වී බිස්සෙන් එළි බසින අලුත් අවුරුදු ක්‍රීඩා

අප්‍රේල් 3, 2023

අපට වසන්තය උදා වන්නේ භාග්‍යවත් මාසයේදීය. භාග්‍යවත් කුමරුන්ගේ පැමිණීම සංකේතවත් කරන බක් මහේ අස්වැන්න නෙළීම සිදුවන කාලයයි. මහ කන්නයේ අස්වැන්න නෙළා අටුකොටු පුරවා ගත් පසු මාස ගණනක් දුක් විඳි ගොවි ජනතාව ඇත්තේ අපිරිමිත සතුටකි. මේ සතුට ඔවුන් ඉතාම ප්‍රීතියෙන් යුතුව සැමරුවේ ඉතාම සැහැල්ලුවෙනි.

සුබ නැකතට අනුව තම වත් පිළිවෙත් හා චාරිත්‍ර සිදු කරන අතර ක්‍රීඩා කරමින් තම සතුට බෙදා ගත්තේ ළෙන්ගතු සැබැඳියාවකිනි. මේ ලෙන්ගතු සැබැඳියාව තවමත් යම් තරමකට හෝ අප අතර ඉතිරිව ඇත්තේ අවුරුද්දේ සිරිය සිහි ගන්වමිනි. අවුරුදු කාලයට විශේෂිත වූ ජන ක්‍රීඩා රැසක්ම මේ කාලයේදී කලඑළි බසින්නේ ලොකු කුඩා, බාල, මහලු භේදයක් ද නොමැතිවය. එසේම මේ ක්‍රීඩා ගැහැනු, පිරිමි භේදයක් නොමැතිව විනෝදාස්වාදය ලබාදීමට ද හැකි ලෙසින් නිර්මාණය වී ඇත්තේ පරිසරය හා බැඳීමෙනි. එසේම මේ ක්‍රීඩා බොහෝමයක් එළිමහන් ක්‍රීඩා වන අතර ඇතැම් ක්‍රීඩා ගෘහස්ත ක්‍රීඩා ලෙසින් පවුලේ සාමාජිකයන් එකතුව සිදු කරන ක්‍රීඩා ද වෙයි. ආගමික සිරිතට මුල් තැනක් දෙන ක්‍රීඩා මෙන්ම ශක්තිය හා බලය උරගා බලන ක්‍රීඩා ද අවුරුදු සමයට කලඑළි බසින්නේ මුළු රටම අවුරුදු සිරියෙන් සිරි ගන්වමිනි‍

විශේෂයෙන්ම මේ කාලයේ කුඩා දරුවන්ට ඉතාම සතුට ගෙන දෙයි. එසේම නිවෙසේ සිටින ගෘහිණියන්ට, යුවතියන්ට ද අස්වැන්න නෙළීමෙන් පසු පුංචි විවේක කාලයක් උදාවෙයි. මෙලෙසින් අවුරුදු කාලය උදා වූ විට අපට දකින්නට ලැබුණු ක්‍රීඩා බොහෝය. සිය ගණනක් වූ අවුරුදු ක්‍රීඩා අතර කාන්තා පාර්ශ්වයට පමණක් සීමා වූ ක්‍රීඩා ද මේ අතර විය. විශේෂයෙන් ගෘහය තුළ කරන ක්‍රීඩාවලදී මුල් තැනක් හිමි වූයේ කාන්තාවන්ටය. එසේම ක්‍රීඩාවට වැඩි ආලෝකයක් මෙන්ම ආකර්ෂණයක් එක් වූයේ කාන්තාවන්ගේ සහභාගීත්වයෙනි.

