ශ්‍රී ලංකාවේ ‍ප්‍රථම කැබිනට් අමාත්‍යවරිය

විමලා විජයවර්ධන
ජුනි 19, 2023

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා භූමිකාව තවමත් අවම මට්ටමක පවතියි. අවසන් සංගණනයට අනුව මෙරට ජන සංඛ්‍යාවෙන් 51.6%ක් කාන්තාවන් ය. 48.8%ක් පිරිමින් ය. එසේ වුව ද නිදහස ලබා ගැනීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තුවේ 102ක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටියේ 03ක් පමණි. වර්තමාන පාර්ලිමේන්තුවේ 225න් 12කි. 2016 වර්ෂයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්ය වන ආකාරයට නීතිමය විධිවිධාන සකස් කරන ලදි. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක් සඳහා ම 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නීති සම්මත විය. කාන්තා නියෝජනය අනිවාර්ය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතිය මෙය වේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහාත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරිම සඳහාත් කාන්තාවන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ආයතන නියෝජනය කිරිම සඳහා පෙරට පැමිණීම කාලීන අවශ්‍යතාවකි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය සහ දිරිමත් කිරීම අරමුණු කරගත් ලිපි මාලාවක හතරවැන්නයි මේ.

ලංකාවේ තුන්වැනි පාර්ලිමේන්තු මැතිවරණය පැවැතියේ 1956 වර්ෂයේදීය. මෙම මැතිවරණය දේශපාලනයේ නිරත කාන්තාවන්ට වැදගත් මැතිවරණයක් ලෙස හඳුන්වා දීමට පුළුවන. ඒ ප්‍රථම වරට ලාංකේය කාන්තාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරියක් වශයෙන් දිවුරුම් දෙන්නට සමත් වීමයි. මේ සුවිශේෂී ජයග්‍රහණයට හිමිකම් කියන ඇය නමින් විමලා විජයවර්ධනයි. මෙරට ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් නිසා දේශපාලනය තුළ ඇය ප්‍රකට චරිතයකි.

 

විමලා විජයවර්ධන මහත්මිය උපත ලද්දේ ගම්පහ කටාන ප්‍රදේශයේ දීය. ඇය විවාහ වීමට පෙර ඇගේ නම විමලා ද සිල්වා විය. ඇයගේ වැඩිමහල් සොයුරිය විවාහ වී සිටියේ දොන් චාර්ල්ස් විජයවර්ධන සමඟයි. ඉන්පසුව ඇය විමලා විජයවර්ධන බවට පත් වූවාය. එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙක් විය. ඇගේ සැමියා වූ දොන් චාර්ල්ස් ලංකාවට නිදහස ලබා ගැනීම වෙනුවෙන් සංඝයා වහන්සේලා එක්රැස් කිරීමේ පුරෝගාමී මෙහෙවරක නිරත වූ අයෙකි. ‘පන්සලේ කැරැල්ල’නමින් ඔහු විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථය එකල ලොව පුරා ප්‍රචලිත විය. එම කෘතියේ යටත් විජිත පාලනයේ කෲර බව, බුදු දහමේ උත්තරීතර බව සහ එහි වටිනාකම් පිළිබඳ කරුණු අන්තර්ගතය. එකල කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු හිමිව තිබු‍ෙණ් ඔහුගේ මව වූ හෙලේනා විජයවර්ධන මැතිනියටයි. එම කටයුතු ඔහුගේ සොහොයුරෙක් වූ දොන් වෝල්ටර් පවරා තිබුණු නමුත් අවාසනාවන්ත ලෙස ඔහු මියයාම හේතුවෙන් එම ප්‍රතිසංස්කරණ කටයුතු විමලා විජයවර්ධනගේ සැමියාට භාර විය.

 

විමලා විජයවර්ධන කුඩා කල සිටම සමාජ සේවයට ප්‍රිය කළ චරිතයක් විය. විවාහයෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රකට පවුල් පරම්පරාවක් වූ විජයවර්ධන පරම්පරාවට ඥාතීත්වයක් දරමින් ඇය දේශපාලනයට අවතීර්ණ වූවාය. ඇය දේශපාලනයට අවතීර්ණ වනවිට ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ද දේශපාලනයේ නිරත වූයේය. එතුමා ඇයට නැන්දණිය වූවාය.

