සොඳුරු දසුන් සමඟින් ‍ෙලා්කයේ විස්මිත උත්සව

සැප්තැම්බර් 15, 2021

 

ආගමික අරමුණු වෙනුවෙන් හෝ විවිධ සැමරීම් වෙනුවෙන් ලෝකය පුරා පැවැත්වෙන විවිධාකාර උත්සව හා සංදර්ශන බොහෝය. මේ උත්සව අතර අලංකාරයෙන් අනූන අමුතු හා විස්මිත උත්සව ද ඇත. අපේ රටේ වෙසක්, පොසොන් ආදී උත්සව, සිංහල අවුරුදු උත්සවය හා නුවර ඇසළ පෙරහැර එවැනි උත්සව කිහිපයකි. අලංකාරයෙන් අනූන ලෝකයේ ජනප්‍රිය උත්සව හා සැමරුම් කිහිපයකි මේ.

 

ඉන්දියාවේ දිවාලි සහ හෝලි

ඉන්දියාවේ පවත්වන දිවාලි හා හෝලි උත්සව විශේෂක් ගනී. දිවාලි යනු ආලෝක උත්සවයකි. නපුරට වඩා යහපත, අන්ධකාරයට වඩා ආලෝකය යන තේමා මෙහි මූලික අරමුණු වේ. මේ උත්සවය සාමාන්‍යයෙන් ඔක්තෝබර් මැද සිට නොවැම්බර් මැද දක්වා සමරයි. මෙහිදී නිවෙස්, වෙළෙඳසල්, පොදු ස්ථාන කුඩා මැටි පහන් පත්තුකර ආලෝකවත් කරයි. වර්ණවත් විදුලි බුබුළුවලින් ආලෝකවත් කරයි. මල්වෙඩි සංදර්ශන පවත්වයි. තෑගි හුවමාරු කරගැනීම සිදුකරයි.

හෝලි යනු හින්දු බැතිමතුන් සමරන ආගමික උත්සවයකි. වර්ණ උත්සවය, ආදරයේ උත්සවය, වසන්ත උත්සවය ආදී නම්වලින් ද මෙය හඳුන්වයි. මෙය මාර්තු මාසයේ පුර පසළොස්වක දින සවස් වරුවේ සිට රාත්‍රීය පුරාත් පසුදින දවස පුරාත් පැවැත්වේ. මෙහිදී එකිනෙකා පාට කුඩු හා ජලය විසිකරගනිමින් සතුටුවෙයි. ගී කියමින් නටයි.

 

තායිලන්තයේ සොන්ග්ක්‍රන් උත්සවය

 

වසන්ත සමය පිළිගැනීම වෙනුවෙන් පවත්වන උත්සවයකි. මෙය අපේ සිංහල අවුරුදු උත්සවයට සමාන වේ. එනම් හිරු මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වීම සිදුවන කාලය මේ උත්සව කාලයයි.

මේ උත්සවය අප්‍රේල් 13 වැනිදා ආරම්භ වී අප්‍රේල් 15 වැනිදා අවසන් වේ.

මෙය තායිලන්තයේ ප්‍රධාන බෞද්ධ හා නව අවුරුදු ජාතික නිවාඩු දිනයක් ද වේ. බුදු දහමට සම්බන්ධ උත්සවයක් වන අතර භික්ෂූන් වහන්සේලාට ආහාර හා විවිධ දානමය පූජාවන් සිදුකරයි. බුදු පිළිමවලට වතුර වත්කරයි.

බාල මහලු සියලුදෙනා එකිනෙකාට වතුර වත්කරගනිමින් විනෝද වෙති. ඒ නිසා සමහරු මෙය ජල මංගල්‍යක් ලෙස ද හඳුන්වති. දුරස්වූවන් සමඟි කිරීමක් සිදුකරයි.

කාම්බෝජයේ, ලාඕසයේ හා මියන්මාරයේ තරමක් වෙනස් ලෙස වෙනත් නම්වලින් වෙනත් දිනවල මෙවැනි උත්සව පැවැත් වේ.

