බ්‍රේල් මාධ්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගයට ඉහළම ලකුණු ලැබූ හේෂාන්ගේ කතාව

අස්සැද්දුම විදුහලට අස්සැන්නක් වුණු ශිෂ්‍යත්ව විශිෂ්ටයා
දෙසැම්බර් 9, 2020

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉතිහාසගත සිදුවීමකි. ඒ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ලබාගත් දරුවන් දහදෙනකු බිහිවීමයි. ඒ දරුවන්ගේ සතුට ගැන අප පසුගිය කලාපයක සටහන් තැබුවේ මහත් අභිමානයෙනි. සැබැවින්ම ඔවුන් අප රටේ දක්ෂයන් ය.

අප මෙවරද ඔබ හමුවේ සටහන් තබන්නේ පහේ හපනෙකු ගැනය. ඔහු දක්ෂයෙකි. අති දක්ෂයෙකි. අප එසේ පවසන්නේ දෙනෙත් ඇති දරුවන් බොහෝ දෙනකුට ආදර්ශයක් වෙමින් මසැසින් අකුරු දකින්නට වරම් අහිමි ඔහු මනැසින් අකුරු දකිමින් ශිෂ්‍යත්ව විභාගය ලියා ලංකාවෙන්ම පළමුවැනියා වීම නිසාය. ඔහු ලැබූ ජයග්‍රහණ කතාව පිටුපස මහත් ගැඹුරු සංවේදී කතාවක් ඔහුගේ ජීවිතයේ සටහන්ව තිබේ. එම සංවේදී කතාව ගැන කියවන ඔබගේ නෙතගට කඳුළක් ඉනුවේ නැති නම් එය මහත් පුදුමයකි. ඒ කතාව එතරම්ම අප හදවත් කම්පා කරවයි. එහෙත් එම කඳුළු කතාව අතුරින් උතුරා ගලන්නේ ජයග්‍රහණයේ සතුටු කඳුළු ගොන්නකි.

දෑස් ඇති මිනිසුන්ගේ ඇස් ඇරවන මේ කතාවට පූර්විකාව තබන දරුවා බිහිවන්නේ කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී විද්‍යාලයෙනි.

උදිත් චාලුක හේෂාන්....

මේ පුංචි පුතා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියේ දහසක් වූ කම්කටොලු ගොන්නක් මැද දෑස් අහිමි දරුවකු ලෙසිනි. බ්‍රේල් මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි උදිත් හේෂාන් පුතා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 178 ක් ලබා ගනිමින් බ්‍රේල් මාධ්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලැබූ දරුවා ලෙසින් වාර්තාවක් තබන්නේ සමස්ථ දරු පරපුරටම ආදර්ශයක් වෙමිනි. හේෂාන් පුතා ලැබූ ජයග්‍රහණය ගැන ඔහුගේ මවට සහ පියාට ඇත්තේ වචනයට පෙරළිය නොහැකි තරම් වූ සතුටකි.... ඒ සතුට ලබන්නට ඔවුන් කළ කැපවීමක තරම මහ මෙරක් තරම් බව අප ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. අනේකවිධ දුක් ගැහැට මැද දරුවන් තිදෙනකුට සිප්සතර ලබා දෙන්නට කැපවූ දයාරත්න සිල්වා සහ උදේනී ද සිල්වා තැබූ සටහන අප රටේ මව්වරුන් සියලුම දෙනා කියවිය යුතුමය. ඇය අප සමඟ එම කතාවට මුලපිරුවේ කෑගසා හඬන්නට නොහැකිව සිතේ සිරකරගත් දුක ඉකි ගැසුමකින් හෝ දෑස නොපෙනෙන හේෂාන් පුතාට නොඇසෙන ලෙසිනි. "ඇත්තටම දරුවා ඉපදුණාට පස්සේ මගේ හිතට දැනුණු වේදනාව නම් මම දරා ගත්තේ කොහොමද කියලා දැන් මට හිතෙනවා. එදා සිතට ඇතිවුණු දේ නැවත ආවර්ජනය කරනවාට වඩා යටගැසීම හොඳයි. දරුවා ඉපදුණේ කුලියාපිටිය මහ ඉස්පිරිතාලෙ. එයාගේ ඉපදෙනකොටම ඇස්දෙකේ කළු කෝනීය ළා නිල් පාටයි. ඒ නිසා අපි දැනගත්තා එයාට පෙනීම නැහැ කියලා.... දරුවා ඉපදිලා මාස 2 - 3 කින් වෛද්‍යවරු ළමා රෝහලට ඇතුළත් කරන්න කිව්වා. එම රෝහලේ වෛද්‍යවරු දරුවා පරීක්ෂා කරලා ජයවර්ධනපුර මහ රෝහලට යොමු කළා පරීක්ෂණයක් කරන්න. ඒ රෝහලෙන් කිව්වා දරුවා පොඩි නිසා ඒ පරීක්ෂණය කරන්න බැහැ කියලා. ඒත් අපි හැමදාම බදාදාට ක්ලිනික් එකට දරුවා කොළඹට ගෙනාවා. මෙහෙම මාස කිහිපයක් එනකොට දරුවාගේ ඇසේ අගිස්ස ඇරිලා තිබුණා. අපි ඒක වෛද්‍යවරුන්ට කිව්වාහම ඇසක් බද්ධ කරන්න පුළුවන් ඒත් ළමයෙකුගේ ඇසක් හොයාගන්න අමාරුයි කියලා කිව්වා.

අපි ඇස් බැංකුවේ ටික කාලයක් ඉන්නකොට ඒ අය කිව්වා දරුවාට හරියන ඇසක් තියෙනවා. ඔපරේෂන් එක හෙටම කරමු කියලා. ඒ ඔපරේෂන් එක කරලා ටික කාලයක් යනකොට දරුවාට පෙනීම ලැබුණා. අපට ඒක මාස දෙක තුනකින් තේරුණා.

දරුවා අපිව හඳුනා ගන්නවා.... දණගාගෙන ඇදීගෙන යනවා. මේ අතර අපි ක්ලිනික් ගියාම දොස්තර මහත්වරු කිව්වා දරුවාගේ ඇහැට සුද එනවා එය අයින් කරලා ලෙන්ස් එකක් දමන්න වෙනවා කියලා කාචයක් දැම්මා. මේ වෙනකොට දරුවාට අවුරුදු 4 1/2ක් විතර ඇති. දැන් දරුවාගේ පෙනීම ටිකක් ලැබුණා.... නමුත් ටික කාලයකින් දරුවාගේ ඇහැට ප්‍රෙෂර් එක ඇවිත් ඇහැ හීනි වුණා. ඊට පස්සේ ඔපරේෂන් කිහිපයක්ම කළා. පැඩ් ග්ලාස් එකක් දැම්මා... මේ මොනවා කළත් සාර්ථක වුණේ නැහැ. අන්තිමට දරුවාගේ ඇසේ තුවාලයක් ඇවිත් ඇහැ නරක් වෙලා කියලා අපට අන්තිමට කියනකොටත් දරුවාගේ ඇසේ මැහුම් තිබුණා. ඒ මැහුම් අයින් කරනකොට දරුවා ඉවසගෙන හිටියේ පුදුම විදිහට. එයාට ඉවසීමේ හැකියාව හොඳට තියෙනවා.

 

 

2020/12/09 තරුණි පුවත්පත බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.