එහෙත් කාලය ගත වෙමින් මේ බොහෝ ක්‍රීඩා අපගෙන් දුරස්ථ වී ඇත්තේ අපටත් නොදැනීමය. අපගේ ගමේ පැවැති කෘෂිකාර්මික ජීවන රටාව දැන් බොහෝ දුරට අපෙන් දුරස් වී තිබේ. කුඹුරු අස්වැන්න නෙළා ගැනීම සියලු කටයුතු යාන්ත්‍රීකරණය වී ඇත්තේ සියලු වැඩ යන්ත්‍රවලට භාර දෙමිනි. මේ නිසා අද ගමත් නගරයත් අතර පරතරය බොහෝ දුරට ඈත්ව ගොසිනි. ගම යටකරගෙන නගරය ගමටම පැමිණ තිබේ. ඒ නිසා අපේ එදා පැවැති ජන ක්‍රීඩා හා එකමුතුකමින් කරන කෙළි සෙල්ලම් හා අවුරුදු ක්‍රීඩා එක් දිනයක පවත්වන ‘බක් මහ උලෙළකට’ සීමා වී ඇත්තේ අපටම නොදැනීමය. නමුත් මේ ක්‍රීඩා අතුරින් තවමත් අප අතර ඉතිරිව තිබේ. විශේෂයෙන්ම මේ ක්‍රීඩා යුවතියන්ට බෙහෙවින්ම සමීපය. ඇතැම්විට මේ කෙළි සෙල්ලම් හා ක්‍රීඩා සම්ප්‍රදායක් ලෙසින් හෝ අප අතර දක්නට ලැබෙයි. අපි එවැනි ක්‍රීඩා කිහිපයක් ගැන විමසා බලමු.

 

සිංහල අලුත් අවුරුද්ද ආසිරි ගන්වන රමණීය ක්‍රීඩාවකි. ඔන්චිල්ලා බැඳීම සිදු වන්නේ අවුරුදු කාලය උදාවීමත් සමඟය. ළමා ළපටින් වෙනුවෙන් බඳිනා ඔන්චිල්ලාව අප රටේ ඕනෑම පළාතක අදටත් දකින්ට ලැබෙයි. අතීතයේදී මේ ඔන්චිල්ලා වර්ග කිහිපයක් විය. වැල් බඹර, යතුරු, මල් හා කූඩු ඔන්චිල්ලා වශයෙන් විවිධ වර්ගයේ ඔන්චිල්ලා වර්ග අවුරුදු සමයට කල එළි බසියි. අතීතයේ මෙන්ම අදත් වැල් හා යතුරු ඔන්චිල්ලා අපට දක්නට ලැබෙයි.

 

ඔන්චිල්ලා පදින්නට කුඩා දරුවන් මෙන්ම ගමේ යුවතියන් ද එක් වූයේ අස්වැන්න නෙළාගත් කමතේ කොණක ඇති රූස්ස ගසක බැඳි ඔන්චිල්ලාව අසලටය. තාලයට පැද්දෙන ඔන්චිල්ලාව තාලයට කවි කියන ගමේ යුවතියන්ගේ එකමුතුකම අවුරුදු සිරිය වඩාත් ඔප්නංවයි.

 

අපේ සිංහල ජන සංස්කෘතිය තවත් හැඩ කළ ක්‍රීඩාවක් වන්නේ රබන් ගැසීමයි. රබන් ක්‍රීඩාවේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ කාන්තාවන්ටය. අවුරුදු ළංවෙන විට කාන්තාවෝ නිවෙසේ මුල්ලක ඇති රබාන ගෙන එය පදම් කර සකසා කරළියට ගෙනෙයි. රබන් වර්ග විවිධ ප්‍රමාණයෙන් නිර්මාණය කර තිබේ. අට දෙනකුට හෝ හතර දෙනෙකුට වාඩිවිය හැකි ලෙසින් රබන් වර්ග වෙයි. මේ ක්‍රීඩාව ආරම්භ වන්නේ දෙවියන්ට වැඳ අවසර ගැනීමෙන් පසුවය.

රබන් පද කියමින් හරඹ කරමින් ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම ක්‍රීඩාවේ යෙදෙන දසුන ඉතාමත් සුන්දරය. කාන්තාවන් විසින් වාදනය කරන රබන් තාලයට වටේම හිඳිමින් පිරිමි පාර්ශ්වය රංගනයේ යෙදෙන දසුනක් ඉඳහිට හෝ ගම්වල අපට තවමත් දකින්ට ලැබෙයි. ඉතාම අලංකාර වූ පදවැල් අනුව නිර්මාණය වූ රබන් පද තවමත් අපේ දරුවන් ඉඳහිට ගායනය කරන අවස්ථා පවතී.

