කොන්වන්ට් එකේ ඉගෙන ගන්නවා. 1990දී තිබුණ අනුරාධපුර සෙන්ට්‍රල් කොලේජ් එකේ ජනාධිපති ජංගම සේවයට සමගාමීව යන චිත්‍ර ප්‍රදර්ශනයක් තිබුණා. අපේ පාසලෙන් මාව ඉදිරිපත් කළා ඒ චිත්‍ර තරගයට. ඒකෙන් මට සම්මානයක් ලැබුණා. ඊට පස්සේ මම ගොඩක් තරගවලින් ජයග්‍රහණය කළා. මට ඒ විදිහේ නිර්මාණ කරන්න ගොඩක් ඕඩර්සුත් ලැබුණා. ඒ වගේම 2006 සහ 2010 වසරවලදී කෙසෙල් පත්‍ර නිර්මාණ සඳහා මට ජනාධිපති සම්මාන ලැබිලා තියෙනවා. 2008 දී ස්වර්ණාභිමානි සම්මානය ලැබුණා. ඊට අමතරව තව බොහෝ තරගවලින් ජයග්‍රහණ ලබා ගෙන තියෙනවා.

ඊට පස්සේ කොසෙල් කොළෙන් කරන නිර්මාණවලට පේටන්ට් බලපත්‍රයකුත් ලබා ගත්තා.

 

මේ වෙද්දි ඔබ මේ ශිල්පය පිළිබඳ ගුරුවරියක්

මම අවුරුදු 30ක් පාසල් ඉංග්‍රීසි භාෂා ගුරුවරියක් විදිහට සේවය කළා. මේ වෙද්දි මම පෞද්ගලික ආයතනයක ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍ය උගන්වනවා.

2006 වසරේදී උතුරු මැද පළාත් නොවිධිමත් අධ්‍යාපන ඒකකයෙන් මට ආරාධනාවක් ලැබුණා රැකියා විරහිත තරුණ තරුණියන්ට සහ වැඩිහිටියන්ට මේ ශිල්පය කියලා දෙන්න කියලා. ඒ වෙද්දි මම කොහොමත් ගුරුවරයෙක්. ඉතින් මම ආසයි උගන්වන්න. ඉතින් මම ඒක හරි කැමැත්තෙන් භාර ගත්තා. ඒ වෙද්දි මම ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහනටත් සම්බන්ධ වෙමින් හිටියේ. ඊට අමතරව නේවි එකේ අයටත් මේ ශිල්පය ලබා දෙන ගමන් හිටියේ. ඉතින් මේ තරම් වැඩ ගොඩක් එක්ක නොවිධිමත් අධ්‍යාපන ඒකකයත් එක්ක අවුරුදු තුනක් විතර සම්බන්ධ වෙලා ඉගැන්වීම් කටයුතු කළා. ඉන්පසුව මගෙන් ඉගෙන ගත්ත ඒ දරුවෝ දිගටම ඉගැන්වීම් කටයුතු කළා. ඒ නිසා මේ ශිල්පය ශ්‍රී ලංකාව පුරාම පැතිරිලා විසිරිලා තියෙනවා. සෙමින් මොළය වර්ධනය වන දරුවන්ටත් මේ ශිල්පය ලබාදෙන්න මේ වනවිට මට රජයෙන් ආරාධනා කරලා තියෙනවා.

 

මේ ප්‍රදර්ශනය ගැනත් මතක් කරමු.

මම මේ ප්‍රදර්ශනය නම් කරලා තියෙන්නේ Blessing of Nature යනුවෙන්. මේ සියලුම නිර්මාණ කරලා තියෙන්නේ වියළි කෙසෙල් පත්‍ර යොදාගෙන. මාර්තු 10,11 දින දිකේ අනුරාධපුරේ ජයන්ති මාවතේ නැචුරල් හොලිඩේ රිසෝට්හිදී මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. උදෑසන 10 සිට රාත්‍රී 7 වෙනකම් මහජනතාවට එය විවෘතයි. චිත්‍ර 300ක වගේ ප්‍රමාණයක් තියෙනවා එතැන. ඒ චිත්‍ර සියල්ල කළේ ප්‍රදර්ශනයක් පවත්වනවා කියලා අරමුණකින් නෙවෙයි. මම විනෝදාංශයක් විදිහට ඉඩ ලැබුණු වෙලාවල්වලදී කරපු නිර්මාණ තමයි මම මේ චිත්‍ර ප්‍රදර්ශනයට එකතු කරලා තියෙන්නේ. මේ විදිහේ ලස්සන නිර්මාණ ටිකක් කරන්න පසුගිය කොවිඩ් කාලයත් හේතුවක් වුණා. මගේ ජීවිත කාලයේදී මට ලැබුණු ලොකුම විවේකය තමයි කොවිඩ් කාලය.

 

මේ ශිල්පය මේ තරම් දුර ගෙන එන්න උදව් කරපු පිරිසකුත් ඇති..

 

මගේ පවුලේ තාත්තයි, අම්මයි, සහෝදරයෝ තුන් දෙනෙකුයි හිටියේ. තාත්තා මට ලොකු හයියක් වුණා මගේ කලා වැඩවලට. අම්මත් කලාවට ළැදියි. මල් ගොතනවා.. මැක්‍රම් මහනවා. එයාට ලස්සන ඇඳුම් ගොතන්න පුළුවන්. ඉතින් මට මේ හැකියාව දියුණු කරගන්න පවුලෙනුත් ආභාෂය ලැබෙන්න ඇති කියලා මට හිතෙනවා. සැමියා සුනිල් දිසානායක. දුව සඳනි දිසානායක. දුව දැන් විවාහ වෙලා. එයත් ඉංග්‍රීසි ගුරුවරියක්. දැන් මට ඉන්න ලොකුම ශක්තිය මගේ සැමියා. මේ නිර්මාණවලට අවශ්‍ය බෝඩ් සහ ෆ්‍රේම් කරන්න ලොකු පිරිවැයක් යනවා. මේ නිර්මාණවලට ඒ අවශ්‍ය කාරණා කරන්න උදේ ගියාම සමහරවිට එන්නේ රෑ වෙලා. ඒ මුළු කාලය පුරාම සියලුම දේට මට සහයෝගය දෙමින් මගෙත් එක්ක එයා ඉන්නවා. ඒ විදිහට ඕනෑම කාන්තාවකට පවුලෙන් සහයෝගය ලැබෙනවානම් දේශීය වෙළෙඳපොළ විතරක් නෙවෙයි විදේශීය වෙළෙඳපොළ පවා ආක්‍රමණය කරන්න පුළුවන්.

 

 

විදුමිණි දිසාකරුණා

[email protected]