වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
කරදර උඩින් දිව්ව වැලිමඩ සඳුනි

නිමාවක් නැති තුහින වැස්ස ඊටම එකතු වුණු දඟකාර හුළං රැඳි අැඟ හිරිගඬු පිපෙන තරමටම සීතලයි. ඒ සීතල, ඒ වැස්ස අතරින් පායන ඉර රේඛාව ගැන නිනව්වක් නැතිව අපේ කතා නායිකාව එක දිගටම වැඩ.
අද අපේ කතා නායිකාවගේ නම සඳුනි. ඇය පදිංචි වෙලා ඉන්නේ වැලිමඩ ඌව පරණගම. අපි අද සඳුනි ගැන කතා කරන්නේ විශේෂ හේතු කිහිපයක් නිසා. ඉන් පළමුවැන්න තමයි තමන්ට නොලැබුණු දෙයට වඩා ලැබුණු දේ ගැන සතුටු වෙන සඳුනිගේ දිරිය ජීවිත කතාව.
උපතින්ම ආබාධිත සඳුනි ඒ ගැන නොසිතා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ආකාරය තවත් කෙනෙකුගේ ජීවිතයට ආදර්ශයක්. ක්‍රීඩිකාවක්, ගෙවිලියක් මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක් විදිහට සඳුනි ගෙවන මේ ජීවිතේ ඇතුෙළ් ඔයාටත් ගන්න දෙයක් ආනිවාර්යයෙන් තියේවි.
එහෙම නම් අපි සඳුනිගේ කතාව අහමු.
"කුමක් හෝ හේතුවකට මම ඉපදුනේ මගේ වම් අතේ වැලමිට සන්ධියෙන් පහළ කොටස නැතිව. මේ නිසා අම්මයි අප්පච්චි ලොකු මානසික පීඩනයකින් ඉඳලා තියෙන්නේ. මම වයසින් ටික ටික වැඩෙද්දි එයාලගේ ඒ වේදනාව මට හොඳටම දැණුනා. මුල් කාලෙදි මටත් තනියම වැඩ කරගන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. අම්මයි අප්පච්චිගෙයි උදව්වෙන් මම ටිකෙන් ටික තනියම වැඩ කරගන්න පුරුදු වුණා. අනිත් ළමයි වගේම මමත් යාළුවොත් එක්ක සෙල්ලම් කළා. ඒ නිසා මගේ අතේ අඩුව ගැන මට කිසිම වෙලාවක දැණුනේ නැහැ."
සඳුනිගේ හිතේ තියෙන්නෙ කියාගන්න බැරි සතුටක්.
අද ඔබ මලල ක්‍රීඩිකාවක්. කොහොමද ඒ ගමන අරඹන්නේ?
මම අධ්‍යාපනය ලැබුවේ කුමාරපට්ටිය රාජකීය විද්‍යාලයෙන්. පාසලේ ගුරුවරු හා ළමුන් මට කිසිම වෙනසක් නොකර මමත් සාමාන්‍ය කෙනෙක් විදිහටයි එයාලා සැලකුවේ. මම 6 ශ්‍රේණියේ ඉද්දි ගුරුවරුන් මාව නිවාසාන්තර තරගවලට යොමු කළා. වැලිමඩ කලාපයේ පාසල් අතර පැවැත්වූ මලල ක්‍රීඩා තරගවලදී මම ජයග්‍රහණය කළේ සෞඛ්‍ය තත්ත්වයෙන් පරිපූර්ණ අය එක්ක තරග කරලා. ඒකෙන් මට තේරුණා අභියෝග ජයගන්න අතේ අබාදධය ගැටලුවක් නෙවෙයි කියලා.
මලල ක්‍රීඩාවෙන් ලබාගත් ජයග්රහන ගැන කතා කළොත්?
දිවීම, දුර පැනීම වගේ ක්‍රීඩාවලටයි මම ඉදිරිපත් වුණේ. පාසල් මට්ටමින් බොහෝ තරග ජයග්‍රහණය කළා. ඒවගේම ජාතික ආබාධිත මලල ක්‍රීඩා තරගවලින් මීටර් 100 මීටර් 200 හා දුර පැනීම යන ඉසව් ත්‍රිත්වයෙන්ම ජාතික ශුරතාව හිමිකරගත්තා.
