ආච්චි මළා

කෙටි කතාව - අවසන් කොටස
මැයි 12, 2025

 

දීප්ති දහනක 2013 දී සිය පළමු කෙටිකතා සංග්‍රහය "බාලසූරිය RR" නමින් එළිදැක් වූ අතර "සර්වාංග විකාර" හඬ පුස්තකය හෝ ශ්‍රව්‍ය පොත තුළින් ඔහු පළමුවරට ලාංකීය සාහිත්‍යයට නව සාහිත්‍ය මාධ්‍යයක් 2016 දී හඳුන්වා දුන්නේය.

 

2018 දී "එක අතකින් වෙන මොනවා කරන්නද?" නමින් කෙටිකතා සංග්‍රහයක් පළ කරනු ලැබූ දීප්ති 2024 දී "කැතේ බෑ මනමාලී" නමින් ඉදිරිපත් කළ කෙටිකතා සංග්‍රහය එම වසරේ විදර්ශන සාහිත්‍ය තරගාවලියේදී අවසන් වටයේ 'කෙටිකතා දිගු ලැයිස්තුව'ට තේරුණි.

කොළඹ ඉඳලා කුරුණෑගල දක්වා කඳවුරු බැඳ ගන්න වෙච්ච එකට එයා දක්වන විරෝධයක් ද ඔය නැත්නම් වෙන මොකක්හරි හුටප්පරයක් තියෙනවද කියලා ඒ දෙන්නම තමයි දන්නෙ. මොනව වුණත් ආච්චි පොඩි උන්ට එයාගෙ රයිම් එක කියලා ඉවර වෙන කොටම, ළඟ හිටියොත් සීයත් පටන් ගන්නවා එයාගෙ එක.

ඔය වෙලාවට ලොකු අම්මා නිතරම කියන එකක් තමයි

“ඕන් ඉතින් පටන්ගත්තා අම්මගෙයි තාත්තගෙයි ආසන දෙකේ බණ...!”

ඔය දෙන්නම සුරංගනා කතා පකීර්ලා. කවි සින්දු කියලා දීලා ඇති කප්පරයක්.

ඒත් අපට මතකම ඔය සිංදු දෙක විතරමයි.

උඹලට කියන්න මම දෙකේ පංතියේදී ටීචර් මට කීවා සිංදුවක් කියන්න කියලා

මම කීවේ සීයගෙ “ ගියා හඳ අල්ලන්න.”

එක සතියෙන් මම ඉස්කෝලෙ ජනප්‍රියම සිසුවා වුණානෙ.

ඔය කාලෙ වෙනකොට මිනිසා සඳමත පා තියලා සෑහෙන කාලයක්.

කොච්චර ජනප්‍රිය වුණාද කියනවනම් මට පංතියක් පංතියක් ගානේ ප්‍රසංග පවත්වන්න සිද්ධ වුණා.

කුරුණෑගලට පහුබහින්න තරම් වෙච්ච දරුණුම යමක් ආච්චිගෙ රයිම් එකේ හැංගිලා තියෙනවා.

ඒකෙන් ඔය “ පිහියෙන් ඇනගෙන හිරගෙදර” තමයි මොකක්හරි ගැට පදයක් තියෙන්නෙ.

“ඔව්... ඔව්... කූඹි කකුලකුත් පිහි ඇනුමට සම්බන්ධ ඇති...!”

කූඹි කකුල්... කූඹි කකුල්... නිදිමතද...?

තට්ටු දෙකේ බස් යනවා.... මහනුවර...!

අයියයි මල්ලියි... පිහියෙන් ඇනගෙන හිරගෙදර...!

කූඹි කකුල්.... කූඹි කකුල් නිදිමතද...?

“ඔය කීවේ...! ඇති ඇති... මොකක් හරි සම්බන්ධයක් ඇති.

දැන් බලපං පිරිමි පිරිමි ඕපෙ කියනකොට ඒවයෙ තියෙනවා වෙනම කික් එකක්.

ඒව මේව එක්ක උඹලා මම ගැන මොනව හිතුවත් මට වැඩක් නෑ. හැබැයි මේවා අස්සෙ ටිකක් කුණු රහ වුණත් පොඩි කේස් ස්ටඩි එකක් තියෙනවා. පොඩි සායනික කතන්දරයක්.

මේවා තමයි අපට පරම්පරාවෙන් හම්බවෙන නිධාන, හාරලා පාදලා ගන්නයි ඕ‍ෙන.”

 

“හරි දැන් ඔය ගේට්ටුව ළඟ ඉඳලා බොහෝම නිවිච්ච ගමනින් එන්නෙ

කරුණා දයා ගුණේ සෙට් එකේ ගුණේ...! ඒ කියන්නෙ චූටි පුංචි.

මැරිච්ච ආච්චිගෙ පොඩි දුව, අපේ අම්මගෙ නංගි.

උඹල කියන්නේ දැන් මෙතැන මොනව වෙයි කියලද...?”

“එන හැටියට නම් එච්චර දෙයක් වෙන්නැති වෙයි. උඹනෙ ඉතින් අනාවැකි කියන්නේ.

 

අනාවැකිය මේකයි...! හරි සිම්පල්...!!

තත්පර පහක් ඇතුළත සීය කාමරේ ඉඳන් කරාටි පාරක් ගහනවා.

චූටි පුංචි ආච්චිගෙ මිනියට වඳින ගමන්,

“මතු උපදින භවයක් භවයක් ගානේ

මම අම්මාගේම බඩේ අම්මාගේම එකම දුව වෙලා ඉපදේවා...!

කිසිම සහෝදරියක් අම්මාගේ බඩේ නූපදිවා...!”

