වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අලුත් අවුරුද්දට දෙන්න හොඳ මොන වගේ තෑගිද ?
අවුරුද්ද හිස් අතින් එන්නේ නැහැ. මාස දොළහක් පිරෙන්න දින දසුනේ කොළ 365 කුත් අර ගෙනයි එන්නෙ. අපිත් අලුත් අවුරුද්දේ නෑසිය හිත මිතුරන් ගේ නිවෙස්වලට යාද්දි හිස් අතින් යන්න හොඳ නැහැ.
දෝත පුරාම හිත පිරෙන යමක් අරන් යන්න පුළුවන් නම් ඔවුන් මොන තරම් සතුටක් වසර පුරාම ලබාවිද? වසරක් නිමවී වසරක් ලබද්දී නිවෙසකට රැගෙන යා හැකි තෑගි ගණනාවක් ම තියෙනවා.
පින්තූර රාමුවක්
මොන තරම් සෙල්ෆි ගැහුවත් නිදන කාමරයේ හෝ ආලින්දයේ හෝ තබා ඇති තමන් ගේ ඡායාරූපයක් දැකීමෙන් ලබන සතුට විඳිය හැකිද ? ෆෝන් එක කැඩුණොත් සෙල්ෆියත් සුනේසුන්. පින්තූර රාමුවක් තෑග්ගක් විදියට දුන්නොත් සෙල්ෆියේ ඡායාරූපයක් වුණත් මුද්‍රණය කරලා රාමු කරලා තියා ගන්න පුළුවන්.
මේක්අප් කට්ටල
මිතුරිය නිරන්තරයෙන් ම රුව හැඩ කර ගන්නියක නම් මේක්අප් කට්ටලයක් කෙතරම් ප්‍රයෝජනවත් වේවිද ? තමන් ගේ සමීපතමයන් ගේ රූපලාවණ්‍ය රහස් දන්නා නිසා ලේසියෙන් ම ගැළපෙන රූපලාවණ්‍ය කට්ටලයක් තෝරා ගන්න පුළුවන්.
තෑගි වවුචර
කවුරුන් හෝ කැමැති දේ ගැන හරි අවබෝධයක් නැත්නම් කළ යුතු හොඳම දේ තෑගි වවුචරයක් තිළිණ කිරීමයි. එවිට කැමැති දෙයක් මිලදී ගැනීමේ නිදහස ඔහුට / ඇයට ලැබෙනවා.
සඟරාවකට, පත්තරයකට වාර්ෂික දායකත්වයක් ලබා දීම
පොතට පතට කැමැති කෙනකුට මීට වඩා වටිනා තිළිණයක් තිබෙනවාද ? කැමැතිම තරුණී වගේ කාන්තා පත්තරයක වාර්ෂික දායකත්වය මිතුරිය ට තිළිණ කරන්න.
ඉයර්ෆෝන්
නව යොවුන් දූ දරුවන්ට සංගීත ලෝලී වැඩිහිටියන් ට වගේම මාර්ග ගත රැස්වීම්වලට සහභාගී වන්නන්ට ඉයර්ෆෝන් ඉතාමත් ම ප්‍රයෝජනවත්. ඔහු ඇය කැමැති වර්ණයේ ඉයර්ෆෝන් තෝරා ගන්නත් අමතක කරන්න එපා.
ආභරණ
කෘත්‍රිම ආභරණ විවිධ මිලට වෙළෙඳ පොලේ තිබෙනවා. මිතුරිය කැමැති අන්දමේ ආභරණයක් තෝරා ගන්න හරිම පහසුයි.
ශාකයක්
විසිතුරු ශාක, මල් හෝ එළවළු - පලතුරු පැළ ගෙවත්තට එක්කර ගැනීම කාලීන අවශ්‍යතාවක් වෙලා. දැනට ඔබේ හිතවතා / හිතවතිය වැවීමට උනන්දු නැත්නම් උනන්දු කරවීමටත්, නව වසරට යහපත් පුරුද්දක් ඇති කිරීමටත් ඔන්න අවස්ථාවක් උදාවෙලා. නිවෙස ඇතුළත තැබීමට පුළුවන් ශාක වගේම එළිමහනේ තැබීමට හැකි ශාකත් ඖෂධීය ශාකත් ඔබට තිළිණ කරන්න පුළුවන්. රැකියාවට යන මිතුරියකට නම් වැඩි සාත්තුවක් අනවශ්‍ය කෝමාරිකා වැනි ශාකයක් තිළිණ කළ හැකියි.
සැමියාට ගැළපෙන තෑගි...
ඔබ සැමියාට හැමදාම කමිසයක් නව වසරට මිලදී ගන්නා බිරියක් නම් මේ වෙනස්කම් කර බලන්න. කාන්තාවන් වගේ මල්ලක් ඔසවා ගෙන නො යන නිසා සම් වොලට්ටුවක් පිරිමියකුට ගොඩක් වටිනවා. රැවුල බාද්දි ඇඳ ගෙන ඉන්න ඒප්‍රණයක් පුංචි වුණත් ප්‍රයෝජනවත් තෑග්ගක්. ඒ එක්කම රැවුල බාන රේසරයක් ද රැගෙන දිය හැකියි. කාර්යාලයට රැගෙන යන්න ඔහුගේ මනාපයට ගැළපෙන්න කාර්යාලීය බෑගයක් තෝරා ගැනීමත් පහසුවෙන් කරන්න පුළුවන්.
අන්තර්ජාලයෙනි