 

ඉඩං ගොඩ තම්බි ටිකක් හිටපන්

මටත් රෙදි ගන්න ටිකක් හිටපන්

ඔය පොඩි මල් රෙදි

ඔය පොත් මල් රෙදි

ඇත්ත කියා මට දෙන්

 

සොබා දහම හා සතුට මුහු වූ මෙවැනි රබන් පද තුළ ඉතාම සරල අර්ථයක් ගැබ් වී තිබුණේ එම පදවැල්වල ශබ්ද රසය, අර්ථ රසයට වඩා වැඩි වෙයි. එසේම මේ රබන් පදවලින් අපගේ දේශීය අනන්‍යතාවය ද පිළිබිඹු කරයි.

ඔළිඳ කෙළිය යුවතියන්ගේ ක්‍රීඩාවකි. මේ සඳහා ‘ඔළිඳ පෝරුවක්’ භාවිත කරයි. මෙයට විවිධ නම් භාවිත වන අතර පෙර රජ සමයේ මුතු යොදා ගත් බැවින් මුතු පෝරුව ලෙසින් ද මෙය හඳුන්වයි. මේ ඔළිඳ පෝරුව අඟල් 10 ක් 14 දිගැතිය. අඟල් 6 - 8 ක් පළල වූ මෙහි එක් පැත්තක වළවල් 7ක් බැගින් පේළි දෙකක් වෙයි. දෙකොණ 2ය2 දිග පළලින් යුතු වළවල් 2 ක් වේ. කුඩා වළවල් ක්‍රීඩාව සඳහාය. චතුරස්‍රාකාර වළවල් ඔළිඳ පිරවීමටය.

එක් පැත්තකට 28 බැඟින් (එක් වළකට 4) දෙපේළියට 56ක් පුරවයි. මෙලෙසින් ඔළිඳ පිරවීම සඳහා ඔළිඳ ක්‍රීඩාවේ නීති පද්ධතියක් ඇත. ‘ඔරවනවා’, කනවා, වළ ඉහිනවා, පුහුල් කපනවා, කණේ හිටීම ලෙස නම් කරන වචන අනුව මේ ක්‍රීඩාව සිදු කරනු ලබන්නේ පත්තිනි දෙවියන්ට සම්බන්ධ ක්‍රීඩාවක් ලෙසිනි. මෙලෙස ක්‍රීඩා කරන අතර ඔළිඳ කවි කීම ද අපේ රටේ ජනප්‍රිය වූ අංගයකි. ඔළිඳ තිබෙන්නේ කොයි

කොයි දේසේ...

 

දොඩම් කපාලා ඇඹුල තනාලා නාන්ට යන සැටි බලන් කළු වැනි ඔළිඳ කවි අපේ දරුවන්ගේ මුවඟ තවමත් ඉතිරිව පවතී. ජන ක්‍රීඩාව අප අතර එතරම් දක්නට නොලැබුණත් මෙවැනි කවි පද හෝ ඉතිරිව තිබීම එවැනි ක්‍රීඩා මතු පරපුරට ඉතිරි කිරීමට මං සලකුණකි.

අවුරුදු සිරිය ඔපවත් කරන තවත් ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙසින් නෙරෙන්චි ඇදීමට දිගු ඉතිහාසයක් වෙයි. ‘නෙරෙංචි පෙත’ අදින්නේ දිග බංකුවකය. දාම් ඇදීමට සමාන මෙහි බංකුව දෙපැත්තේ සිට ක්‍රීඩා කරයි. නෙරෙන්චි පෙතේ සමාන කොටු 24 තිබේ. මේ ඉත්තන් දෙපැත්තට ඇදීමට හිස් පේළි දෙකකි. නෙරෙන්චි ඉත්තන් ලෙස අඟල් ½ ක පමණ පොල් ඉරටු හෝ කරපිංචි නැටි යොදා ගනී.

