ලෝකයෙන්ම එකට ආ අපේ චමරි

ජූලි 10, 2023

 

ලෝක සිතියමේ තිතක් තරම් වූ අප දිවයිනේ නම ලෝකයට ගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකි. ලොව ප්‍රථම අගමැතිනිය ලෙසින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පත්වීමෙන් පසු ශ්‍රී ලාංකේය නාමය ඔලිම්පික් ක්‍රීඩා පිටිය බබලවන්නේ ආසියාවේ කළු වෙළඹ විරුදාවලිය ලැබූ සුසන්තිකා ජයසිංහය. මේ දෙදෙනා අප රටට ගෙනා කීර්තිය හා ගෞරවය අප සියලුමදෙනා මහත් අභිමානයෙන් යුතුව කතා කරන්නේ ආසියාවේ අප වැනි පුංචි රටකින් මෙවන් දෙයක් කරන්නට තරම් ඔවුන්ට තිබූ ශක්තිය හා ධෛර්ය පිළිබඳ ආඩම්බර වෙමිනි. එම කාන්තා චරිත දෙකටම වඩා වෙනස් වූ තවත් කාන්තා චරිතයක් ලෝකයේම පළමු තැනට පැමිණීම ගැන අපට අසන්නට ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩා පිටියෙනි. වසර ගණනකට පෙර අප ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනා ගැනීමත් සමඟ සනත් ජයසූරිය ලොව අංක එකේ ක්‍රීඩකයා බවට පත්වීම ගැන ද එදා අප සතුටු වූයේ අනාගතය ගැන මහත් බලාපොරොත්තු තබමිනි. නමුත් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව නිසාම අප ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායමට එවැනි ඓතිහාසික ජයග්‍රහණයක් තවමත් ලබාගැනීමට නොහැකි වී ඇති පසුබිමක ලොව අංක එකේ ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවට හැකිවීම ක්‍රීඩාව ගැන උනන්දුවන සැමටත්, අපගේ අනාගත තරුණියන්ටත් විශාල උද්දීපනයකි.

චමරි අතපත්තු... ඇය අපේ ක්‍රිකට් ක්‍රීඩා පිටියට නැවතත් වසන්තය ගෙනා සුරදූතිකාවයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි. සී. සී.) නවතම එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීමේදී ඇය අංක එක බවට පත් වූ බවට නිල වශයෙන් දැනුම් දී දින ගණනකි. ඇය මේ ජයග්‍රහණයට පැමිණියේ දින දෙක තුනක හෝ පුංචි කාලයක් තුළ කැපකිරීමක් නිසා නම් නොවේ. චමරි තම ජීවිත කාලය පුරාම හෙළූ දහඩිය, කඳුළු මුසු මහන්සිය හා අනන්ත වූ කැපකිරීම මේ ජයග්‍රහණය හා මුසුව එය තවත් අර්ථවත් වී ඇත්තේ සමස්ත ශ්‍රී ලාංකේය තරුණ්‍යයටම අමුතුම ශක්තියක් එක්කරමිනි. චමරි මේ ජයග්‍රහණයට හිමිකම් කියන්නේ සිය එක්දින ක්‍රිකට් දිවියේ ප්‍රථම වතාවට ප්‍රසාද ලකුණු 78ක් හිමිකර ගනිමිනි. මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින පිතිකරුවන් ශ්‍රේණියේ අංක එකට පැමිණි එකම ක්‍රීඩකයා බවට පත්වීමේ ගෞරවය හිමිවන්නේ සනත් ජයසූරියටය.

