වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
හිමි එකම පාදයෙන් උසස් පෙළ ලියා A 3ක් ලැබූ ඇහැළියගොඩ ජාතික පාසලේ රශ්මි නිමේෂා දියණිය
මා ඇය මුලින්ම දකින්නේ 2012 වසරේ දී ය. ඒ රුවන්වැල්ල ලෝක ළමා දිනයේ දී සබරගමුව පළාතේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට උපහාර පුදන අවස්ථාවක දී ය. එහිදී ඇය සැමගේ ආදරය දිනා ගත්තේ දහස් ගණනක් ඉදිරියේ මිහිරි ස්වරයෙන් ගීතයක් ද ගායනා කරමිනි. නැවත ඇය සොයා මා යන්නේ 2018 වසරේ දී ය. ඒ ඇය සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙසින් සමත් වූ පුවත සටහන් තබන්නටය.
එලෙසින් සාමාන්‍ය පෙළ සමත් මේ දියණිය ගැන නැවතත් සටහන් තබන්නට මට වාසනාව හිමිවන්නේ පසුගිය දා උසස් පෙළ විභාගය සමත් වූ දරුවන් අතුරින් ඇය ද ඉදිරියේම සිටි දරුවකු වූ නිසාමයි. ඇය මෙවර උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් 156 වැනියා වීමට වාසනව ලැබීය.
රශ්මි නිමේෂා... ඇය ගැන අප මෙලෙසින් සටහන් තබන්නේ දිවයිනෙන්ම හොඳම ප්‍රතිඵල ලැබූ දරුවන් අතුරින් සුවිශේෂීම දරුවකු ලෙසිනි. ඇය මුළු දිවයිනේම ප්‍රතිඵල අතුරින් ඉහළම ප්‍රතිඵල ලැබූ දරුවකු නො වූවත් ඒ සියලු දරුවන්ට වඩා රශ්මිගේ ජයග්‍රහණය සුවිශේෂ වීමට හේතුව වන්නේ දෑත් දෙකම හා දකුණු පාදය ද අහිමිව තමුන්ට හිමි එකම පාදයෙන් අකුරු කරමින් උසස් පෙළ වාණිජ විෂයයන් තුනක් සඳහා A සාමාර්ථ හිමිකර ගැනීමය. මේ ප්‍රතිඵලයේ ජයග්‍රහණයකට වඩා ගැඹුරු වූ පණිවුඩයක් සැඟවී තිබේ. ඒ ඇයගේ නොපසුබට උත්සාහය, අධිෂ්ඨානය හා කැපවීම පිළිබඳ කතාවයි.
අවිස්සාවෙල්ල, දිවුරුම්පිටිය ගමේ පදිංචිව සිටින රශ්මි නිමේෂා උපතින්ම අහිමි වූ සියල්ල දරා ගනිමින් පැමිණි ගමන බොහෝ දුෂ්කරය. ඒ දුෂ්කර ගමනේ ඇගේ පිටුපස සිටින යෝධ සෙවණැල්ල ආදරණීය මව හා පියායි. ඇය අසල රැඳෙමින් ඔවුන් කළ කැපවීම හමුවේ රශ්මි දියණිය පළමුව ශිෂ්‍යත්ව විභාගය සමත් වන්නේ දැරණියගල, දෙල්ඔළුව කනිෂ්ඨ විද්‍යාලයෙනි. ඉන්පසුව ඇය වෙනුවෙන් සියල්ල කැප කළ මේ මවුපියන් අවිස්සාවෙල්ලට පැමිණෙන්නේ තම දියණියගේ අධ්‍යාපනය වෙනුවෙනි. රශ්මිගේ ආදරණීය පියා, සරත් ගුණවර්ධන මහතා කෘෂිකර්ම ගුරුවරයකු වන අතර මව, ධම්මිකා ගුණවර්ධන මහත්මිය සංගීත ගුරුවරියකි. තම පවුලේ දෙටු දියණිය ලෙසින් රශ්මි දෑත් හා එක් පයක් අහිමිව උපත ලැබූ මොහොතේ ඇති වූ කඩා වැටීම ආශීර්වාදයක් කරගත් ඔහුත් ඇයව දිගු ගමනක් රැගෙන ආවේ දිවා රැ නොබලා වෙහෙස වෙමිනි.
ඇහැළියගොඩ ජාතික පාසලේ ශිෂ්‍යාවක ලෙසින් උසස් පෙළ සමත් වූ රශ්මි සාමාන්‍ය දරුවකු ලෙසින්ම විභාගයට පෙනී සිටිමින් ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය යන විෂයයන් තුනටම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමේ සතුට දෝර ගලමින් අපට මෙසේ පැවසීය.
"ඇත්තටම ආබාධිත කියන වචනය වෙනස් වෙලා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් කියලා වෙනස් වුණාට තවමත් අපි වගේ දරුවන් දෙස සමාජය බලන්නේ අමුතු විදිහට. මටත් ඒ අත්දැකීම තිබුණා. මම පුංචි කාලේ තැනකට ගියාම මා දිහා බලන්න පටන් ගත්තා. ඒත් මගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලය, සාමන්‍ය පෙළ ප්‍රතිඵලය හා මේ ප්‍රතිඵලය දකින විට අනේ.... මේ දරුවා කියන වචනය වෙනස් වෙලා ආදරයෙන් මිනිස්සු මට කතා කරන්න ගත්තා. අපි දක්ෂතා සමඟ හැකියාවෙන් ඉදිරියට එනවිට අපට පුළුවන් මිනිස්සුන්ගේ ආකල්ප පොඩ්ඩක් හරි වෙනස් කරන්න.