එක වර්ගයක ඉත්තන් එක එල්ලේ සිටීම නෙරෙන්චියක් ලෙස සලකයි. ඉත්තෝ තබා ගන්නා ඉත්තෑවියාය. අනෙකා මුත්තැඩියාය. ඉත්තැඩියා හා මුත්තැඩියා අතර තරඟයක් පවතී. ඉත්තන් කැපීම ක්‍රීඩාවේ නීතියයි. මේ ක්‍රීඩාවේ ද නීති පද්ධතියක් වෙයි. නෙරෙන්චි විලේ ඉත්තන් ඇදිය යුත්තේ හිස් ස්ථානවලට පමණි. මේ ආකාරයෙන් කෙරෙන නෙරෙන්චි ඇදීම තරුණියන් අතර ජනප්‍රිය වූ ක්‍රීඩාවකි.

පංච කෙළිය සිංහල අලුත් අවුරුද්දට කළ එළි බසින ජනප්‍රිය ක්‍රීඩාවක් මෙන්ම මෙම ක්‍රීඩාව තවමත් අවුරුදු සමයේ අපේ නිවාසවල දකින්නට ලැබේ. පංච යනු දෙමළ බසින් බෙල්ලාට කියන නමකි. මෙහිදී ඔන්ඩුව, රෙන්ඩුව යන වචන ද භාවිතා කරන බැවින් පංච කෙළිය දෙවියන්ගේ ක්‍රීඩාවක් බව ජනප්‍රවාදයේ පවතී. සමව දෙපිළකට බෙදී කරන මේ ක්‍රීඩාවට නායකයෙකු ද වෙයි. පංච ක්‍රීඩාවට බෙල්ලන් හයක්(6ක්) අවශ්‍යය. සමහර විට 12ක් ඇතැම් ප්‍රදේශවල යොදා ගනී. පංච කෙළියට කොටු 32 කි. සෙනාරු කුට්ටමේ කොටු 49 කි. මෙලෙසින් පංච කෙළිය සඳහා පවුලේ සාමාජිකයන් එකතුව මේ ක්‍රීඩාව කරන අයුරු අතීතයේ පටන් අපේ ගම් වල දකින්නට ලැබුනු ක්‍රීඩාවකි.

මෙලෙසින් අවුරුදු සමයට දක්නට ලැබෙන ක්‍රීඩාවට අමතරව අප රටට ආවේණික වූ ක්‍රීඩා රාශියක් පවතී. ඒ සෑම ක්‍රීඩාවක්ම බිහි වී ඇත්තේ සාමාජීය හේතුවක බලපෑමෙනි. වර්තමානයේ අවුරුදු උත්සවවල දකින්නට ඇති කනා මුට්ටිය, කොට්ටා පොර පවා බිහි වී ඇත්තේ යටත්විජිත සමයේ අංගම්පොර සටන් කලාව තහනම් වීමත් සමගය. ‘ජොරා පැනිල්ල’ මගින් එකල රාජ්‍ය තන්ත්‍රය සරදමට ලක් කරන අතර ‘රාහු ගිලීම’ රට ඇල්ලීම මගින් මානසික නිර්භීතකම ප්‍රදර්ශනය කරයි.

මේ ආකාරයෙන් බිහි වූ ජන ක්‍රීඩා සිය ගණනක් පවතින අතර ඒ සෑම ජන ක්‍රීඩාවක් ම මේ වන විට අප සමාජයෙන් දුරස් වෙමින් පවතී. ඇතැම් ක්‍රීඩා වේදිකාව මත රඟ දක්වන නැටුමක් බවට පත්වෙමින් ඉතිරි වී ඇත්තේ අපට ඉතාම සුන්දර වූ අතීතයක් පැවති බව සිහිගන්වමිනි. නමුත් ඒ අතීතය නැවතත් අපගේ සමාජ කරලියට රැගෙන එන්නට හැකිනම් එයින් කායික මෙන්ම මානසික සුවයක් ද අපට හිමිවනු ඇත.

 

උපදෙස්

ජනශ්‍රැත පර්යේෂක

මහින්ද කුමාර දළුපොත