 

ටිකක් හඬ උස් කරලා කියයි.

ඊට පස්සෙ පොඩි පොඩි මයික්‍රො ලෙවල් එකේ කතාබහක් සිද්ධ වෙයි. ගනන් ගන්න එපා. එයාලා එකාට එකා ආදරය බෙදාගන්න විදිහක් ඔය.

බෝනස් එකක් විදිහට මාලයක්, මුද්දක් ගැන පොඩි කතාබහක් වෙන්නත් පුළුවන්.

“දැන් ඔන්න සීයගෙ කරාටි සද්දේ...! හරිනේ.....

“ඊළඟට “ආත්මයක් ගානේ” එකෙත් එක වචනයක් හරි අඩු වුණාද... නෑනේ....?”

“අම්මාගෙ පවුම් එකහාමාරේ මාලේ ගැන මම මේ වෙලාවේ කියන්නෙ නෑ කියලා කිව්වෙ

අර මම කීව බෝනස් අනාවැකිය ගැන තමා. කොහොමද මගෙ අනාවැකි...!

“යකෝ ජනාධිපතිලා, අගමැතිලා ළඟ ඉන්න ඕනෙ එකෙක්

මේ මළගෙවල්වල සාටර් වෙවී ඉන්නේ...!’’

ඕක මචං ඉව...! “උඹලගෙ ගෙවල්වල කාලයක් වැටිල ඉන්න කොට බල්ලකුට වුණත් එන ඉව...”

“එහෙම නෙවෙයි... ඉදිරි පැය භාගෙ ඇතුළත මොනව වෙයි කියලද උඹ පොරකාස්ට් කරන්නේ...? “දැන් වෙලාව රෑ 11.15 යි. රෑ 12 වෙනකල් මොනවද වෙන සිද්ධි...?

පුළුවන්නම් බාරගනින් මේ චැලේන්ජ් එක.

 

හරි භාර ගන්නවා...!

හැබැයි අපි සේරම මෙතැනින් අයින් වෙලා මිනිය තියෙන සාලෙට යන්න ඕ‍ෙන.

දෙන්නෙක් මෙතැන එළියේ ඕපන් ඒරියා එකේ ඉන්නවා.

අම්මලා, නංගිලා, දුවලා සෙට් එක වීඩියෝ කරන්න ඕනෑ එයාලට හොරෙන්.

මේකයි අනාවැකිය...!

මැරුණ ආච්චි අඩි 05යි අඟල් 05ක් උසයි.

මුලින්ම එයාලා ආච්චිගෙ උසට සෙට්වෙන අය වෙන් කරයි.

ඊට පස්සේ ඔය කොරිඩෝ එක දිගේ අඩි පහක් හයක් ඇවිද්දවයි.

හොඳට අහගෙන ඉන්න. රෝසිගෙ හරි ස්වර්ණා මල්ලවරච්චිගෙ නම් කියයි.

ඒ වගේ ඇවිදියි. අලුත් එකියොත් ඇවිදිනකොට ඒ විදිහට ඇවිදිනවද බලයි.

ඒ කාලෙ ආච්චි අැවිද්දෙ ස්වර්ණා වගේලු.

බෝනස් අනාවැකිය තමයි...! අන්තිමට තේරෙන අයගෙ ඉණයි බඩයි මනියි. ඔතැන වෙන්නෙ මොනවද කියලා එයාලවත් දන්නෙ නෑ වගේ සූක්ෂ්මව ඔය වැඩේ කරයි. උඹල වන කරොත් ඇරෙන්න.

“දැන් හරිනේ...! මුළු වැඩේටම ටිකක් වෙලා ගියා තමයි. මම කියපු පිටපතටම අනුව වැඩේ සිද්ධ වුණානෙ...! දැන් මොකද කියන්නේ...?’’

 

“ඒත් අපි පිළිගන්නෙ උඹේ හැකියාව 50% කියලයි. ඉස්සරහ විනාඩි 10 ඇතුළත එක් සිදුවීමක් හෝ විය හැකියාවක් ගැන හරි කීවොත් අපි පිළිගන්නවා උඹේ හැකියාව 100%යි කියලා. මොකද කියන්නේ භාර ගන්නවද...?”

 

“භාර ගන්නවා..!’’

“කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ..!!”

“අඩුම ගානෙ සීයා කරාටි ගහන සද්දයක්වත් ඇහෙන්නෙ නෑ...!!

“ ස්ථිරයිද...? ස්ථීරයි...!

එකපාරටම චූටි පුංචි අඬාගෙන ගියා සීයගෙ කාමරේට... “අනේ මේ මල්ලි ....? (විලාපෙ පටන් ගත්තෙම ආච්චිගෙ පරණ ආයුදෙන්...!)

මෙච්චර හරියක් වෙලා තියෙද්දිත් හොඳට නිදි...! ඊට පස්සෙ කතා වෙලා වගේ නෑදෑ පරපුරම සීයගෙ කාමරේ පොදිකකා විලාප තියන්න පටන් ගත්තා. හරියටම මේ දැන් මළගෙදර පටන්ගත්තා වගේ. කස්ටිය විලාප තිබ්බෙම මල්ලී.. මල්ලී... කියලයි. ඒ කාලේ ආච්චිගේ දිනුම් පදේ...! අවුරුදු දෙකක් විතර කිසිම වචනයක් කතා නොකර හිටපු සීය, පටන් ගත්තා.

ගියා අපි හඳ අල්ලන්න...

රොකට් එකේ...// තරමක් දුරට

හඳේ හිටපු හාවා

මුළු රොකට් එකම කෑවා

ආයෙත් අපි යමුද බලන්න....!

“හා... හා.... හා... යමුද බලන්න.../

 

නිමි