සිල් ගත්තාට සිල් ගැනීමේ වටිනාකම දන්නවාද ?

මැයි 16, 2022

 

අද කාලයේ සිල් ගන්නා උපාසක උපාසිකාවන් ගැන විවිධ කතා අපට අසන්න ලැබෙයි. සිල් ගන්නා සමහරු සිල් නො ගන්නා අයට ද වඩා දුස්සීල බව එක් අදහසකි. කෙසේ වෙතත් තවමත් සුසිල්වත් උවැසිඋවැසියන් ගෙන් මේ පින් බිමේ අඩුවක් නම් දක්නට නැත. සුදු බිත්තියක කළ තිතක් මෙන් දුස්සීල පුද්ගලයන් කැපී පෙනුණ ද නිවනට මඟ පාදන සුගතිගාමී සිල් ගැනීම නම් පුණ්‍ය ක්‍රියාව කිසිවකු විසින් සැහැල්ලු කර නො සිතිය යුතුය.

 

උපෝසථ අෂ්ඨාංග සීලයෙහි පිහිටීමේ වටිනාකම සම්බුදු ශ්‍රී මුඛයෙන් ම දේශනා කොට ඇත්තේ මෙලෙසිනි. උන්වහන්සේ අෂ්ඨාංග උපෝසථ සීලයෙහි පිහිටීමේ අගය විග්‍රහ කර තිබෙන්නේ මහානාම ශාක්‍ය රජු උපාසක උපාසිකාවන් කියන්නේ කවුරුන්දැයි කියා විමසූ පැනයකට දුන් පිළිතුරක් වශයෙනි. යම් දිනයක බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය අවබෝධ කරගත් පුද්ගලයා උපාසකයකු වෙයි. පන්සිල් පද රැකීම, ධර්ම ශ්‍රවණය පිණිස ධර්මධර විනයධර භික්ෂූන්වහන්සේ වෙත යාම, ලෝභ - ද්වේෂ - මෝහ සංසිදවා ගෙන දහම් ඇසීම, දහම් සිතේ රඳවා ගැනීම, දහම් සාකච්ඡා කිරීම, උගත් දේ ජීවිතය පවත්වා ගෙන යාමට උදව්කර ගැනීම, ශ්‍රද්ධා - සීල - ත්‍යාග - ප්‍රඥා ගුණ දියුණු කර ගැනීම එවන් උපාසකයකු ගේ ස්වභාවය ය. මේ අනුව පොහොය දිනයකදී පමණක් නොව සාමාන්‍ය දිනයකදී පවා උපාසක උපාසිකාවන් සියලු දෙනා ම ජීවිතය ධර්මානුකූලව ගතකර පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අනුව සංසාරයෙහි ස්වභාවය නුවණින් අව‍බෝධකර ගෙන දුලබ මිනිස් ජීවිතයෙන් උපරිම පල නෙළා ගැනීමට උත්සාහ ගනියි.

උපාසකයා ගේ ඉලක්කය

දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග නම්වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගෙන සියලු දුකින් නිදහස් වීමයි. ලෞකික දිවියට සිය දහම් මඟ බාධාවක් කර නො ගනියි.

උපාසකයා ගේ උපාසක ගුණය ඉහත සඳහන් යහපත් ගුණාංගයන් ජීවිතයේ අත්වැලකර ගැනීමට අමතරව සිඟාලෝවාද, වග්ගපජ්ජ, මංගල ආදී සූත්‍රයන් ගේ කරුණු ජීවිතයට එක්කර ගනියි.

ගිහි සමාජය කොටස් හයකට බෙදා ඔවුනොවුන් කළයුතු යුතුකම් පිළිබඳ සිඟාලෝවාද සූත්‍රයේ මනාව පැහැදිළි කර තිබෙයි. ජීවිතයට සුබ පල ගෙන දෙන කරුණු රැසක් මංගල සුතුරෙහි අඩංගුය. පිරිහීමට හේතු වන කරුණු අඩංගු වන්නේ පරාභව සූත්‍රයේය.

මේ සියලු සූත්‍රයන් ගේ කරුණු පිළිපදිමින් උපාසකයා දිවි මඟ ආලෝකවත් කර ගනියි.

මෙවැනිවූ දහම් පිළිවෙතක් අනුගමනය කරමින් ලෞකික දිවියක් ගත කරන උපාසකයා, උපාසිකාව ලෞකික දිවියෙන් දුරස්වී ලෝකෝත්තර දිවියට සමීප වන දිනය සාම්ප්‍රදායිකව හඳුන් වන්නේ උපෝසථ දිනය ලෙසිනි.

චන්ද්‍රයා මූලික කරගෙන මාසයකට දින හතරක් හතර පෝය ලෙසින් නම් කර ඇති අතර පිරුණු සඳ ඇති ප්‍රධාන පෝය පසළොස්වක පෝය ලෙස හඳුන්වයි. වත්මන් ලාංකික බෞද්ධයන් වැඩි පිරිසක් හතර පෝයෙන් පසළොස්වක පෝය දිනය ප්‍රධාන වශයෙන් සිල් ගැනීමට යොදා ගනියි. විහාරස්ථානයකට හෝ සුදුසු සන්සුන් ස්ථානයකට හෝ ගොස් උපෝසථ අෂ්ඨාංග සීලයේ (ආර්ය උපෝසථ සීලයේ) හෝ ගිහි දස සීලයෙහි පිහිටා සිටියි.

