අඳුරු අහසට පෑයූ රිදී රේඛාව

SELF MADE
නොවැම්බර් 14, 2022

 

ඇය කළු ජාතික කාන්තාවක්. ස්ථුල ශරීරියක් හිමි රැලි ගැසුණු කෙටි කොණ්ඩයක් හිමි ඇයට ද අන් කළු ජාතික කාන්තාවන්ට මෙන්ම සියල්ලන්ටම පොදු වූ ගැටලු ලැයිස්තුවක් තිබුණා. ඒ අතරින් ඔවුනට හිමි අංක එකේ දරිද්‍රතාවයෙන් ඔවුන් බැටකන විට කාන්තාවකට තම රූපාලංකාරය සම්බන්ධයෙන් පවතින ගැටලුව ඇයට ද දැඩි සේ දැනෙන්නට වුණා. ඒ ඔවුනට හිමි දිගින් නොවැඩෙන හිසකේ විලාසිතා කළ නොහැකි තට්ට හිසක් වැනි හිසකෙස්ය.

 

ඔව්! Sarah Breed love අපි මේ කතා කරන ඇයට ද හිමිව තිබුණේ එවන් රැලි ගැසුණු කෙටි කොණ්ඩයක්. මේ නිසා කළු ජාතික කාන්තාවන්ගේ හිසකේ අලංකාරවත් ලෙස වැඩෙන ආලේපයක් නිපදවමින් එය අලෙවි කිරීමේ කටයුතුවල යෙදීම පිළිබඳව කතාමාලාව පුරාම දක්නට ලැබීම විශේෂිතයි.

සාරා තමාගේම නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර අලෙවි කරනු ලබන්නේ ඇයගේ හිසකේ වර්ධනය කිරීමට උදව් කරනු ලැබූ ඇයගේ හිසකේ විලාසිතාවක් නිර්මාණය කළ හිසකේ නිර්මාණ ශිල්පිනියගේ හිසකේ ආලේපනයයි. හිසකේ විලාසිතාගාරයක් පවත්වාගෙන ගිය අය Addie Munroe සාරා තමාගේ හිසකේ වර්ධනය කළ ආලේපනය අලෙවි කරනු ලැබූ පළමු දිනයේම සැලකිය යුතු මට්ටමේ අලෙවියක් කිරීමට වුණි.

 

"Addie Munroe’s Magical Hair Grower! Fifty cents"

 

සාරා ඇයගේ හිසකේ සාත්තුව සිදුකර ගැනීමෙන් පස්සේ ඒ විදියට අලෙවි කටයුතු සඳහා එක්වුණත් Addie Munroe මේ සඳහා කැමැත්තක් දක්වන්නේ නෑ. මේ හේතුවෙන් සාරා අලුත්ම විදියෙ තීරණයකට එනවා. ඒක තමයි නවතම හිසකෙස් වර්ධනය කිරීමේ ආලේපනයක්. තමා වගේම ප්‍රශ්නයක් තියෙන කළු ජාතික කාන්තාවන්ට හඳුන්වා දෙන්න. කාන්තාවක් විදියට ඒ වගේ අලුත් තීරණයකට එළඹෙන්න ඇය කිසිම වෙලාවක පසුබට වෙන්නේ නෑ.

 

ඔව්, ඒ වෙනුවෙන් පහුවදාම සාරා තමාගේ නිවසේදී මේ කටයුතු ආරම්භ කරනවා. වැරැදීම්, නිවැරැදි වීම් ගොඩක් මැද්දේ සාරා තමන්ගේම කියලා හිසකේ ආලේපනයක් නිර්මාණය කරනවා.

ඒත් ඇය හිතපු විදියට මෙය වර්ධනය කරගන්න සාරාට හැකියාවක් ලැබෙන්නේ. කවුරු වුණත් ජීවිතේ දිනන්න වැඩක් පටන් ගත්තට පස්සේ සොබාදහම වුණත් ආශිර්වාද කරනවා කියල කියන්නෙ නිකං නෙවෙයිනෙ. මෙන්න මේ වගේ වෙලාවක සාරාට එයාගෙ ඥාතිවරියකගෙන් අපූරු උදව්වක් ලැබෙනවා. ඒක තමයි ඇයගේ සමාගම වසා දමලා ඇය සතුව තිබුණු ආලේපන භාජන විශාල ප්‍රමාණයක් හිමිවීම. ඒ එක්කම සාරාට සැලකිය යුතු මට්ටමේ යම් මුදල් ප්‍රමාණයක් ද ඇයගෙන් හිමිවීම සාරාට තව තවත් තමාගේ ඉලක්කය පසුපස හඹා යෑමට රුකුලක් වුණා.

 

හිතනවද හැමදේම හරිම ඉක්මනින් ජය ගන්න පුළුවන් කියලා. නෑ... ඒක එහෙම වෙන්නේ නෑ. හැබැයි පසුබෑමක් වුණ ගමන් ඒක පැත්තකට දාලා පරාජය භාර ගත්තොත් ඒක පරාජයක්ම තමයි. සාරාගේ පෙම්වතා සියල්ල අත්හැරලා දාන්න යද්දිත් ඇය එයට කන්දෙන්නේ නෑ. සාරා හිතන්න පටන් ගන්නවා කොහොම හරි තමන් මේ සියල්ලන්ගෙන්ම ගොඩ එනවා කියලා. ඒ නිසාම ඇය ජයග්‍රහණයේ මාවත විදියට තෝර ගත්තේ මිනිසුන් එහා මෙහා යන කඩපළ වීදිය.

