උත්තරීතර සෙනෙහසින් පිරි පරම අයිතිය මව් කිරි

මව් කිරි මාසය අගෝස්තුවේ ඇරඹේ
ජූලි 29, 2024

මෙලොව එළිය දකින සියලුම ක්ෂීරපායින් භුක්ති විඳින මහාර්ඝ ඖෂධය නම් තම මවගෙන් වෑහෙන කිරිය.

තම කිරිකැටියා මව්කිරෙන් පෝෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය මව්වරුන් ඉතා ඉහළින්ම සිටී.

එළැඹෙන අගෝස්තුව නම් කෙරෙන්නේ මව්කිරි මාසය ලෙසිනි. 'මව් කිරි දීමේ ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වය සුරකිමු සැමට සම සේ සහාය දෙමු' යන තේමාව අනුව යමින් මව් කිරි දීමට සියලුම මව්වරුන් අභිප්‍රේරණය කිරීමට සෞඛ්‍ය අංශ සීරුවෙන් සිටියි.

සෑම කෙනාටම මව් කිරි දීම පොදු නැත. යම් යම් කණ්ඩායම්වල මේ ප්‍රවණතාව තරමක් අඩුවී තිබේ. රැකියාවේ නියුතු මවකට නිවෙසේ සිටින මවකට සාපේක්ෂව මව් කිරි දීමේ බාධක වැඩිය. නිවෙසේ සිටින මවක් දරු පැටියා තුරුලු කරගනිමින් තම ලෙය අපරිමිත සෙනෙහසකින් යුතුව කිරට හරවයි. දරුපැටියාට නිතර නිතර කිරි උරා බීමට සැලසෙන නිසා මවට පළමු මාස හයම කිරෙන් පමණක්ම පෝෂණය කිරිමේ අනගි අවස්ථාව උදා වෙයි.

රැකියාවට යන මවක් තම දරු පැටියා දමා පැය කිහිපයක් වෙන්ව සිටිනුයේ වාවාගත නොහැකි දොම්නසකිනි. කිරි දොවා යෑමට කටයුතු කළත් දරු පැටියා යම් තරමකට හෝ ඈත් වීම වළකාගත නොහැකිවේ. එහෙත් ආර්ථික අපහසුතා එමට ඇති අද වැනි වකවානුවක, රැකියා අවස්ථා දුලබ කාලයක කෙසේ නම් රැකියාවකට සමු දෙමුද?

රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ප්‍රසූත නිවාඩු ලබාදීමේ යම් යම් අසමානතා පවතී. මේ නිසා සැමට මව් කිරි දීමේ අයිතිවාසිකම ලැබෙන්නේ නැත. අසමානතා පවතින අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. පළමු, දෙවන හා තෙවන වශයෙන් දින 84 නිවාඩු ලැබීම ඇතැම් අංශවලට පොදු නැත. මුල්ම දින 84 නිවාඩුව සෑම මවකටම පාහේ පොදුවේ ලැබේ.

මව් කිරි දීම එහෙමපිටින්ම ප්‍රායෝගික ක්‍රියාවලියකි. මේනිසා

මව් කිරි දීමේ පුහුණුව පෙර පුහුණුවක් හා පසු පුහුණුවක් ලෙස ලබාදිය යුතුයි. පූර්ව ප්‍රසව සැසි, මව් කිරි කළමනාකරණ ඒකක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් ගෘහ ඇවිදීම් කරමින් කරන දැනුම්වත් කිරීම් මව්වරුන්ට ඉතා වැදගත් වේ.

කිරි දීම දරුවා කෙරෙහි කරන කැපකිරීම් අනාගත ආයෝජනයකි. එහි අසමානතාවයන් ආමන්ත්‍රණය කිරීමක් අත්‍යවශ්‍ය වේ. එය සමාජ අසමානතා තුරන් කිරීම සඳහාද උපකාරී වේ.

දරුවා ඉපදුණු පළමු පැය කිහිපය, පළමු සතිය තීරණාත්මක අවධියකි. කුලුඳුල් මවකට මව් කිරි දීමේදී මේ වකවානුව වෙසෙසින්ම තීරණාත්මක වේ. පළමුව ස්‍රාවයවන කොලෙස්ට්‍රම් දරුවාව මුළු ජීවිත කාලය පුරාවටම රෝ දුක්වලින් ආරක්ෂා කරයි. මේවා යාන්තමට ස්‍රාවය වෙයි. තනපුඩුවෙන් කිරි වෑහෙන්නේ නැතැයි සිතන සෙස්සන්

'කිරි නෑ වගේ'

'පව් දරු පැටියා, ඉතිං දරුවට ගොං කිරිවල පිහිට තමයි'....