එම ජයග්‍රහණයට නොදෙවැනි වූ ජයග්‍රහණයක් හිමිකර ගන්නා චමරිගේ දස්කම් අපට වඩාත් හොඳින් දැක ගැනීමට හැකි වූයේ පසුගියදා නවසීලන්තය සමඟ පැවැති එක්දින තරගාවලියේදීය. එහිදී විශිෂ්ට දස්කම් පෑ ඇය නොසිතූ ලෙසින් ඉදිරියටම පැමිණියේ ක්‍රිකට් විචාරකයන්ගේ ඉමහත් ප්‍රසාදයට පත්වෙමිනි. මෙම තරගාවලියේදී පළමු තරගයේ නොදැවී ලකුණු 108ක් රැස්කළ චමරි තුන්වැනි චරතයේදී ලකුණු 140ක් රැස්කර ගනිමින් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අංක 06 සිට පළමු ස්ථානය දක්වා පැමිණියේ සමස්ත තරගාවලියම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරමිනි. ඇයගේ එම දක්ෂතාවය හේතුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් 2-1ක ජයක් ලබා ගැනීමට අප කණ්ඩායමට හැකි විය.

මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 95ක ක්‍රීඩා කර තිබෙන චමරී එහිදී ශතක අටක් සහ අර්ධ ශතක 15ක් ඇතුළුව ලකුණු 3199ක් රැස්කරගෙන තිබේ. මෙවන් වූ අභිමානවත් ගමනක් පැමිණි චමරි සැබෑම නිරහන්කාර ක්‍රීඩිකාවකි. සැමවිටම ‘තරුණී’ට ළබැඳි චමරි අප සමඟ ඇයගේ මේ ජයග්‍රහණයේ සතුට බෙදාගත්තේ මෙලෙසිනි.

‘මේ ජයග්‍රහණය ගැන පළමුවෙන්ම කිවයුතු දෙයක් තියෙනවා. මේ ජයග්‍රහණය මට ලබාගන්න හැකි වුණේ මම තනියම කරපු දෙයකින් නොවෙයි. මේ ජයග්‍රහණය ලබා ගැනීමත් සමඟ ඇති සතුට බෙදාගන්න මාත් සමඟ සිටි විශාල පිරිසක් සිටිනවා. පළමුවෙන්ම මම ඒ පිරිස සිහිපත් කළ යුතුමයි. ඇත්තටම මගේ හිතේ සිහිනයක් තිබුණා. ලෝකයේ අංක එකේ ක්‍රීඩිකාව වෙනවා කියලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මගේ කණ්ඩායමේ සිටින පුහුණුකරුවන් හා මගේ සහෝදර ක්‍රීඩිකාවන් මෙන්ම මට මේ ගමන එන්න වාරු දුන්න අම්මා, අප්පච්චි හා පවුලේ සැම දෙනාම මට උදව් කළා. ඒ අයගෙන් ලැබුණු සහයෝගය නිසා තමයි මට මේ ජයග්‍රහණය ලබාගන්න හැකියාව ලැබුණේ. ඔවුන් දක්වපු සහයෝගය තමයි මාව හැම වෙලාවෙම ධෛර්යමත් කළා.’

මෙහිදී මට සඳහන් කළ යුතු විශේෂ කරුණක් තිබෙනවා. පසුගිය කාලයේදී මගේ බර වැඩි වුණා. ඒ නිසා ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමුකර පුහුණුවීම් කළා. එහි ප්‍රතිඵලය මට ඉතාම ඉක්මනින්ම මේ තරගාවලියේදී ලැබුණා.’

මේ ජයග්‍රහණයත් සමඟ ඇය අපගේ තරුණියන්ට ලබාදෙන දිරිගැන්වීම ද ඉතාම වටියි. ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවීමට අපේක්ෂා කරන දියණියන්ට ද දිරිගැන්වීමක් ලබාදෙන ඇය ඒ ගැන සඳහන් කළේ මෙලෙසිනි.

 