සමාජසේවා දෙපාර්තමේන්තුව විසින් 2016 හා 2017 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වූ ජාතික ආබාධිත මලල ක්‍රීඩා තරගයෙන් මීටර් 100 මීටර් 200 හා දුරපැනීම යන තරග ත්‍රිත්වයෙන්ම පළමු ස්ථානය හිමිකර ගත්තා. එහිදී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයත් මට හිමිවුණා. 2025 වසරේදි බියගම රාජපක්ෂ ක්‍රීඩා පිටියේ පැවති මීටර් 100 තරගයෙන් දෙවැනි තැන හා දුර පැනීමේ තරගයෙන් 02 වැනි ස්ථානයත් හිමිවුණා. නමුත් මීටර් 200 තරග ඉසව්ව පළමුවැනියා. අද වෙද්දී මලල ක්‍රීඩා තරගවලට ඉදිරිපත්ව විවිධ ජයග්රාහි පදක්කම් 17ක් හා සහතිකපත්‍ර 46ක් හිමිකර ගෙන තිබෙනවා. රීඩාවට වගේම මම අධ්‍යාපනයටත් මුල් තැන දුන්නා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලින් ද මම ඉහළින් සමත්වුණා.
ඒ වගේම ඔබ වගා කටයුතුත් කරනවා...
මගේ අප්පච්චි කරන්නේ ගොවිතැන. ඉතින් මමත් පුළුවන් හැම වෙලාවෙම අප්පච්චිත් එක්ක එළවළු වගාව කරගෙන යනවා. මට කැත්ත, උදැල්ල හොඳට පුරුදුයි. මේ වැඩවලට වම් අතේ අඩුව බාධාවක් කරගන්නේ නැහැ. ඉවුම් පිහුම් වැඩත් මට කරන්න පුළුවන්. ඉතින් ගෙදර හැමෝටම මම හැම වෙලාවෙම පුංචිම හරි උදව්වක් වෙන්නයි බලන්නේ. හැබැයි මටත් ගොඩක් අයගෙන් උදව් ලැබුණා.
ඒ අය ගැනත් මතක් කරමු?
පවුලේ අය තමයි මගේ ළඟින්ම ඉන්නේ. මගේ අප්පච්චි ජේ.ඇම්. චන්ද්‍රසිරි බණ්ඩාර. අම්මා කේ.ඇම්. ඉන්ද්රාකුමාරි. මගේ මල්ලි කල්හාර. මල්ලි තාම අධ්‍යාපන කටයුතුවල නියැළිලා ඉන්නේ. මගේ පාසලේ ගුරුවරු ගුරුවරියන්, ක්‍රීඩා පුහුණුකාරු ප්‍රසාද් විජේතුංග සහ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරි මංජුල ජයසිංහ යන මහත්වරු මට ගොඩක් උදව් කළා.
උදව් ලැබුණත් ජීවිතය හිතන තරම් පහසු නැතුව ඇති..
මගේ අතේ ආබාධය නිසා අනිත් අයට තරම් දේවල් පහසුවෙන් කරගන්න බැහැ. මට වයස අවුරුදු 22යි දැන්. ඉතින් කීයක් හරි හොයාගෙන ගෙදර ආර්ථිකයට උදව්වක් වෙන්න කියලා රැකියා කිහිපයකට අයදුම් කළා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඉගැන්වීමේ ගුරුවරියක වීමට මට විශාල ආශාවක් තිබුණා. ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරියක වීමට ඉල්ලුම් කළා. මම සම්මුඛ පරීක්ෂණවලට කැවනු ලැබුවත් මම අසමත් වුණා. මගේ අතේ තියෙන ආබාධය නිසා ගුරුවරියක් ලෙසට බඳවා ගත්තත් සාරියක් ඇදගැනිමේ අපහසුවක් ඇති වන බව නිසා ගුරු තනතුරු සොයා රස්තියාදු වෙන්න එපා කියලයි ඔවුන් කිව්වේ. ඒත් මං උත්සාහය අත්හරින්නේ නැහැ. මම දැනට ඌවපරණගම ආබාධිත සංගමයේ ලේකම්වරිය ලෙසටත් කටයුතු කරනවා. ඉක්මනින්ම මම රැකියාවක් සොයාගන්නවා.
අනාගත බලාපොරොත්තුව ගැන කතා කළොත්....
මගේ අම්මා පිළිකා රෝගියෙක්. ඉතින් අම්මට ගෙදර වැඩ කරන්න අමාරුයි. අම්මගේ වැඩ කටයුතුත් පුළුවන් විදිහට මම කරනවා. අම්මාව සුවකරගන්න එකත් මගේ බලාපොරොත්තුවක්. ඒවගේම ආසියානු හා ජාත්‍යන්තර විශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් පවත්වන පැරා ඔලිම්පික් තරගවලට ඉදිරිපත් වෙලා ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන එන්න මට හීනයක් තියනවා.