යනුවෙන් තැන තැන කසුකුසුවක් ඇති කරයි.

ඉඳහිට මවකට යාන්තමට කිරි ස්‍රාවය වුවත් දරු පැටියා පෝෂණය කිරීමට ප්‍රමාණවත් තරම් කිරි ඈ වෙතින් නිකුත් වේ. පිළිකා රෝගයක් වැලඳී කීමෝ ප්‍රතිකාර කරන්නේනම්, මව ජීවතුන් අතර නොමැති නම්, හදාගත් දරුවෙක් නම් ......යන කාරණා හැරුණු විට දරුවකුට මව්කිරෙන් පෝෂණය වීමට ඇති අවස්ථාව කොහෙත්ම මඟ නොහැරිය යුතුවේ.

දරුවා සීසර් සැත්කමකින් වුව සාමාන්‍ය ක්‍රමයකට වූව ප්‍රසූත වූවත් ඉපදී පළමු පැය ඇතුළත මව් කිරි දීම ආරම්භ කළ යුතුවේ. ඉපදී පළමු මාස හය තුළදී දරුවා ඉල්ලන සෑම විටම මව් කිරි පමණක් ලබාදිය යුතුවේ. මාස හය සම්පූර්ණ වූ විට පෝෂ්‍යදායි සෞඛ්‍ය ආරක්ෂිත අමතර ආහාර (ඝන) හඳුන්වා දී නිසි පරිදි අමතර ආහාර ලබා දෙන අතර මව් කිරි දීමද අවුරුදු දෙකක් දක්වා සහ ඉන්පසුවත් පවත්වාගෙන යා යුතුයි.

තීරණාත්මක පළමු සතිය තුළදී මව් කිරි දීම සඳහා නිසි සහාය නොලැබීම මව් කිරි ලබාදීමේ තීරණයට සහ සමස්ත ප්‍රවණතාවට සෘනාත්මක බලපෑමක් ඇති කරයි.

දරුවන් බිහිකළ සියලුම අම්මලාට මව් කිරි දීමට හැකිද?

පෙර කී පරිදි පිළිකා රෝගය සඳහා කීමෝ ප්‍රතිකාර කරන මව්වරුන් හැරෙන්න කොතරම් ළාබාල වුවත් වැඩි වයස් වුවත් සිහින් සිරුරක් ඇතත් දරුවාට අවශ්‍ය තරම් කිරි නිපදවන්න මවට පුළුවනි. මේ සඳහා ඇගේ ආත්ම ශක්තිය දියුණු කළ යුතුවේ.

මව් කිරි දීමට දරුවා ලැබෙන්නට පෙර සූදානමක් අවශ්‍යද?

ඔව්, මව් කිරිවල ගුණ හා පිටිකිරිවල ගුණ අගුණ දැන ගැනීමත්, එමෙන්ම මව් කිරි දීමට දරුවා පියයුරට අල්ලා ගන්නා ආකාරය හොඳින් දැනගතහොත් කිරි දීමට පහසුවේ. මෙම උපදෙස් ගැබිනි කාලයේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් අසා දැන ගැනීමට පුළුවනි.

පියයුරේ ප්‍රමාණය කිරි දීමට බලපෑම් ඇති කරන්නේද?

නැත, පියයුර කුඩා වුවත් විශාල වුවත් හැඩය කුමක් වුවත් සෑදෙන කිරි ප්‍රමාණයේ වෙනසක් නොවේ. පියයුරේ ප්‍රමාණය තීරණය වන්නේ එහි තැන්පත් වී ඇති තෙල් පටක ප්‍රමාණය මතයි. එම තෙල් පටක කිරි නිපදවීමට බලපෑමක් ඇති නොකරයි.

ඉක්මනින් පළමු කිරි වේල දීමේ වාසිය කුමක්ද?

