කොරෝනා අබියස ගීතවත් වූ පන්හිඳ පිටිගල ශිරෝමී කලුපහන

ජුනි 5, 2023

 

අපට ජීවිතය ගැන ගැඹුරින් හිතන්න කාලයක් උදා වුණා. මුළු රටම එකතැන නැවතුන, පාරට බහින්න බැරිව නිවෙසට කොටුවුණු කාලයක් අප හැමෝම පසු කළා. ඒ තමයි කොරෝනා වසංගත කාලය. මේ කාලය තුළ මිනිස්සුන්ගේ කාර්යය බහුල ජීවිතයෙන් මිදිලා මොහොතක් ගිමන් හැරියා.

 

මේ ගත වුණු කාලය සමහරු ආශීර්වාදයක් කර ගත්තා. ඔවුන්ට කාලයක් තිස්සේ කරගන්න බැරිව අතපසු වුණු වැඩ බොහෝමයක් කරගත්තා. සමහරු එකම රැකියාව තුළ කොටු වෙලා ඉඳලා ඒ රැකියාවෙන් මිදිලා අලුත් නිර්මාණ කරන්න පෙලඹුණා. එලෙසින් ගෙවී ගිය කාලය අර්ථවත්ව ප්‍රයෝජන ගත්තු අය දැන් සතුටු වෙනවා.

 

නමුත් ඒ ගෙවී ගිය කාලය තුළ කිසිවක් නොකර ගත් අය දැන් ලත වෙනවා. ඔවුන් ඒ කාලය ගැන දුක් වෙනවා.

හැබැයි සමහරු මේ ගෙවී ගිය කාලය තමුන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පරිවර්තනය කරගත්තා. තමුන්ගෙන් සැඟවුණු සහජ කුසලතාවය ඔප් නංවාගෙන දුර ගමනක් ගියා. එවැනි සාර්ථක ගමනක් ගිය දක්ෂ නිර්මාණ ශිල්පිනියක් පසුගිය දිනක අපට හමු වුණා. ඇය නමින් ශිරෝමි කලුපහන. ඇල්පිටිය පිටිගල පදිංචි ශිරෝමි කලුපහනගේ ජීවිතය වෙනස් කළේ කොරෝනා. වසර දහයකටත් වඩා වැඩි කාලයක් ඇඳුම් මැසීමේ රැකියාව කළ ඇය ජීවිතය ජය ගන්න සෑහෙන්න දුක් මහන්සි වුණා.

 

නමුත් ඇය වසර ගණනක් ගොඩනඟා ගත්තු දුක් මහන්සිය සියලු කොරෝනා වසංගතය විසින් හොරා ගත්තා. ඇයගේ ඇඳුම් මැසීමේ ව්‍යාපාරය කඩා වැටුණා. ජීවිතයේ අන්ත අසරණ වුණු ශිරෝමි තම මනසේ ඇ‍ඳෙන සුන්දර හැඟීම් කඩදාසි කැබැල්ලක ද සටහන් කළා. ලස්සන ඇඳුමින් හැඩවුණු ශිරෝමිගේ දෑගිළි අතුරින් පෑන් තුඩට ගොනු වුණේ සුන්දර අර්ථවත් පදවැල් ගොන්නක්.

අංකුර ගීත රචකාවියක් ලෙසින් ශිරෝමිගේ මුල්ම ගීතය යසෝධරා දේවිය ගැන ලියවුණේ ඉතාම අර්ථාන්විතව. ජනප්‍රිය ගායක පූර්ණ සචින්ත විසින් ගායනා කළ ඒ ගීතයේ පදවැල් වුණේ

 

නේරංජනාවේ දිය රැළි දහරේ

දෙඅදර තණ නිල් නිමවි තලාවේ

යසෝධරා දේවි....

 

මැහුම් නිර්මාණ ශිල්පිනියක් ලෙස ජීවිතය ගත කළ ශිරෝමි ගීත රචිකාවියක් වුණු කතාව පිටුපස අප හැමෝටම වටිනා පණිවුඩයක් තිබෙනවා. ඒ වටිනා ආදර්ශවත් කතාව ශිරෝමි විසින් අපට හෙළ කළේ මෙලෙසිනි.

 

“කොරෝනා නිසා මගේ මැහුම් ව්‍යාපාරය කඩා වැටුණා. ඊට පස්සේ ගෙදරට වෙලා ඉන්න අතරේ කොළ කෑල්ලක් අරගෙන යසෝධරා දේවිය ගැන පදවැල් කිහිපයක් ලිව්වා. ඒ පදවැල් ටික ගීත රචක නවරත්න ගමගේ සර් දැකලා මට කිව්වා මේක හොඳ නිර්මාණයක් කියලා. ඒ ගීතය මාසයක් යන්නත් කලින් ජනප්‍රිය වුණා. ඊට පස්සේ මට ගීත රචනා කිරීමේ ආසාව ඇති වුණා.”

 

යසෝධරා දේවිය ගීතය ලියා අහම්බෙන් ගීත රචනා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට ගීත රචනා සියයකට වඩා නිර්මාණයකර ඇත්තේ ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් විසින් ගීතවත් වෙමිනි. ජනප්‍රිය ගායක නලින් පෙරේරා පවා ඇයගේ ගී පදවැල්වලට තනු යොදා ඇති අතර ලක්ෂ්මන් හිල්මී විසින් ගී තනු යෙදු “පේරාදෙණිය පාරාදීසය’ ගීතය පේරාදෙණිය සරසවියේ පුදුම 7 ගැන කියවෙන වෙනස්ම ආරක ගීතයකි. නාමල් උඩුගම ගායනා කරන ශෘංගාරී ගීතය හා සඳමාලී දැකුම්පිටි විසින් ගායනා කරන ‘ආල හී සර’ ගීතය ද ශිරෝමී ලියූ තවත් නිර්මාණයක් ලෙසින් මේ දිනවල අසන්නට ලැබෙන විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ‘සිහින පැතුම’ ගීතය ද අමිලා නදීශානි විසින් ගායනා කරන ‘පාරමී සපුරලා’ ගීතය ද ඇයගේ නිර්මාණ අතරට එක් වූ ගීත දෙකකි.

 

මැහුම් ශිල්පිනියක ලෙසින් ජීවිතය ගත කළ ශිරෝමි මෙලෙසින් තම නිර්මාණ කුසලතාවය විකසිත කරමින් දුර ගමනක් යන්නට සිහින දකියි. ඇය කොරෝනා වසංගතය ජීවිතය වෙනස් මඟකට යොමු කළ නිර්මාණ ශිල්පිනියක ලෙසින් ගීත රචනා ලෝකයට පිවිසියේ අහඹු ලෙසිනි. ඇයට ඒ මඟ දුර ගමනක් යන්නට අපි මෙලෙසින් සුබපැතුම් එක් කරමු.