පසුගිය වසර එකහමාරක කාලය තුල ලංකාවේ කාන්තා ක්‍රීඩාවේ විශාල පිබිදීමක් තියනවා. මේ තරගමාලාව ගත් විට පසුගිය මාස කිහිපය තුළ අප කණ්ඩායමත් හොඳින්ම තරග කළා. තරග සංචාර කිහිපයක්ම ජයග්‍රහණය කරන්නත් අපට අවස්ථාව ලැබුණා. ඒ නිසා අපට තරුණ ක්‍රීඩිකාවෝ ඉදිරියේදී දකින්න ලැබේවි. මේ ජයග්‍රහණය දැකීමත් එක්ක අපේ තරුණ නංගිලාට මවුපියන් අවස්ථාව දෙයි ක්‍රිකට් ක්‍රීඩා කරන්න. විශේෂයෙන් අප වැනි රටක සංස්කෘතිය හා බැඳුණු පසුබිමත් සමඟ තරුණියන් මේ ක්‍රීඩාවට යොමු කිරීමට මවුපියන්ගේ පුංචි තැති ගැම්මක් තියනවා. නමුත් අපේ දස්කම් රූපවාහිනියේ දකින විට ඔවුන්ටත් උනන්දුවක්, ආසාවක් ඇතිවෙයි තමුන්ගේ දියණිය ජාත්‍යන්තරය දක්වා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යවන්න. අපේ මේ පුංචි ක්‍රීඩිකාවන්ගේ අනාගතයේදී ලෝකයට දක්ෂ ක්‍රීඩිකාවන් බිහිකිරීමට වාසනාව උදාවේවි කියලා මම විශ්වාස කරනවා.

 

මේ ජයග්‍රහණයත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල පිබිදීමක් දකින්න ලැබෙනවා. ක්‍රීඩා සමාජවල වගේම අපගේ කණ්ඩායමත් විශාල උනන්දුවකින් අනාගතය ගැන අපේක්ෂා දල්වාගෙන ක්‍රීඩා කරනවා. විශේෂයෙන් අප ජයග්‍රහණය කළ නවසීලන්ත සංචාරය ගැන සඳහන් කළ යුතුයි. නවසීලන්ත කණ්ඩායම කියන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම අනුව අංක හතරවැනි ස්ථානයේ පසුවන කණ්ඩායම. ඔවුන්ගේ තරගකාරියන් විශාල පිරිසක් ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වෙනවා. ඔවුන්ට T20 තරගාවලියේ විශාල අත්දැකීමක් ඇති කණ්ඩායමක්. අපි එක්දින තරගාවලිය ජයග්‍රහණයත් සමඟ විශාල ශක්තියක් අපට ලැබුණා තමයි. නමුත් අපි ඔවුන් අවතක්සේරු කරන්නේ නැහැ. අපේ කණ්ඩායමට මම දුන්න උපදේශය තමයි අපි මේ ජයග්‍රහණය ලැබුවාට අපගේ සුපුරුදු රිද්මයට ඉදිරියටත් ක්‍රීඩා කළ යුතුයි. ඉදිරියටත් අපේ තරග සඳහා නවීන ක්‍රම සහ උපක්‍රම භාවිත කළ යුතුයි. අපේ අලුත් පුහුණුකරු රුමේෂ් රත්නායක මහත්තයා කියන්නේ ඒ මොහොතේ කළ යුතු දේ නිවැරැදිව කරන්න කියලා. අපට ප්‍රතිඵල ලැබෙන්නේ අන්තිම මොහොතේ. නමුත් කළ යුතු දේ හරියට කිරීම තමයි තරගයක වැදගත්ම. ඉදිරියේ පැවැත්වෙන 20-20 තරගය සඳහා අපේ හොඳ සූදානමක් ති‍ෙයනවා. එය ජයග්‍රහණය අපේ කණ්ඩායම උපරිම කැපවීමක් කරනවා.’

 

චමරිගේ ජයග්‍රහණයත් සමඟ අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩිකාවන් ගැන බලාපොරොත්තු තැබිය හැකි සුබ නිමිති පෙනේ. ලෝක පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 50 දෙනා අතර තවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනකු ද සිටියි.

 

කවිෂා දිල්හාරි , හරිෂිතා මාධවී. නිලන්ති ද සිල්වා දක්ෂ ලෙස තම පිත්ත මෙහෙයවන අතර, තුන් ඉරියව් ක්‍රීඩිකා ලැයිස්තුවේ 12 වැනි ස්ථානයට චමරි පැමිණීමට හැකිවීම ද කැපී පෙනෙන සිදුවීමකි. එසේම පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ක්‍රීඩිකාව ඉදිරියෙන්ම සිටීම ද අපගේ කණ්ඩායමේ ශක්තිය තවත් ඉහළ නංවා තිබේ.