වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ගෑස් ළිපෙන් කුණු මුත්තා පුදන්නෙ මෙහෙමයි
ගෘහිණියක් ලෙස අප අද සිදු කරන චාරිත්‍රවල වටිනාකම ගැන අවබෝධයක් තිබීම හා එම චාරිත්‍ර එලෙසින්ම මතු අනාගත පරපුරට තිළිණ කිරීමේ වගකීම පැවරෙන්නේ ද ඔබටය.
සිංහල-දෙමළ අලුත් අවුරුද්දට ඇත්තේ රමණීය ඉතිහාසයකි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලෙසින් අප සැමරීමේ ඓතිහාසික පසුබිමක් වෙයි. එය සිංහල හා දෙමළ සංස්කෘතීන් දෙකෙහි සංකලනයකි. අතීතයේ පටන් සිංහල හා දෙමළ ජාතීන් දෙකක් එකට ජීවත්වීමේ සංහිඳියාව මූර්තිමත් කරමින් නිර්මාණය වූ අලුත් අවුරුදු චාරිත්‍රවල ඇත්තේ ගැඹුරු අධ්‍යාත්මීය පසුබිමක් හා විද්‍යාත්මක පදනමකි. මේ ඓතිහාසික පසුබිම නිර්මාණයවීම හා අලුත් අවුරුද්දේ චාරිත්‍රවල ඇති වටිනාකම ගැන අවබෝධයක් තිබීම අපට බෙහෙවින්ම වැදගත්ය.
විශේෂයෙන් ගෘහිණියක් ලෙස අප අද සිදු කරන චාරිත්‍රවල වටිනාකම ගැන අවබෝධයක් තිබීම හා එම චාරිත්‍ර එලෙසින්ම මතු අනාගත පරපුරට තිළිණ කිරීමේ වගකීම පැවරෙන්නේ ද ඔබටය. ඒ ඓතිහාසික වටිනාකම ගැන ගැඹුරු පරිකල්පනීය අධ්‍යයනයක් කරන විද්වතෙකු සමඟ සුහඳ පිළිසඳරකට පිවිසියේ එය වඩාත් හොඳින් දැන ගැනීමේ අපේක්ෂාවෙනි. පරිසරවේදී තිලක් කන්දේගම මහතා සමඟ අප කළ ඒ සොඳුරු පිළිසඳර තුළින් අප විමසුමට ලක් කළේ එම අලුත් අවුරුදු චාරිත්‍රවල ඇති වටිනාකම් හා අගනාකම්ය. අපේ මේ පිළිතුර අලුත් අවුරුද්ද ආරම්භය සිදු වූ ආකාරය පිළිබඳ ඓතිහාසික පසුබිමෙන්ම අපි පටන් ගනිමු.
අපේ අලුත් අවුරුද්දේ ආරම්භය පිළිබඳ නිශ්චිත අවුරුද්දක් හෝ දිනයක් අපට ඉතිහාසයේ සොයාගැනීම අසීරුයි. නමුත් මේ අවුරුදු චාරිත්‍ර ගොඩනැඟුණේ බ්‍රිතාන්‍ය පාලන අවධියේ පටන් බව සනාථ කිරීමට සාක්ෂි සාධක රාශියක් තිබෙනවා. ඒ අවධියේ ජාතියක් ලෙස ඒකාබද්ධ වීමේ අරමුණ අපට තදින්ම තිබුණා. එදා රට අරාජිකත්වයේ ගිලී යෑම දවසින් දවස සිදු වුණා. ඉන් ගැලවීමේ වුවමනාව සෑම කෙනෙකුටම තිබුණු දෙයක්. එය වර්තමානයේ අප රට අද මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හා සමානයි. එකම නැකතට රට පුරා සිරිත්-විරිත් ඉටුකිරීමේ සංකල්පය බිහි වුණේ එවැනි පසුබිමකයි. ළිප ගිනි මෙළවීම, වැඩ ඇල්ලීම, ආහාර අනුභවය ආදී වශයෙන් අප අද අනුගමනය කරන අවුරුදු චාරිත්‍ර එකම නැකතට සිදු කිරීමෙන් ජාතික හැඟීමක්, අභිමානයක් එදා රට තුළ නිර්මාණය විය. අද අප අවුරුද්ද සමරන්නේ දින දෙකයි. නමුත් පැරැන්ණෝ එය දින දෙකකට සීමා කළේ නැහැ. පෙබරවාරි, මාර්තු කියන්නේ මීකිරි දෙවෙන කාලයයි. එළදෙනකට වැඩියෙන්ම පැටවුන් ලැබෙන්නේ මේ කාලයේදී. මේ සංසිද්ධිය සමඟ දෙමළ මහා සංස්කෘතියත් එකතු වෙනවා. ඒ තමයි කිරි ඉතිරවීමේ චාරිත්‍රය.