1952 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙන් අනතුරුව ඇය එහි සාමාජිකත්වය ගෙන මහ මැතිවරණයට තරග කළාය. ඒ කැලණිය ආසනය නියෝජනය කරමිණි. එකල ඇගේ ප්‍රතිවාදියා වූයේ ඇගේ බෑනනුවන් වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාය. මේ මැතිවරණයෙන් ඇය ජේ.ආර්.ජයවර්ධනට ජන්ද 6,235කින් පරාජය විය. 1956 මහ මැතිවරණයේදී තරග වැදි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූයේ එක්සත් ජාතික පක්ෂය සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමාගේ නායකත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වාමාංශික පක්ෂ එක්ව නිර්මාණය කරගත් මහජන එක්සත් පෙරමුණත්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මීරිගම ආසනයට තරග කළ ඇය මේ මැතිවරණයෙන් ජන්ද 36,193ක් ලබා ගනිමින් විශිෂ්ට ජයක් ලබා ගත්තේ එ.ජා.ප.ය නියෝජනය කරමින් තරග කළ ජෝන් අමරතුංග මහතා ද පරාද කරමිනි. ඇගේ එම ජයග්‍රහණය මුළු ජන්ද ප්‍රමාණයෙන් 75.25 ක ප්‍රතිශතයක් විය.

 

ඇගේ මේ විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ඇයට මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව විසින් පිහිටුවනු ලැබූ කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍යධූරය හිමි වූවාය. මෙය ලංකාවේ දේශපාලනය තුළ ඉතා සුවිශේෂී අවස්ථාවක් වන්නේ මීට පෙර කාන්තාවක් කැබිනට් අමාත්‍යධුරයකට පත්ව නොතිබීමයි. ඒ අනුව ඇය මෙරට ප්‍රථම කැබිනට් අමාත්‍යවරිය වශයෙන් වාර්තාවක් තබන්නට සමත් වූවාය. මෙම ජයග්‍රහණයට අමතරව ඇගේ දේශපාලන පවුල් සබඳතාව හේතුවෙන් ද තවත් සුවිශේෂී වාර්තාවක් තබන්නට ඇයට හැකි වූවාය. ඒ එකම අවස්ථාවක නැන්දා සහ බෑනා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමයි. ඇගේ දියණියක් වූ රුක්මණී විජයවර්ධන විවාහ වී සිටියේ මාවනැල්ල ආසනය නියෝජනය කරමින් තරග කළ සී. ආර්. බෙලිගම්මන මහතාය. ඔහු ද 1956 මහ මැතිවරණය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. විමලා විජයවර්ධන සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළාය. එවකට පුරුෂ මූලික සෞඛ්‍ය පද්ධතියක පරිවර්තනීය වෙනසක් ඇති කරන්නට ඇයට හැකිවිය. ඇය සෞඛ්‍ය අමාත්‍යවරිය වනවිට කාන්තා වෛද්‍යවරුන්ට රෝහල් වාට්ටු භාරව කටයුතු කිරීමට අවසර ලැබී තිබුණේ නැත. ඇය ඒ ක්‍රමය වෙනස් කරමින් ඒ සඳහා කාන්තා »c³ෂ්ඨ වෛද්‍යවරුන්ට අවස්ථාව සලස්වා දුන්නාය. ඒ වගේම ඇය බටහිර වෛද්‍ය ක්‍රමය සේම පාරම්පරික වෛද්‍ය ක්‍රමයට ද මූලිකත්වයක් දී කටයුතු කළාය. පාරම්පරික වෛද්‍ය වෘත්තිකයන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලියාපදිංචි කිරීමෙන් ඔවුන්ට විධිමත් පිළිගැනීමක් ලබා දීමටත් කටයුතු කළාය. ඔවුන්ගේ ඖෂධ සැකසීම සඳහා අවශ්‍ය වූ ගංජා වගා කිරීමට අවසර ලබා දී ඒ සඳහා අත්‍යවශ්‍ය වූ නීති සම්පාදනය කිරීම එම ක්‍රි යාමාර්ග අතුරින් ප්‍රමුඛ කාර්යයක් විය. ඇය සිදුකළ සේවාවන් අතුරින් සදා නොමැකෙන කාර්යයක් වන්නේ සෞඛ්‍ය පද්ධතියට මුදල් රැස් කිරීමේ අරමුණින් අරමුදලක් ආරම්භ කිරීමට කටයුතු කිරීමයි.ආරෝග්‍යා නමින් ආරම්භ කළ එම අරමුදල වර්තමානය වනවිට ලොතරැයි මණ්ඩලය බවට පත්ව ක්‍රියාත්මක වෙමින් පවතියි.

