නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවන් රැඟුමට ගැයුමට සූදානම්

ජුනි 5, 2023

ප්‍රසංගය ජූනි 16 මහරගම යොවුන් රඟහලේ දී..

නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විදුහල ළමුන්ගෙන් ආදි සිසුන්ගෙන් පිරී ඉතිරී ගොස්ය. එහි දක්නට ඇත්තේ නුදුරේදී පැවැත්වෙන මහා උළෙලකට පෙර සූදානමකි. අප විදුහල් බිමට යන විට ප්‍රාථමික අංශයේ දැරියන් පිරිසක් වාදක කණ්ඩායමක් ලෙස සිය පෙර පුහුණු වීම්වල නිරතව සිටිති. ඇත්තෙන්ම එහි ඇත්තේ අපූර්වත්වයකි.

 

මේ දරුවන්ට පෙර පුහුණුවීම් ලබා දෙන්නේ විදුහලේ සෞන්දර්ය අංශයේ ගුරු පිරිසය. ඔවුන් එකාවන්ව දරුවන් පෙර පුහුණු කටයුතුවල නිරත වෙති. අවුරුදු තුනක් නිවෙස්වල සිරවී මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගෙනුම ලැබූ දැරියන්ට මෙම පෙර පුහුණුවීම් අමුතු අත්දැකීමකි. සමහර දරුවන් සමූහයක් ලෙස කටයුතු කරන්නේ ජීවිතයේ පළමු වතාවටය. එතෙක් කල් ඔවුන් මාර්ගගත ක්‍රමය ඔස්සේත් පසුව පන්ති කාමර තුළද ඉගෙනුම ලැබුවද ඔවුනට මෙවැනි අත්දැකීමක් ලැබෙන්නේ පළමු වරටය. එය කලක් ඒකාකාරි රටාවකට හුරු වූ දරුවන්ගේ ජීවිතය අලුත් පාරකට ගැනීමට ගන්නා මේ උත්සාහය විශිෂ්ටය. එය සියලු දෙනා අගය කරති. මෙම ක්‍රියාකාරී සෞන්දර්ය වැඩසටහනේ මූලිකත්වය ගෙන ක්‍රියාකරන්නේ සමුද්‍රදේවි විද්‍යාලයේ විදුහල්පති එන්.ජී. සුරේකා සිරිවර්ධන මහත්මියයි. ඇය ගුරුවරුන් සමඟ එක්වී දරුවන්ට අවැසි උපදෙස් සහ මඟ පෙන්වීම ලබා දෙමින් මේ සඳහා සුවිශේෂී වෙහෙසක් දරන්නීය. එය අගය කළ යුතු දෙයකි.

සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය විසින් ප්‍රාසංගික උළෙලක් ජූනි මස දහසය වැනි දින මහරගම යොවුන් රඟහලේදී පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ.එදින ප්‍රසංග වාර දෙකක් ලෙස සංවිධානය වන මෙම ප්‍රසංගය සඳහා විද්‍යාලයේ පළමු වසරේ සිට දහතුන වසර දක්වා පාසලේ සිසුවියන්ගේ නියෝජනයක් සහිතය.

මේ ප්‍රාසාංගික අත්දැකීම කුමක්ද එය සංවිධානය කිරීමේ අරමුණ කුමක්ද යන්න ගැන අප විදුහල්පතිනියගෙන් විමසුවෙමු.

අද අධ්‍යාපනය කියන්නේ ඉගෙනුම පමණක් කියලා බොහෝ අය සිතනවා. ඒත් සාර්ථක ඉගෙනුමකට පොතපත පමණක් පරිශීලනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැහැ. දරුවන්ට බාහිර ක්‍රියාකාරකම්, කලාත්මක අත්දැකීම් ඇතුළු විවිධ අංශ ඇතුළත් විය හැකියි. ඒත් අපට පසුගිය අවුරුදු තුන තුළදී දරුවන්ට කලාව වැනි අංශවල අත්දැකීම් ලබා දීමට බැරි වුණා. එහෙත් දරුවකුගේ පෞරුෂය වර්ධනය වීමට නම් කලාව වැනි සාමූහික ක්‍රියාකාරකම් සඳහා ඉඩක් අවශ්‍ය වෙනවා. මේ ප්‍රසංගයේ නර්තන අංග, වාදන, වගේම ගායන අංගත් ඇතුළත්ව තිබෙනවා. මේ සියල්ලටම එකතු වෙන්නේ අපේ පාසලේ දූවරුන් ඒ වගේම මේ අවස්ථාව සඳහා සහෝදර පාසල්වන රාජකීය, පාවුලු, ශාන්ත ජෝන් සහ සිරිමාවෝ විදුහල්වල තූර්ය වාදන කණ්ඩායම්ද එක් වෙනවා."

 

මේ ප්‍රසංගය සඳහා උදවු ලැබෙන්නේ කාගෙන්ද.?

"අපේ ගුරු මණ්ඩලය ලොකු කැප කිරීමක් කරනවා. මේ ප්‍රසංගය සඳහා ආදි ශිෂ්‍ය සංගමය වගේම පාසලේ මාපියන්ද මේ සඳහා අපට ලොකු සහායක් වගේම කැපවීමෙන් වැඩ කරනවා. ඇත්තෙන්ම දරුවන් වෙනුවෙන් මේ සියලු පාර්ශ්ව සිදුකරන කැපකිරීම ඉතාමත් ආදරයෙන් සිහිපත් කළ යුතුයි."

සමුද්‍රදේවී බාලිකා විදුහලේ මෙම නව ප්‍රාසාංගික සංකල්පය සෙසු පාසල්වලටද ආදර්ශයකි. එමඟින් දරුවන් අතර සාමූහිකත්වය විනය මෙන්ම ඉගෙනුමද සපිරි පිරිසක් රටට බිහිවනු නියතය.

 

 

 

ඡායාරූප - ගයාන් පුෂ්පික