 

තමන්ගේම නිෂ්පාදනත් එක්ක පාරට බහින සාරා කුඩා දැන්වීම් පත්‍රිකා කීපයක් සමඟ ඒවා අලෙවි කරන්න උත්සාහයක් ගත්තත් කිසිම කෙනෙක් මේවා මිලදී ගන්න කටයුතු කරන්නේ නෑ. මේ මොහොතේ ඇය අපූරු උපක්‍රමයක් යොදනවා සමහර විට එය සාරාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දක් නෑ. වෙළෙඳපොළේ අවට සිටින තරුණියන්ට තමා පිළිබඳවම හඳුන්වා දෙමින් කිසිදු මිලක් අය නොකර නොමිලයේ ආලේපන ලබාදෙන්න කටයුතු කරනවා විතරක් නෙවෙයි, ඒ සියලු තරුණියන්ට තමන්ගේ සැලුන් එකේ හිසකේ සත්කාර ලබාදෙන්නත් කටයුතු කරනවා. දැන් ඇය නමින් Madam C. J. Walker . ඇය මේ මොහොත වෙනකොට ජනප්‍රිය නමක් සහිත ව්‍යවසායිකාවක්. හැබැයි මොහොතකටවත් අමතක කරන්න එපා ඇය වගේම ව්‍යාපාරයක් කරන තියුණු තරඟකාරියක් ඉන්නවා කියලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඔබ මේ වෙනකොටත් හොඳින් දන්න Addie Munroe. මතකයිනෙ Addie Munroe හෙයා ක්‍රීම් තමයි මුලින්ම සාරා විකිණුවේ. මෙන්න මේ වගේ වැදගත් වෙලාවක සාරාගෙ කුඩා නිෂ්පාදනාගාරය ගින්නකට අහුවෙනවා කවර හෝ හේතුවක් හින්දා.

 

එහෙනම් දැන් අපි කතාව පොඩ්ඩක් Fast Fowerd කරමු. ටිකක් ඉස්සරහට ගිහිල්ලා කතාවෙ මැද හරියට ඇවිත් මොනවද වෙලා තියෙන්නෙ කියල බලමු. මොකද එහෙම කතාව කියවගෙන ගියාම ඔයාලට මේ කතාවෙ කුතුහලෙන් බලන්න දේවල් නැති නිසා.

 

 

ඕනෑම කෙනෙක් සාර්ථක වෙනකොට අසාර්ථකත්වය පාර කපන එකක්, දෙකක් නෙවෙයි දහසක් දේ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෙන දේවල් සමහර විට අනිත් පැත්ත කැරකිලා වාසියට වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ගැන දැන්ම හිතන්න ඉක්මන් වෙන්න එපා කතාව බලලම ඔයාලා ඒක තීරණය කරන්න.

 

හරි... දැන් බලමු ඉතුරු කතාව... සාරාගෙ ව්‍යාපාරෙට වටින්, පිටින් විශේෂයෙන් Addie Munroe ගෙන් විතරක් නෙවෙයි ගේ ඇතුලෙන්ම එක එක විදියෙ වැඩ වෙන්න පටන් ගත්තා. සාරාගෙ දුවගේ පෙම්වතා Addie Munroe මුණගැහිලා සාරාගෙ නිෂ්පාදනාගාරයේ සිද්ධ වෙන නොයෙකුත් විදියෙ වැඩ කටයුතු, රහස් ඇයගෙ කනේ තියන්න පටන් ගත්තෙ මේ වගේ වෙලාවක. ඒ වගේම තමයි සාරාගෙ ප්‍රේමවන්තයා, සහකරුවා ඇයගේ නිෂ්පාදනාගාරයේ සාර්ථකම අලෙවි සේවිකාවක් සමඟ අනියම් සබඳතාවක් පටන් ගන්නවා. මේ හැමදේම මෙහෙම වෙනකොට සාර්ථකම අලෙවි සේවිකාව විදියට හැඳින්වුණු තරුණිය අනෙක් සාර්ථකම අලෙවි සේවිකාවන් හතරදෙනාත් සමඟ Addie Munroe ගෙ ව්‍යාපාරයට රහසේම සම්බන්ධ වෙන්න කටයුතු කරනවා.

 

ඉතිං ඊට පස්සෙ මොනව වෙයි ද?

 

ඔව්. ඉතින් ඊට පස්සෙ කතාව ඇතුලෙ ගොඩක් දේවල් වෙනවා. මේ ‘Self Made’ කතා මාලාව නිර්මාණය වුණේ සත්‍ය සිද්ධියක් පදනම් කරගෙන. සාරාගෙ චරිතයට Octavia Spencer පණ දුන්නාට මෙකී සත්‍ය චරිතය නම්වෙන්නෙ Madam C. J. Walker කියලා. තවත් එක දෙයක් අමතක කරන්න එපා ඇය තමයි ලෝක වාර්තාවක් තබමින් ලෝකයේ පළමු කාන්තා ව්‍යවසායිකාව විදියට නම් කරලා තියෙන්නෙ.

කතාවෙ අවසානය කුතුහලයත් සමඟම රසවිඳින්න ඔබට බාර කරනවා. හැබැයි අමතක කරන්න එපා ඕනෑම කෙනෙක්ට නොපසුබට උත්සාහයක් තියෙන්න ඕන ජයග්‍රහණය කරන්න නම්. විශේෂයෙන් කාන්තාවක් විදියට සැලසුම් සහගතව ඉලක්කයට ගමන් කරන්නෙ කොහොමද කියලා මේ කතාමාලාව ඔබට කියාදේවි. වැඩි කාලයක් යන්නෙ නෑ ‘Self Made’ කතාමාලාවේ විනාඩි 45ක් විතර තියෙන කොටස් 4ක් විතරයි තියෙන්නෙ.