ලැජ්ජාවෙන්නේ නැතුව ඇඳුම් අඳින්න

ජූලි 17, 2023

 

අපි කවුරුත් විලාසිතා කරන්න ආසයි. ඒ වගේම සමහරු හැමදාම එකම විදියේ තමුන්ට ගැළපෙන විලාසිතා කරන්නත් කැමතියි. ඒ ක්‍රමයේ වාසි කිහිපයකුත් තියෙනවා. ඒ තමයි තමුන්ටම අනන්‍යතාවයක් හැදෙනවා. ඒ වගේම ලොකු වියදම් වෙන්නෙත් නෑ. දැන් මේ කියන ලොකු වියදම් වෙන්නෙ නෑ කියන කාරණේ අදාළ වෙන්නෙ අපි ඒ ඇඳුම් කල් පවතින්න පාවිච්චි කරනවා නම් විතරයි. එහෙම නැත්නම් අපි එකම විලාසිතාවේ නියැළුණා කියලා අපිට විශේෂ ආර්ථික වාසියක් නම් ලැබෙන්නෙ නෑ. අන්න ඒ නිසාම අපි අද කතා කරන්නෙ, අපේ ඇඳුම් කල්පවතින විදියට රැකගන්නෙ කොහොමද? කියන එක ගැන. මේ කියන පුංචි ක්‍රම සහ වෙනස් පුරුදුවලට හුරු වුණොත් අපිටත් අපේ ඇඳුම් දිගුකල් නැවුම් සහ අලුත් විදිහට පවත්වා ගන්නට පුළුවන් වේවි.

 

හොඳ ඇඳුම් මිලදී ගන්න

 

අපි මේ කියන්නෙ මිල ගැනම නෙමෙයි. ඇඳුමක ගුණාත්මක භාවය ගැන. මැහුම්වල නිමාව ගැන වගේම නිම කරන රෙද්ද කොයිතරම් ගුණාත්මක බවින් වැඩිද කියන එක හිතන්න. සාමාන්‍යයෙන් මිල අඩු වීමේ වාසිය නිසා බොහෝ දෙනෙක් ගුණාත්මක බවින් අඩු ඇඳුම් මිලදී ගැනීමට මතු කරන තර්කයක් තියෙනවා. ඒ තමයි රුපියල් හාරදාස් පන්සීයකට බ්‍රෑන්ඩඩ් ඩෙනිම් කලිසමක් මිලදී ගන්නවාට වඩා රුපියල් 1500 බැගින් සාමාන්‍ය ඩෙනිම් කලිසම් තුනක් මිලදීගත හැකි බව. 1ට 3ක අනුපාතයේ වාසිය ඔවුන් පෙන්නුවත් ගුණාත්මක ඇඳුමක කල් පැවතීම, එහි ඇති සැප පහසුව වගේම එහි ඇති පෙනුම ඔබට අර මුදලේ ලාභයෙන් ලැබෙන්නේ නෑ. එනිසා කල් පවිතින ඇඳුම් පාවිච්චියට අදහස් කරනවා නම් අනිවාර්යෙන්ම ගුණාත්මක ඇඳුම් මිලදීගන්න.

 

Washing Machine එකේදි

 

Washing Machine එක ඇතුළෙදී වෙනස් ජාතිවල රෙදි එකවර ගැටෙන නිසා ඇතැම් විට රෙදිවලට හානි වෙන්නට පුළුවන්. මේ නිසා ඔබේ මිළ අධික යට ඇඳුම් වැනි ඒවායේ නූල් ඇදෙන්නට එහෙම ඉඩ තියෙනවා. මෙය වළක්වා ගන්නට Washing Machine එකට ඇඳුම් යොමු කරන්නට පෙරාතුව ඔබට දැල් සහිත ආවරණ බෑගයක්(Delicates Laundry Wash bag) මිලදීගත හැකියි. ඒ වගේම රෙදි සෝදන යන්ත්‍රයට අඩුවෙන් රෙදි පිරවීමෙන් සිද්ධ වෙන ජල හානිය වගේම ඇඳුම් තද කර පිරවීමෙන් ඇඳුම්වලට සිද්ධ වෙන හානිය ගැනත් අවධානය යොමු කරන්න.

 

සේදීම් අවම කරන්න

 

ඔබේ ඇඳුම්වල සේදීම් වාර ප්‍රමාණය අවමවන තරමට ඒ ඇඳුම්වල ගුණාත්මක භාවය රැකෙන බව දැන් නම් නොරහසක්. අපි මේ කියන්නෙ කිලිටි දුගඳ හමන ඇඳුම් අඳින්නට කියා නොවෙයි. ඇඳුම් නිතර සේදීමෙන් ඇඳුම්වල පාට වෙනස් වීම්, ප්‍රමාණය වෙනස් වීම් සිදු වෙනවා. එනිසා ඔබේ ඇඳුම් හැකිතාක් කිලිටි නොවී තබාගන්නට උත්සාහ කරන්න. ඒ අනුව ඔබට ඇඳුම් සෝදන්නට පෙර තෙවතාවක් වත් ඒ ඇඳුම අඳින්නට හැකි වේවි. මේ විදියට අවර්ණ වුණු ඩෙනිම් කාලයකට වතාවක් ඩයි එකකින් නැවත හැඩ කරගන්නටත් පුළුවන්.