සාමාන්‍යයෙන් අපේ රටේ අප්‍රේල් මාසයේදී පමණක් නොවෙයි මැයි මාසයේදීත් සශ්‍රීිකව මල් හට ගන්නවා. බක් මහේ ඇහැරෙන මල්වලින් සාරඵල ලැබෙන බවත්, එම ඵලවලින් මලු පුරවාගන්න පුළුවන් බව ඔවුන් විශ්වාස කළ සිද්ධාන්තයක්. එය ඉබේ සිදුවන දෙයක් නෙවෙයි. මේ කාලයේදී තමයි මී මැස්සා, බඹරාගෙන් මල් පරාගනය සිදු වෙන්නේ. අපේ අවුරුදු පිළිවෙත් සියල්ල සිද්ධ වුණේ සොබා දහම හා බැඳුණු ග්‍රාමීය පදනමක් ඇතිවයි.
අපේ ගති සිරිත් බිඳ වැටීම ආරම්භ වුණේ 1826 වර්ෂයේ සිටයි. බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සිංහල අලුත් අවුරුද්ද ‘නිව් ඉයර්’ බවට පෙරළා සැමරීම පටන් ගත් දිනයේ පටන්ම අපේ අලුත් අවුරුද්ද දින දෙකකට සීමා වුණා. ඒක තමයි අපේ අලුත් අවුරුද්දේ ඉතිහාසය.
මේ ඓතිහාසික පසුබිමත් සමඟ සිදු කරන චාරිත්‍රවල තිබෙන වැදගත්කම ගැන අපට පැහැදිලි කරන්න පුළුවන්ද?
අපේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සිද්ධ වුණේ එක්තරා සංවිධානාත්මක රටාවකටයි. සියලුම කටයුතු සිද්ධ කළේ නැකතට අනුව එකම කාල හෝරාවකට. නැකැත් රාල සකස් කර දුන් නැකතට අනුව තමයි එදා ඒ චාරිත්‍ර සිද්ධ වුණේ. එදා ඒ ඒ පළාත අනුව මේ නැකැත් හෝරාව විනාඩි කිහිපයකින් වෙනස් වෙනවා. අවුරුද්දේ ආරම්භක නැකත තමයි තෙල් වළං ලිප තබන නැකත. හා හා පුරා කියා අවුරුද්දට කැවිලි හැදීම ආරම්භ වන්නේ මේ නැකතට අනුවයි. මේ නැකත උදාවෙන තෙක් අවුරුද්දට කිසිම කැවිලි වර්ගයක් සෑදීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ශබ්ද පූජා පවත්වා අවුරුදු සැමරීම ආරම්භ වන්නේ මේ නැකතට අනුවයි. එදා අවුරුද්දට ශබ්ද පූජා පවත්වනවා කියන්නේ රතිඤ්ඤා පත්තු කරලා අවට සිටින සත්තු භය කිරීම නොවෙයි. සාමුහිකව එකට එකතුවෙලා ගෘහිණියන් අවුරුද්දට රබන් වාදනය කරනවා. මේ සංස්කෘතියේ බැඳීම හා පරිසරය අතර විශාල සැබැඳියාවක් තිබුණා. නමුත් දැන් පත්තු කරන රතිඤ්ඤා නිසා සතුන් විතරක් නෙවෙයි මුළු පරිසරයම දූෂණය වෙනවා. අනතුරු වැඩි වෙනවා. අලුත් අවුරුද්දට අපේ ගෘහිණියන් සිද්ධ කරන වටිනා චාරිත්‍රයක් තමයි නිවෙසට ජලය ලබා ගන්නා දිය කදුර නැතිනම් ජලය සමඟ කරන ගනුදෙනුවයි. සමහර ප්‍රදේශවල මේ චාරිත්‍රය සිද්ධ කරන්නේ වැව සමඟ. තවත් සමහර ප්‍රදේශවල ගංගාව සමඟ සිද්ධ කරනවා. දියවර