ජපානයේ ඔබෝන් උත්සවය

මේ උත්සවය අගෝස්තු මාසයේ දී පුරා දින තුනක් පැවැත්වේ. බොන් ඔඩෝරි නැටුම්වලින් සහ කියෝතෝ කඳුකරයේ දල්වන දැවැන්ත ගිනිසිළුවලින් උත්සවය අලංකාර වේ. නිවෙස් හා සුසාන භූමි ආලෝක පහන් කිඋඩුවලින් අලංකාර කරයි. මෙය සිය මුතුන් මිත්තන් සිහිපත් කිරීමේ බෞද්ධ උත්සවයකි. පහන් කූඩු උත්සවය ලෙස ද මෙය හඳුන්වයි. ගංගා දියේ පත්තුකරන ලද කඩදාසි පහන්කූඩු පාකර හරී.

නෙදර්ලන්තයේ මල් සැණකෙළිය

මෙය බ්ලූමෙන්කෝර්සෝ සුන්ඩර්ට් ලෙසින් හඳුන්වන අතර ලොව විශාලතම මල් පෙරහැරයි. සැප්තැම්බර් පළමු ඉරිදා දින නෙදර්ලන්තයේ සුන්ඩර්ට් හි දී පැවැත්වේ. විවිධ කලා ආකෘති, සත්ත්ව රූප ආදිය මිලියන ගණනක වූ ටියුලිප්, ඩැෆඩිල් ආදී මල්වලින් නිර්මාණය කර වාහන මත තබාගෙන පෙළපාලියේ ගමන් කරයි. මෙය සැබැවින්ම විස්මිත සංදර්ශනයකි.

 

ස්පාඤ්ඤයේ ලාස් ෆැලේස් උත්සවය

ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ ශාන්ත ජෝශප් ශාන්තුවරයා සිහිකිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන සාම්ප්‍රදායික සැමරුම් උත්සවයකි. මෙය මාර්තු මාසයේ පැවැත්වෙන අතර ගිනිකෙළි සංදර්ශන විශේෂත්වයකි. විවිධ ස්මාරක, ආකෘතින් ආදිය අලංකාරව නිර්මාණයකර වීදි පුරා සංචාරය කෙරේ. අවසානයේ ඒවා පුලුස්සා දමයි. මෙහි ඉතාමත් හැඟීම්බර මොහොත නම් මූර්තිවල ඉහළ කොටස ගින්නෙන් පහළට වැටෙන අවස්ථාවයි.

 

ජර්මනියේ ආලෝක උත්සවය

 

සෑම වසරකම සර්ත් ඍතුවේ දී බර්ලින් නගරයේ දී පැවැත්වේ. සැප්තැම්බරයේ මුළු නගරයේම ඇති කඩ, සාප්පු, ගොඩනැගිලි, ස්මාරක, නිවෙස් ආදී සියල්ලම විවිධ වර්ණ විදුලි බුබුළු මඟින් විචිත්‍රවත් ලෙස අලංකාර කරයි. මුළු බර්ලීනයම ආලෝකයෙන් වර්ණවත් වේ.

 

චීනයේ පහන් කූඩු උත්සවය

 මෙය චීන අලුත් අවුරුදු දිනයේ අවසාන දිනයයි. මකරුන් ආදී සත්ත්ව රූප පහන් කූඩු ලෙස නිර්මාණය කරයි. දිය මත තැබීමට නෙළුම් ආදී මල් හා දියේ වෙසෙන මාළු, ගෙම්බන් බෙල්ලන් ආදී සතුන්ගේ ආකෘතින් අනුව නිර්මාණය කරයි. ළමයි රාත්‍රීයේ දී පහන් කූඩු රැගෙන එළියට ගොස් පහන් කූඩුවල ප්‍රහේලිකා විසඳති. වාසනාව සංඛේතවත් කිරීම සඳහා බොහෝවිට මෙම පහන් කූඩු රතු පැහැටක් ගනී. ලෝකය පුරාමත් මෙවැනි විවිධ පහන්කූඩු උත්සව දැකගත හැකියි.

 

 

අන්තර්ජාලයෙනි