මේ රන් පදක්කම පලන්දන්න ඕනේ මගේ බිරියට

ලෝක පැරා මලල ක්‍රීඩා තරගයේ රන් පදක්කම දිනූ සමන් මධුරංග සුබසිංහ
මාර්තු 13, 2023

 

වසර ගණනක් ඇදී ගිය කුරිරු යුද්ධය බොහෝ බියකරුය. ඒ බියකරු යුද්ධය හමුවේ අපට අහිමි වූ තරුණ ජීවිත මෙන්ම ඇතැමුන් ජීවිත කාලය පුරාවටම ආබාධිත වූයේ සෑම කෙනකුගේම සිතට වේදනාවක් ඉතිරි කරමිනි. මේ අමිහිරි අත්දැකීම් හමුවේ තම දෑත් දෙපා අහිමිව, දෙනෙත් හා විවිධ ශරීර කොටස් අහිමිව මුළු අනාගතයම තම මවුබිම වෙනුවෙන් කැප කළ ඔවුන් කළ කැපකිරීම අපට කිසි දිනෙක අමතක කළ නොහැකි වෙයි. ඔවුන් කළ ඒ උදාර මෙහෙවර වෙනුවෙන් සමස්ත ජාතියම ණයගැතියි. මෙලෙසින් තම රටට ජාතියට ණය නැති පුතෙක් තම මවුබිමට රන් පදක්කමක් රැගෙන එම ඒ අභිමානය දෙගුණ තෙගුණ කරයි.

මේ පුංචි ලක් දෙරණට රන් පදක්කමක් රැගෙන ආ අභිමානවත් මොහොතට නාවික හමුදාවේ සෙබළ සමන් මධුරංග සුබසිංහ තම ජයග්‍රහණයේ සතුට අපට හෙළි කළේ මහත් සතුටකිනි. වයස අවුරුදු 32ක් පමණවන ඔහු කුරුණෑගල, මාවතගම, නල්ලුරෙයි ගමෙන් නාවුක හමුදාවට එක් වී ඇත්තේ අති බිහිසුණු යුද සමයේදීය. තම රට දැය බේරා ගැනීමේ උදාර පරමාර්ථය පෙරදැරිව හමුදාවට එක් වූ ඔහු 2009 වසරේදී යාපනයේ ශිලාවතුර ප්‍රදේශයේදී බෝම්බයකට හසුවීමෙන් ඔහුගේ වම් අත අහිමි වන්නේ ආබාධිතයකු බවට පත් වෙමිනි. තම ආබාධිතබව ආශිර්වාදයක් කරගත් සමන් 2017 වසරේ සිට ක්‍රීඩාපිටියට පිවිසෙන්නේ තමාට හිමි එකම අතට වාරු ගනිමිනි. මෙලෙසින් ක්‍රීඩාපිටියට පිවිසි ඔහු ජාත්‍යන්තර පිටිය දිග්විජය කරමින් තම හැකියාව විකසිත කළ අයුරු අපට හෙළි කළේ මෙලෙසිනි.

“මම පාසල් ගියේ කුරුණෑගල, ගුරුවල මහා විද්‍යාලයට. සාමාන්‍ය‍ෙයන් පාසල් කාලේ මම ක්‍රීඩාවට දක්ෂයි. නමුත් නාවික හමුදාවට එක් වුණාට පස්සේ ක්‍රීඩා කරන අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මම යුද්ධයේදී බෝම්බයක් වැදුණාට පස්සේ ක්‍රීඩා කරන්න ඕනේ කියලා හිතුණා.

ක්‍රීඩා කරන්න පටන් ගත්තේ ඊට පස්සේ තමයි. මම 2017 දී මුලින්ම මලල ක්‍රීඩා කරන්න පටන් ගත්තා. මේ අතරේ මම විවාහ වුණා. දැන් මට අවුරුදු 06ක දරුවෙක් ඉන්නවා. ටික කාලයක් ක්‍රීඩා පුහුණුවෙනකොට මගේ සැඟවිලා තිබුණු හැකියාව නැවත දළුලන්න පටන් ගත්තා. මගේ බිරියත් ක්‍රීඩාවට ආශිර්වාද කළා. ඒ නිසා මම හරිම උනන්දුවෙන් ආසාවෙන් ක්‍රීඩා කරන්න පටන් ගත්තා.

 

අපි මේ වසරේ හය දෙනකුගේ කණ්ඩායමක් ඩුබායිහි පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා ගෝන්ප්‍රී තරගාවලියට සහභාගී වුණේ සෑහෙන බලාපොරොත්තුවකින්. ඇත්තටම ඒ බලාපොරොත්තුව මට සැබෑ කරගන්න පුළුවන් වුණා. මම සහභාගී වුණේ මීටර් 400 T47 කණ්ඩායමේ තරගයට. ඒ තරගයෙන් මම රන් පදක්කම දිනා ගත්තේ හොඳ තරගයක් ලබා දෙමින්. මේ තරගාවලියට රටවල් 53ක් සහභාගී වුණා. මගේ පදක්කමට අමතරව අපේ කණ්ඩායමට තව ලෝකඩ පදක්කමක් සහ රිදී පදක්කමක් හිමිකරගන්න හැකියාව ලැබුණා.

 

ඇත්තටම මේ ජයග්‍රහණයේ සැබෑ සතුට තියෙන්නේ මගේ බිරියට. එයා ලොකු කැපකිරීමක් කරලා තමයි මාත් එක්ක විවාහ වුණේ. මම වගේ ආබාධිත සෙබළෙක් සමඟ විවාහ වෙන්න තරම් හිතක් එයාට තියනවා කියන්නේ ඒක හරිම වටිනා ආදර්ශමත් ක්‍රියාවක්. මගේ අම්මාගෙයි, බිරියගෙනුයි ලැබුණු ආශිර්වාදයයි නාවික හමුදාවෙන් ලැබුණු පුහුණුව හා අනුග්‍රහය තමයි මේ පදක්කමේ තැවරිලා තියෙන්නේ. අපි යුද්ධයේදී කරන කැපවීමට දක්වපු ගෞරවය වගේම අපි මේ වගේ තරගවලට ඉදිරිපත්වෙලා ලබා ගන්නා ජයග්‍රහණත් අගය කරනවා නම් මම වගේම තවත් ක්‍රීඩකයෝ බිහිවෙලා රටට තවත් ජයග්‍රහණ රැගෙන ඒවි. අපට තියෙන එකම සතුට අගය කිරීම විතරයි.