 

ආර්ය උපෝසථ සීලයේදී

අටසිල් සුරකියි.

අංග අටකින් යුත් සීලය ආර්ය උපෝසථයක් වන්නේ රහතුන්වහන්සේලා ආරක්ෂා කළා මෙන් සිල් පද අට ආරක්ෂා කිරීමෙනුයි. එනම් ජීවිතය දෙවැනි කොට තමන් සමාදන්වූ සීලය පළමු කොට රැකීමෙනුයි. මෙහිදී ආර්ය අෂ්ඨාංගික මඟ අනුගමනය කරමින් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අවශ්‍ය කායික, මානසික පරිසරය සකස්කර ගැනීමට බලාපොරොත්තු වෙයි. උදා - ' අටසිල් ගන්නා උපාසකයා, උපාසිකාව ආහාර ගත යුත්තේ මනා සිහියකින් යුතුවය. මේ දානය වලඳන්නේ ක්‍රීඩා කිරීමට, මදය වැඩීමට නො වෙයි. කායික හා මානසික ශක්තිය පවත්වා ගනිමින් සීලයෙන් පිරිපුන් බ්‍රහ්මචාරී ජීවිතයක් උපෝසථ දිනයේදී ගත කළ යුතුය. ' යන අවබෝධය සිල් ගත් පුද්ගලයාට තිබිය යුතුය.

 

ඇලීම් බැඳීම්වලින් ගැටීම්වලින් තොරව සිත කය වචනය යන තුන් දොර සංවරකර ගනිමින් පිරිසක් මැද සිටියත් මානසිකව සීල, සමාධි, ප්‍රඥා හුදෙකලාවී ගුණ වැඩෙන අයුරින් කාලය ගත කිරීම උපෝසථ සීලයේදී සිදුවෙයි. සාම්ප්‍රදායිකව උපෝසථ දිනයේදී අෂ්ඨාංග සීලය සමාදම් වීම සිදු වෙයි. සරලව හැඳින්වුවොත් සීලය යනු කායික වාචික සංවරයයි.

උපාසක, උපාසිකාවන් තමන් සමාදන්වූ සීලය අඛණ්ඩව රැකිය යුතුය. මුලින්, මැදින් හෝ අගින් බිඳ නො ගත යුතුයි. බුද්ධාදී උතුමන් ප්‍රශංසා කරන අයුරින් සිල් රැකීමට වග බලාගත යුතුයි. දෙවියෙක් වන්නට නො සිතා සිල් රැකීමත් වැදගත්ය.

 

කෙනකු තමන් නිසි ලෙස සිල් රකිනවාදැයි විමසුවොත් "නැහැ" යන පිළිතුර නො දිය යුතු අයුරින් සිල් රැකීම උවසු උවැසියන් ගේ වගකීමකි. යුතුකමකි.

සීලය අවබෝධයකින් යුතුව උපෝසථ දිනයේ ගත කිරීම පිළිබඳ උතුම් ගාථා රත්නයක් තිබෙයි.

"කිකීව අණ්ඩං චමරීව වාලධිං

පියංව පුත්තං නයනංව ඒකකං

තථෙව සීලං අනුරක්ඛ මානෝ

සුපේසලා හෝථ සදා සගාරවා"

 

කිරළ දෙන බිත්තර රකින්නාසේ ද සෙමර මුවා වළිගය රකින්නා සේ ද පියෙකු තම එකම පුතු / දියණිය රකින්නා සේද එක් ඇසක් ඇති තැනැත්තා ඒ ඇස රකින්නා සේ ද ඒ ආකාරයෙන් ම මැනවින් අවබෝධයෙන් චිත්ත සමෝධානයෙන් කායික වාචික සංවරයෙන් සීලය රැකිය යුතු වන්නේය.

භාග්‍යවතුන්වහන්සේ ගේ

දේශනයට අනුව

සීලය මෙසේ ද අර්ථ දක්වා තිබෙයි.

 

යත්ථ සීලං

තත්ථ පඤ්ඤා

යත්ථ පඤ්ඤා

තත්ථ සීලං

 

යම් තැනක සීලය පවතින්නේ නම් එහි සමාධියත් සීලයත් පැවතිය යුතුයි. යම් තැනක සමාධියත් ප්‍රඥාව පවතින්නේ ද එතැන සීලය තිබිය යුතුයි. මෙහි සරල අදහස සිල්වතා ප්‍රඥාවන්තයෙක් බවත් ප්‍රඥාවන්තයා සිල්වතෙක් බවත් ය.

නිවනට මඟ පාදන සීලය ජීවිතයට කෙතරම් වැදගත්ද ? එබැවින් සීලය කවරාකාරයකින් හෝ කිලිටි නො කර ගත යුතුය.

සිල් ගත් දිනයේ අනුන් ගේ ඕපාදූප සොයමින්, බණ ශාලාවට එන සුනඛයන් බළලුන් එළවමින් ආදී වශයෙන් සීල‍ය කැළැල් නො කරගත යුතුය.

 

පූජ්‍ය ආචාර්ය

මිරිස්සේ ධම්මික

ස්ථවරයන් වහන්සේ