වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ඇද හැලෙන වැසි එක්ක හිත දුර ගියා......
දවස් ගානක් තිස්සෙ ඇද හැලෙන මේ ධාරානිපාත වැස්ස අද ටිකක් තුරල් වෙලා. ඒත් ඒ ධාරානිපාත වැස්ස දවස් ගාණක් තිස්සෙ පාරවපු හිත අද මතක අස්සෙන් තනි වෙන්න උත්සාහ කරනවා. උණු කෝපි කෝප්පයක් තොල ගාන ගමන් කවුළුව අසලට වෙලා පොද වැස්ස දිහා අරමුණක් නැතිව ඔහේ බලාගෙන හිටියෙ අතීත මතක එකින් එක රූප රාමු වෙලා මනස තුළ සිතුවම් වෙද්දි..
වරින් වර කවුළුව අතරින් උවනත සිඹින හිරිකඩ ගැන වගක්වත් නොවෙන තරමට වැස්සත් එක්ක ගුළි වෙලා හිත අතීතයට යන්න පටන් අරන්. හිරිකඩ පහසට හීං සුළං රැලි එකතු වෙලා හිත අතීතයෙ අතරමං කරලා..
ජීවිත පොතේ වර්තමානය විරහවටම වෙන් වූ පරිච්ඡේදයක් වුණත් ජීවිත පොත ආපස්සට පෙරළද්දි මුණගැහෙන්නෙ ආදරයට විතරක්ම වෙන්වුණු හරි ලස්සන පරිච්ඡේදයක්..
අද වගේ මතකයි මට අපේ ආදරයට පාර කිව්වෙ තරමක් තුරල් වෙලා තියෙන මේ වැස්සම තමයි. සාරි පොටින් ඔළුව වහගෙන වැස්සට මුවා වෙන්නෙ දරන උත්සාහය දිහා හිනාවෙවී බලන් හිටපු ඒ කඩවසම් රුව එදා මගෙ හිත හොරකම් නොකළා නම් අදත් මං සතුටින්..
දෙනෝදහක් එහා මෙහා යන පාර දෙපසට වෙලා ඇස්වලින් කතා කරපු හැටි... හිනාවෙන් අදහස් බෙදාගත්ත හැටි මතක් වෙද්දි පපුව හරහා යන සියුම් වේදනාව ලොකු වේදනාවක් බවට පත්වෙන්න යන්නෙ තත්පර ගාණයි. මුලින් මුලින් ඇස්වලින් කතා කරපු අපි ආදරෙන් අත් අල්ලන් ඔහේ ඇවිදගෙන යන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. ඇත්තමයි ඒ දෑතෙ පැටලිලා මං නොගිය තැනක් නැති තරම්..
නුවර වැව රවුම, ඇතුගල, කැලණිය පුදබිම, සීතල නුවර එළිය, මුහුදු වෙරළ කියන්නෙ අපේ ආදර කතාවට ලස්සනම මතකයන් එකතු කරපු හිත නැවතුණු තැන් වුණත් අද වෙද්දි ඒ හැමදෙයක්ම මතකයක් විතරක්ම වෙලා. හිත පාරවන වේදනාවක් විතරක්ම වෙලා..
එදා අපේ ආදරයට සවියක් වුණු විහාරමහාදේවි උද්‍යානය සමහර විට බොහොම කාලෙකින් අපේ ආදර කතා නෑසුණේ ඇයි කියලා හේතු හොයනවා ඇති. උද්‍යානය මැද්දට වෙන්න පිහිඹියා ගහ යට තියෙන බංකුවට තවමත් අපි මුමුණපු කතා ඇහෙනවා වගේ ඇති.. ඒ සුවිසල් පපුවට බරවෙලා මං දොඩමළු වුණේ හරියට සාවදානව ඇහුම්කන් දෙන බස්සෙක් ළඟ තොරතෝංචියක් නැතිව කියවන ගිරවියක් වගේ..
අපේ ආදරේ සමහර ලස්සනම මතකයන් වැඩිපුරම තිබුණෙ මේ උද්‍යානයේ පිහිඹියා ගහ යට පුංචි බංකුවෙ.. ඒ පපුවෙ උණුසුම.. ආදරයෙ සුවඳ තවමත් දැනෙනවා වගේ.. අපේ ආදරයෙ ලස්සනම කතා, අපේ අනාගත සැලසුම් බොහොමයක් නිර්මාණය වුණේ ඒ පිහිඹියා ගහ යට බංකුවෙ... ඒ කතා අහගෙන ඉන්න ගමන් පිහිඹියා ගහ යටින් එහෙ මෙහෙ ගිය මෙඳ සුළඟ අපේ ආදරේ ගැන හැමෝටම කිය කියා යන්න ඇති.. කුරුලු ජෝඩුවක් වගේ තුරුලුවෙලා ආදරේ බෙදාගත්ත අපි දිහා හැමෝම බලාගෙන ඉන්න ඇති..