 

කලකට වතාවක් Dry Clean කරන්න

සාමාන්‍යයෙන් ඔබේ ඇඳුම් ලොන්ඩ්‍රියකට යොමු කර නිතර දෙවේලේ ඩ්‍රයි ක්ලීන් කිරීමට ඇතැමුන් පුරුදු වී තිබෙනවා. මෙය මිළ අධික ක්‍රියාවක් වීම පසෙකින් තැබුවත් මේ ක්‍රියාවලියේදී ඇඳුම්වලට යොදන අධික රසායනික ප්‍රමාණය නිසා ඇඳුම්වලට සිදු වන හානිය සුළු කොට තකන්නට බැහැ. මේ නිසා බොහෝ මිලාධික ඇඳුම් ඉක්මනින් දිරාපත් වෙනවා.

 

රෙදි සේදුම්කාරක අවම කරන්න

 

අවට පරිසරයට වගේම ඔබේ ඇඳුම්වලටත් දැඩි සේ හානිකර බොහෝ රෙදි සේදුම්කාරක නිසා ඔබේ ඇඳුම් අවපැහැ ගැන්වෙනවා වගේම ඒවායේ ඇති සුවපහසු බවත් අහිමි වෙනවා. මෙයට හොඳ විකල්පයක් විදිහට ඔවුන් යොදන්නට පවසන රෙදි සේදුම්කාරක ප්‍රමාණයෙන් බාගයක් පමණක් භාවිත කර ඉතිරි අඩ සම්පූර්ණ කිරීමට කදිම සේදුම්කාරක උත්ප්‍රේරකයක් වූ බේකිං සෝඩා පාවිච්චි කරන්නට හැකියි. මේ නිසා ඔබේ ඇඳුම් පිරිසුදු කරගන්නට වගේම ඇඳුම්වලට සිදුවන හානියද අවමකරගෙන පරිසර සුරක්ෂිතතාව රකින්නටත් යම් තරමකින් හෝ දායක විය හැකියි.

 

අඳුරු පැහැ ඇඳුම්

 

ඔබ කැමතිම ඔබේ අඳුරු පැහැ ඇඳුම්වල වර්ණය වියැකී යෑමෙන් වැළැක්වීමට ඒවා නොපිට දමා රෙදි සෝදන යන්ත්‍රයට එක් කළ හැකියි. ඒ වගේම Printed T-shirt වලටත් මේ ක්‍රමයටම නොපිට දමා සේදීමෙන් ඒවායේ ඇති රූප ඉරිතැළීම හෝ ගැලවී යෑම වළක්වා ගත හැකියි.

 

සේදූ ඇඳුම්

 

සේදූ ඇඳුම් සාමාන්‍ය වියළනයක වේලනවාට වඩා හැකි තරම් මෘදු අවුවේ වේළන්නට උත්සාහයක් ගන්න. ඒ වගේම ඇදෙන සුළු ඇඳුම් හැකිතාක් දැඩි අව්වට නිරාවරණය කිරීමෙන් වළකින්න. ඒ වගේම ඇඳුම්වලට පැල්ලම් එක් කළ හැකි ආකාරයේ හැඟර්ස් යොදාගැනීමෙන් වළකින්න. ඒවගේම බැක්ටීරියා බහුලව ගැවසෙන තෙතමනය සහිත තැන්වල ඇඳුම් ​ගොඩ ගසා තැබීමෙන් වැළකීමද ඇඳුම්වල ගුණාත්මක භාවය කල්පවත්වා ගැනීමට උදව්වක් වේවි. ඒ නිසා හැකි තරම් වියළි සහ සිසිල් ස්ථානයක ඇඳුම් තබන්න. ඇඳුම් ගුලිකර අල්මාරියකට හෝ කබඩ් එකකට ඔබනවා වෙනුවට නිසි ලෙසින් නවා තබන්නට උත්සාහ කරන්න.

 

අයන් කරනවද?

 

සමහරු නම් කම්මැළි නිසා ඇඳුම් අයන් කරන්නෙ නෑ නේද? මේ විදිහට කම්මැළිකමට ස්ත්‍රික්කය පාවිච්චි නොකරන එකෙන් ඔබ නොදැන වුණත් ඇඳුම්වලට සිද්ධ වෙන්නෙ වාසියක් බව ඔබ දන්නවාද? දැඩි ලෙස රස්නයට නතු වීම නිසා ඇඳුම් ඇකිලෙන්නට ඉඩ තිබෙනවා. සාමාන්‍යයෙන් ඇඳුම් සෝදා වියළන්නට පෙර ඇඳුම හොඳින් රැලි මඟහැරෙන්නට ගැසීමෙන් ඇඳුම ස්වභාවිකවම රැලි රහිතව සැකසෙන නිසා එය ඇඳුමටත් ඔබටත් සිත් සහනයක් වේවි.

 

අන්තර්ජාලය ඇසුරිනි