දරුවා වෙනත් දෙයක් ඉරීමට පුරුදුවීමට පෙර පියයුර ඉරීම නිසා එවැනි දරුවන් වැඩිපුර කාලයක් සාර්ථක ලෙස මව් කිරි බොන වග පෙනී ගොස් ඇත. තවද දරුවාගේ ඉරීමේ ක්‍රියාව ඉතා හොඳින් ක්‍රියාත්මක වන්නේ දරු උපතින් විනාඩි 20ත් 30ත් අතරය. එමෙන්ම මෙම කාලයේදී කිරි බීමට දරුවෝ වැඩි කැමැත්තක් දක්වයි. ඉන්පසු එය ක්‍රමයෙන් අඩුවේ. ඉක්මනින්

කිරි නොබිව් දරුවන් පැය 24 - 36 වනතුරු නැවත බීමට මැලිකමක් දක්වයි. එම නිසා ඉක්මනින් කිරි බීමට දරුවා පියයුරට යොමු කිරීම ඉතාම සාර්ථක ආරම්භයකි.

දරුවා කිරි උරන විට මවගේ ගර්භාශය හැකිළී දරු උපතින් පසු සිදුවන රුධිරය පිටවීමද අඩුවේ. එයින් මව් මරණ අඩුවේ. ඉක්මනින් දරුවන් පියයුරට යොමු කිරීම මවට මේ වාසිය අත්වේ.

දරුවාට ලැබිය යුතු පළමු ආහාරය කුමක්ද?

මව් කිරි පළමු හා එකම ආහාරය වේ. මව් කිරි උරාබීමට නොහැකි නම් දොවා ගත් මව් කිරි දරුවාට දිය යුතුවේ. පිටිකිරි මව් කිරිවලට වඩා කිසිසේත්ම උසස් හෝ සමාන නොවේ. එයින් දරුවාට සිදුවිය හැකි හානි බොහෝය.

මව් කිරි පමණක් දීම(Exclusive Breast Feeding) යනු කුමක්ද?

පළමු මාස හය සම්පූර්ණ වනතුරු දරුවාට දිය යුත්තේ මව් කිරි පමණි. වතුර, ග්ලුකෝස් වතුර, පිටිකිරි ..මේ කිසිවක් සුදුසු නැත. මේවායින් දරුවාට සිදුවන හානි බොහෝය. දරුවාට අවශ්‍ය වතුරද කෑමද බීමද බෙහෙත්ද මේ සියල්ලම කිරිවල නොඅඩුව ඇත.

පළමු මාස හතරේදී ඉතා උණුසුම් දිනයකදී වූවත් දරුවාට ජලය අවශ්‍ය නොවේද?

කොහෙත්ම නැත. මව් කිරිවල වතුර ඇත. උණුසුම වැඩි වුවත් දරුවාට පිටතින් වතුර දීම අවශ්‍ය නොවේ. දරුවාට වතුර දීමෙන් හානි රැසක් සිදුවේ. වතුර සමඟ විෂබීජ ඇතුළු වී පාචනය වැලඳිය හැකියි. දරුවාගේ කුඩා කුස පෝෂණයක් නැති වතුරෙන් පිරුණු විට ඊළඟ කිරිවේල දරුවා අඩුවෙන් උරා බොයි. එවිටද දරුවාගේ වැඩීම බාල වේ. දරුවාගේ කිරි උරා බීම අඩු වූ විට මවගේ කිරි නිපදවීම ද අඩුවිය හැකියි.

දරුවාට ඉක්කාව ඇති වුවහොත් වතුර ස්වල්පයක් දිය යුතුද?

කොහෙත්ම අවශ්‍ය නොවේ. ඉක්කාව ඇති වුවත් මව් කිරි ටිකක් දීම සෑහේ. කුඩා දරුවන්ට ඇතිවන ඉක්කාව රෝගයක් නොවේ.

දරුවාට මව් කිරි දීමට පෙර මව කිරි බීම අත්‍යවශ්‍යද?

නැත. කිරි බීමෙන් මව් කිරි ප්‍රමාණය වැඩි වේ යැයි සිතීම මුලාවකි. දරුවාට කිරි දීමට පෙර උණුසුම් යමක් බීමෙන් කිරි ගලා ඒම වැඩිවේ. කිරි බීමෙන් කිරි නිපදවීම වැඩි නොවේ. ඔබට කිරි බීමට හැකි නම් කිරි බීවාට හානියක් නොවේ. නමුත් මව් කිරි දීමට මව පිටි කිරි බීම අත්‍යවශ්‍ය යැයි සිතීම මුලාවකි.

 

 

උපදෙස් :

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ

ළමා පෝෂණ ඒකකයේ

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය

හිරණ්‍යා ජයවික්‍රම