වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සමාජ ජාලවල සැරිසරන ඔබේ හික්මීම කෙසේ විය යුතු ද?
අද අප ජීවත්වන්නේ තාක්ෂණයේ බලමහිමයෙන් මුළු ලොවම එකට බැඳී ඇති සමාජයකය. එම තාක්ෂණය සමඟින් අප ද බැඳී සිටිය යුතුමය. එසේ නොවුවහොත් ඔබ මා යල්පැන ගිය චරිත බවට පත්වීම වළකාලිය නොහැකියි.
එහෙත් තාක්ෂණය ජීවිතයට ඈඳා ගන්නේ අඥාන අයුරින් නම් ඔබ අගාධයේ වැටෙනුයේ බලාගෙන ඉඳිද්දීමය.
එදා පෑනේ මිතුරන් බවට පත්වෙමින් කිසිදා නොදුටු දෙදෙනෙක් තම තොරතුරු හුවමාරු කරගනිද්දී වත්මන් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ අලුත් මිතුරන් හමුව ඉවක් බවක් නැතිවම සිදුවේ. ඒ සමඟින් ‘පෑනේ මිතුරා’ සංකල්පය නැත්තටම නැතුවා සේය.
තත්පරයකින් මොහොතකින් ලොව කොතැනක හෝ සිටින කෙනෙක් ලොව කොතැනක හෝ සිදුවන දෙයක් share (හුවමාරු) කරගැනීම දැන් ඉතාම පහසු හා සරල දෙයකි. ෆේස්බුක් ,ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්ඇප්, ස්නැප් චැට්, වයිබර්, මැසෙන්ජර්, ඉමෝ ආදී සමාජ ජාලා වෙබ් අඩවි මේ මිතුරු හමුවට අපූරු පාලමක් තනයි.
මේ මිතුරු පාලම තනාගත් ඔබ පෞද්ගලිකභාවය (privacy),ආරක්ෂිතබව (security) හා ආචාර ධර්ම (Ethics) පිළිබඳ සැලකිලිමත් වුණි ද?
තාක්ෂණය තම ජීවිතයම කරගත් සියයට 95 කටත් වඩා පිරිසක් දවසේ විසිහතර පැයෙන් වැඩිම වේලාවක් සිටිනුයේ තම ස්මාර්ට් ජංගම දුරකථනය අතැතිවය. එයිනුත් සමාජ ජාලා වෙබ් අඩවි අතර සැරිසරමිනි. හැමවිටම සමාජ ජාලා වෙබ් අඩවි අතර සැරිසැරුවාට ඔබ ජංගම දුරකථනයේ තාක්ෂණයෙන් නියම වැඩක් ගන්නා අයකු යැයි කියා.
සමාජජාලා වෙබ් අඩවි අතර ඔබ අනවශ්‍ය , පෙරකී පරිදි පෞද්ගලිකත්වය, රහස්‍යභාවය හා ආචාරධර්ම රැකෙන පරිදි කටයුතු කළාදැයි යන්න පිළිබඳ දැනගැනීමේ හොඳම උදාහරණය පසුගිය මාස තුනකට පමණ පෙර සිදුවූ බෝම්බ සිදුවීම්ය. එහිදී සමාජ ජාල වෙබ් අඩවි සඳහා බාධක දමන්නට, දින කිහිපයක් තහනම් කරන්නට සිදුවූයේ සමාජ ජාල වෙබ් අඩවි අතර සැරිසරන්නන්ගේ නොසන්සුන්කාරී බව නිසාම නේද? ප්‍රජාතන්ත්‍රිවාදී රටක නිදහස ඒ දිනවල අපට ලැබුණේ ද ? රජයකට එවැනි ක්‍රියාමාර්ග කරා යෑමට සිදුවූයේ ඔබ සමාජ ජාලා වෙබ් අඩවි අතර ඉවක් බවක් නැතිව සැරිසැරූ නිසා ය. එය නූගත්කම නිසාම සිදුවූවක් නොවේද?
ඉහළ වෘත්තීන්වල යෙදෙන අය පවා මෙහි කොටස්කරුවන් වී තිබුණි.
ඔබ සමාජ ජාලා වෙබ් අඩවි අතර අනවශ්‍ය ලෙස කරුණු කාරණා බෙදාහැරීම නිසා රටට සිදුවූ පාඩුව සුළුපටු එකක් ද ?