 

විමලා විජයවර්ධන මහත්මියගේ සේවාවන් අතර අදත් බොහෝ දෙනකු අනුස්මරණ කරනු ලබන්නේ ඇය විසින් ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය සේවය විශේෂයෙන් ම ආයුර්වේද වෛද්‍ය සේවය නඟාසිටුවීම සඳහා ඇය විසින් ඉටුකරනු ලද විශිෂ්ට මෙහෙවරයි. ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් යටත් විජිතභාවයට පත් වීමෙන් පසු රටේ සෞඛ්‍ය සේවාවද බටහිරකරණයට ලක් විය. මහජනතාව ක්‍රමක් ක්‍රමයෙන් දේශීය වෙදකමෙන් ඈත් විය. බටහිර වෛද්‍ය සේවාවන්ට නැඹුරු විය. මේ තත්ත්වය වටහාගත් අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා ආයුර්වේද නඟාසිටුවීම සඳහා කටයුතු කරන බව මැතිවරණයේ දී පොරොන්දු විය. ඔහුගේ පංච මහා බලවේගයෙන් එක් බලවේගයක් වූයේ වෙදමහතුන්ය. බලයට පත්වීමෙන් පසුව ආයුර්වේදය නැවත නඟාසිටුවීමේ වගකීම ඔහු පවරන ලද්දේ සෞඛ්‍ය ඇමතිනි විමලාටය. පාරම්පරික වෛද්‍යවරුන් ට පහසුකම් සලසාදීම මඟින් ආයුර්වේදය සඳහා රෝහල්, පුහුණු ආයතන, පර්යේෂණ ආයතන, ආදීන්ගෙන් සමන්විත ආයතන පද්ධතියක් ඇති කිරීම ආදිය ඔස්සේ ඇය ශ්‍රී ලංකාවේ ආයුර්වේදය නඟාසිටුවීමට කටයුතු කළ අතර බොහෝ දෙනෙක් එම යුගය හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ ආයුර්වේදය යටත් විජිත යුගයෙන් පසුව නැවත ප්‍රවර්ධනය වීම සඳහා සමාරම්භය සැපයූ යුගයක් ලෙසිනි.

 

ඇය සෞඛ්‍ය අමාත්‍යවරියක වූවා සේම පළාත් පාලන හා නිවාස අමාත්‍යවරියක ද වූවාය. එසේම ඇය වාර්තාගත දේශපාලන චරිතයක් වූවා සේම පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු කිවිඳීය ද වන්නීය.

 

කන්ද උඩරට ඌව වෙල්ලස්ස නැරඹීමට යන බොහෝ දෙනකු විශේෂයෙන් ම නැරඹීමට බලාපොරොත්තුවන සුප්‍රකට ඇඩිෂම් බංගලාවේ හිමිකාරිය වූයේ ද ඇයයි. අක්කර දහයක පමණ භූමි ප්‍රමාණයක පිහිටි එම බංගලාව ගෘහ නිර්මාණ ශිල්පය මනාව ප්‍රකට කරන ඉතා විශිෂ්ට නිර්මාණයකි. එකල ප්‍රධාන පෙළේ ප්‍රභූ පුද්ගලයන්ගේ නේවාසික ස්ථානයක් බවට ද එය පත්ව තිබිණ. 1961 දී ඇය එම බංගලාව රෝමානු කතෝලික පල්ලියට පවරන ලදී. පල්ලිය විසින් එය ආරාමයක් බවට පරිවර්තනය කරගෙන කාලයක් පවත්වාගෙන ගිය අතර වර්තමානය වනවිට එය මනාව සංරක්ෂණය කොට දෙස් විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් බවට පත්ව තිබේ.

ඉතා අවාසනාවන්ත සිදු වීමක් වූ අග්‍රමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ ඝාතනය සිද්ධියේදී ඇයට ද චෝදනා එල්ලවීම හේතුවෙන් ඇයව පළාත් පාලන හා නිවාස අමාත්‍ය ධූරයෙන් පසුව නෙරපා හැරිණ. මාස තුනක් පමණ නිවාස අඩස්සියේ ද තබා අත්අඩංගුවට ගත් නමුත් ඇයට එරෙහිව එල්ල වූ චෝදනාවලින් නිදහස්ව නිර්දෝශි වුවත් මේ හරහා ඇති වූ අපකීර්තිය නිසා ඇගේ දේශපාලන දිවිය අවසන් විය. ඇය මියෙන තෙක්ම දේශපාලනයෙන් ඉවත්ව ඉතා නිහඬ ජීවිතයක් ගත කළාය. 1994 ජනවාරි මස 27 වැනි දින ඇය මෙලොවින් සදහටම සමු ගත්තාය.