ගනුදෙනුව සඳහා දිය මංකඩට යන චාරිත්‍රය අද වතුර පයිප්පයට මාරුවෙලා. ළිඳ කෙසේ වෙතත් වතුර පයිප්පය සමඟ ගනුදෙනු කිරීම කරන්නේ කෙසේදැයි අද අපේ ගෘහිණියට ගැටලුවක්. ඒ නිසා අපේ ගෘහිණියෝ මේ පිළිවෙත් අත් හැර දමා තිබෙන්නේ එහි සංස්කෘතික හා පාරිසරික විද්‍යාත්මක වටිනාකම වටහා නොගැනීම නිසයි. ඒ වගේම තවත් අපේ නිවෙසේ කුස්සියේ සිදු කරන චාරිත්‍රයක් තමයි කුණු මුත්තා පිදීම කියන චාරිත්‍රය. මේ චාරිත්‍රය අද සමහරු අහලවත් නැහැ. කුණු මුත්තා පිදීම කියන්නේ පරණ අවුරුද්දට කුස්සියේ තිබෙන ළිපේ අළු ඉවත් කර ළිපේ ගොම මැටි ගා පිළිසකර කර ගැනීමයි. දැන් සමහර ගෘහණියෝ දර ළිපක් ගැන දන්නෙවත් නැහැ. කුණු මුත්තා නිසා අළු ටිකක් නොදැකපු අපේ ගෘහණියෝ ඒ චාරිත්‍ර ගැන හිතලා අවුරුද්දටවත් තමුන්ගේ නිවෙසේ ගෑස් ළිපවත් සෝදලා පිරිසුදු කර ගත්තා නම් හරිම වටිනවා.
මේ වගේ සංස්කෘතික බැඳීම් රාශියක් අපේ අලුත් අවුරුද්ද බද්ධ වී තිබෙනවානේ. ඒ ගැන අපට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
මම මීට පෙර සඳහන් කළ ආකාරයට අවුරුදු උදාවත් සමඟ අපට දකින්නට ලැබෙන බොහෝ සංස්කෘතික අංග හා චාරිත්‍ර දැන් අපගෙන් ඈත් වෙලා. දැන් ඒ සියලු දේ නාගරිකරණයත් එක්ක සමාජයෙන් ගිලිහී ගිහින් තිබෙන්නේ. සියලු දේ ජංගම දුරකතනයෙන් කරන තත්ත්වයට පත්වෙලා. දැන් අලුත් අවුරුද්දයි නත්තලයි දෙකම එකවගේ වාණිජ රැල්ලට හසුවුණු ව්‍යාපාරයක්. අපට එදා කොයිතරම් වටිනා ගුණ ධර්ම තිබුණා ද? එදා අවඅුරුදු චාරිත්‍ර සුබ මුහුර්ත උදාවන බව ගමටම දැනුම් දුන්නේ පන්සලේ ඝණ්ඨාරය නාද කරලා. කෝවිලේ ඝණ්ඨාරයෙන්. අවුරුද්දට පෙර කැවිලි පිඟන් පෙරහරකින් මුලින්ම රැගෙන ගියේ ගමේ පන්සලට. අද පෙරහරවල් ගමේ පන්සලට ගොඩ වෙන්නේ බොහොම සුළු පිරිසක්. එදා ගමයි පන්සලයි අතර ලොකු බැඳීමක් තිබුණා. හිස තෙල් ගැල්වීමේ උත්සවයට ගමේ සෑම කෙනෙක්ම එකතු වුණා. තමුන්ගේ හිත්වල තිබුණු තරහා ආරවුල් අමතක කරලා පන්සලේදී කතා කළා. ඒ සංස්කෘතිය අද අපෙන් ගිලිහී ගිහින්. හැබැයි මේ කිසිම දෙයක් අපට තවමත් ඉටු කරන්න බැරිකමක් නැහැ. අපට අවශ්‍ය රටක් ජාතියක් ලෙස එකට සිතීම පමණයි. ඒ ආකාරයෙන් අප සියලු දෙනාම සිතා කටයුතු කළොත් අපට රටක් ජාතියක් ලෙස නැවතත් එකට එකමුතුව හිස ඔසවන්න පුළුවන්.
ඡායාරූප -ශාන් රූපස්සර