මට ජීවිතයේ බොහෝ දේ උපතින්ම අහිමියි. ගතේ හයියට වඩා හිතේ හයිය තමයි සෑම දෙයකටම වැදගත්. හැමදේම දරාගන්න පුළුවන් ශක්තිමත් හිතක් තියෙනවා නම් අපට ජීවිතය ජයගන්න පුළුවන්. වැදගත් වෙන්නේ උත්සාහය, කැපවීම හා අධිෂ්ඨානයයි.
විභාගය කියන්නේ ජීවිතය නොවෙයි. අපි විභාගය අසමත් වුණාට අපේක්ෂිත ප්‍රතිඵල නො ලැබූ පමණින් ජීවිතය නවතින්නේ නැහැ. අපි නො සිතන ලෙසින් විවර කරගන්න පුළුවන් මාර්ග තිබෙනවා. අපි හැමෝටම මොකක් හෝ හැකියාවක් තියෙනවා. ඒ දේ හඳුනා ගත්තොත් විභාගය අසමත් වුණා කියලා කිසිම දෙයකින් කඩා වැටෙන්න ඕනේ නැහැ. ජීවිතය නතර වුණා කියලා හිතන්න ඕනේ නැහැ. කුමක් හෝ මාර්ගයක් පාදා ගන්න පුළුවන්. අපේ හිත හයිය කරගෙන ඒ දේවල්වලට මුහුණ දුන්නොත් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්.
"ඇත්තටම මගේ ජීවිතය හයිය කරගන්න නිරතුරුවම ශක්තිය වුණේ අම්මයි, තාත්තයි, අක්කයි තුන්දෙනා. ඒ තුන්දෙනා දුන්න ශක්තිය ගැන කියන්න වචන නැහැ. මගේ මවුපියෝ දෙන්නත් මගේ පාසලේම ගුරුවරු ලෙස සේවය කිරීමත් මට රැකවරණයක් වුණා."
රශ්මිගේ ලොකුම හීනය වූයේ සරසවි වරම් ලැබීමය. ඇය එය ඉතාම විශිෂ්ට ලෙසින් හිමි කරගෙන ඇත්තේ වාණිජ අංශයෙන් සරසවි වරම් ලබමිනි. මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වඩාත් උනන්දු වන ඇය දැනටමත් ඒ පිළිබඳ හදාරමින් සිටියි. එසේම රශ්මිට ගීත ගායනයට ඇත්තේ විශේෂ හැකියාවකි. මේ වනවිටත් ඇයගේම ගීත කිහිපයක් ගායනා කර ඇති අතර ප්‍රසංග කිහිපයක් ද පැවැත්වීමට සමත්ව ඇත්තේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙන අතරය. එසේම ඇය 2017 වසරේ දී තොරතුරු තාක්ෂණය පිළිබඳ වියට්නාමයේ පැවති පාසල් දරුවන්ගේ තරගාවලියේ දී රන් සම්මානයක් දිනා ගැනීමට ද සමත් විය. එය ඇයගේ ජීවිතයේ සුවිශේෂී තවත් ජයග්‍රහණයකි. මේ සියලු හැකියාවන් ඔප් නංවා ගන්නට ඇයට ශක්තියක් වූ ගුරු දෙගුරුන් ගැන ද රශ්මි අපට අවසානයේදී සිහිපත් කළේ මහත් ගෞරවයෙනි.
"මම කුඩා කාලේ ප්‍රාථමික පන්තියේ පටන් උගන්වපු ගුරුවරු ගැන ඉතාම පෞරවයෙන් සිහි කළ යුතුමයි. ඔවුන් තමයි මාව මේ තරම් ගමනක් එන්න පදනම දැම්මේ. ඒ වගේම දෙල්ඔළුව ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් මට පුදුම ආදරයක් දැක්වූවා. මම ඉගෙනුම ලැබූ ඇහැළියගොඩ ජාතික පාසලේ විදුහල්පති හේමාලි රාජගුරු මහත්මිය ඇතුළු සියලු ගුරු මණ්ඩලය මට විශාල ශක්තියක් වුණා. ඒ වගේම විශේෂයෙන් ගිණුම්කරණය ඉගැන්වූ හේමාල් පෙරේරා, ගීතාන්ජල සර් ආර්ථික විද්‍යාව ඉගැන් වූ අසේල මල්ලිකාරච්චි ගුරුතුමා, උදාර සම්පත් සර්, ව්‍යාපාර අධ්‍යාපනය කියාදුන් තිලංග හේමන්ත, කපිල සර්, සඳරුවන් යන ගුරුවරු තමයි කිසිම අය කිරීමක් නැතුව නිවෙසට පවා ඇවිත් සමහර අවස්ථාවල මට ඉගැන්වීම කළේ පුදුම කැපවීමකින්. ඒ සියලුදෙනා මේ වෙලාවේ සිහිපත් කිරීම මගේ යුතුකමක් ලෙසයි මම හිතන්නේ."