ඒත් එකෝමත් එක ගෙවුණු දවසක කුණාටුවක ස්වරූපයක් ළඟ පාතකවත් නොවෙද්දි සිතිවිලි හරහා හමා ගිය පුංචිම පුංචි සුළඟකට අපේ කුරුලු කූඩුව කෑලි කෑලිවලට කැඩිලා විසිරිලා ගියේ ඒ බලන් හිටපු අයගෙ, අපේ කතා අහන් හිටපු අයගෙ ඇස් වහ වැදිලා වෙන්නැති. විරහවට අත්පොත් තියපු පළවැනි තත්පරේ මට හිතුණෙ එහෙමයි. වැහි අඳුරක සේයාවක්වත් නොතිබුණු අහසෙන් අකුණු පිට අකුණු මතුවෙලා අපේ හිත් කෑලි කෑලිවලට බිඳිලා යන්න වෙන හේතුවක් තිබුණෙ නෑ..
අවුරුදු දෙකක් ඇතුළෙ දවස් 730 ක් පැය නම් 17520 ක් ළඟින් හිටපු, ආදරේ කරපු අපිට අපිවම තේරුම් ගන්න බැරිවීම නිසයි අපේ වෙන්වීම සිදු වුණේ.... විරහවට අත්පොත් තියන්න සිදුවුණේ... කියන යථාර්ථය, බුද්ධිය පිළිගත්තත් හැඟීම්වලින් සැදුම්ලත් හදවත පිළිගන්න අකැමැති නිසාමයි අපේ වෙන්වීමට හේතුව අපි දිහා බලපු අයගෙ ඇස්වහා කියලා මං මගේ හිත අදටත් රවට්ට ගන්නෙ..
වැස්සත් එක්ක දුර ගියෙ සිතිවිලි වුණාට වේදනාව දැනෙන්නෙ විරහව පිරුණු තවමත් හදාගන්න බැරිවුණු මටම අකීකරු මගේ හිතට. විරහව එක්ක සිතිවිලි දුර යද්දි හිසට ඉහළින් කොපුලකට වැටුණු සීතල වතුර බිංදු කිහිපයක පහසින් තමයි මම පියවි සිහිය ලැබුවෙ...
හ්ම්.. අත රැඳුණු කෝපි කෝප්පය හොඳටම සීතල වෙලා ගිහින්. තුරල් වෙලා තිබුණ වැස්ස ඒ ටිකට ධාරානිපාත වැස්සක් වෙලා. තවමත් කොපුලකට වැටෙන වතුර බිංදු නොනැවතුන නිසයි හිසට උඩින් තියෙන වහලෙ දිහා බැලුවෙ. වහලෙ තියෙන උළු කැටයක් ඉරිතැළිලා. ඒ අතරින් වැටෙන වැහි වතුර බිංදු මාව හොයාගෙන පහළටම ඇදෙනවා. හරියට ඉරි තළා ගිය මගෙ ආදරේ අස්සෙන් මතක සොයාගෙන යන හිත විරහව ළඟ නතර වෙලා ඇසිපියන් කඳුළින් බර කරද්දි කඳුළු බිංදු දෙකොපුල් දිගේ පහළට ගලා බසිනවා වගේ.
සොබාදහමත් හරි පුදුමයි. ජීවිත පොතෙන් මකලා දාන්න උත්සාහ කරන සිදුවීම් උදාහරණත් එක්ක අපිට ආයෙ ආයෙ මතක් වෙන්න සලස්වනවා. ඒ කොහොම වුණත් වැස්ස.. ආදරය.. විරහව.. කියන්නෙ එකම ගහක මල්, කොළ, ගෙඩි වගේ. එකිනෙකට වෙනස් වුණත් ඒ සියල්ලේම උපත තියෙන්නෙ එකම තැනක.
ඉතින්, සිතිවිලි සමඟ සටන් කර පරාජය වීමෙන් අනතුරුව මම එක් දෙයක් තේරුම් ගතිමි. ආදරය නම් වූ ද්වාරය තුළින් ඇතුළු වූ පසු විරහව නම් වූ ද්වාරයෙන් පිටවීමට සිදුවුවහොත් සංවේදී හිතකට විරහව යන්න කිසිවක් නොලියා මඟ හරින්නටම බැරි වේදනාත්මක පරිච්ඡේදයක් වේවි.