වැඩියෙන් ප්‍ර වේසම් වෙන්න ඕනේ හොඳම යාළුවාගෙන්

ජූලි 17, 2023

අපට මුණගැසෙන නොයෙක් මිනිසුන් අතරෙ අවංකත්වය සොයාගැනීම තරම් දුර්ලභ කාරණාවක් තවත් නැහැ. ඉතින් ව්‍යාජ මිනිස් සබඳකම් හේතුවෙන් දිනෙන් දින පීඩාවට පත්වන මිනිසුන්, විශේෂයෙන්ම කාන්තාවන්ට නොරැවටී සිටීමට මිනිසෙකු විශ්වාස කරන්නට මත්තෙන් දැනුවත් වියයුතු මාතෘකාවක් අද ඔබ හමුවට ගෙන ඒමට මෙම මනෝඋපදේශක වරයෙකුගේ අත්දැකීම් ඇසුරෙන්. ලියවුණු සාකච්ඡාව උදව්වක් වෙතැයි සිතනවා.

මම ගාවට උපදේශන සේවය ගන්න ආව එක තරුණියකට තිබුණු ගැටලුවක් ගැන තමයි අද මම ටිකක් ඔයාලා එක්ක කතා කරන්න හිතුවෙ. මේ කතන්දරේ අඩු වැඩි වශයෙන් අපිටත් මේ ජීවිතේ එක වරක් හෝ බලපාලා තියන බව මම දන්නවා.

පහුගිය දවසක කවුන්සලින් ආව එක තරුණියක්, ඇයට තිබුණේ තාවකාලික මානසික කඩාවැටීමක්. කඩාවැටීමක් යනු මානසික රෝගයක් නොවන ඒත් මනසට වද දෙන ගැටලුවක්. ඒක සිද්ධ වෙන්න මූලික වුණ කතාව මේකයි.

ඔන්න තරුණියො දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා එකිනෙකාට ඉතාම සමීප හොඳ මිතුරියො දෙන්නෙක්. කොටින්ම එයාලා එක්කෙනෙක් තනියම කොහෙ හරි ඉන්නව දැක්කොත් කෝ අද අරයා නැද්ද කියලා කවුරුත් අහන මට්ටමක් තමා තිබුණෙ. මේ දෙන්නා අතරෙ කිසිම රහසක් තිබුණෙ නෑ. තමන් උපන්දා ඉඳන් මෙතෙක් තමන්ට සිද්ධ වුණ සියලුම රහස් දෙන්නට දෙන්නා කියාගෙන තිබුණා. සමහර රහස් වෙන කිසිම කෙනෙක් නොදන්න ඒවා. එකිනෙකාගේ යාළුකම විශ්වාස කරලා එයාලා ඒ රහස් අනිත් කෙනාට කීවෙ. ඔහොම ඉන්නකොට එක මිතුරියෙකුට පෙම්වතෙක් හම්බ වුණා. ඒත් එයාලගෙ හොඳම යාළුකමට ඒක බාධාවක් වුණේ නෑ. ඔහොම ටික දවසක් යනකොට ඒ බෝයිෆ්‍රෙන්ඩ් අපේ සුවහසක් බෝයිෆ්‍රෙන්ඩ්ලා වගේම තමන්ගෙ පෙම්වතිය එක්ක ඉන්න ගමන්ම පෙම්වතියගෙ මේ හොඳම යාළුවටත් ඇල්ම බැල්ම දාන්න පටන් ගත්තා. ඒකට කැමති නැති අර යාළුවා මේ බව තමන්ගෙ හොඳම යාළුවට කීවාම එයා තමන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් ඇහුවා මේ ගැන. ගර්ල් ෆ්‍රෙන්ඩ්ට හොරෙන් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ යාලුවා එක්කත් නාඩගම් නටන්න බලාගෙන හිටපු කොල්ල දැන් මේ චෝදනාවෙන් නම්බුකාර විදිහට ගැලවෙන්න ඕනෙ නිසා ගත් කටටම කීවා පිස්සුද සුදාම්මි මම එහෙම කරනවද ඔයාගෙ යාළු නංගි තමා මගෙ පස්සෙන් ආවෙ කියලා.. කෙල්ලො කොහොමත් තමන්ගෙ පෙම්වතාගෙ වචන දේව වාක්‍ය කරගෙන ඉන්න හින්දා ඒ මොහොතෙම ඒ බොරුව විශ්වාස කරලා කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව තමන්ගෙ හොඳම යාළුවාව අතෑරියා විතරක් නෙවෙයි තමන්ගෙ හොඳම යාළුවට හතුරුකම් කරන්නත් පටන්ගත්තා. තමන්ව ගොඩක් විශ්්වාස කරලා යාළුවා තමන් එක්ක කීව ලොකු ලොකු රහස් සේරම එයා සමාජයෙ හැමෝම එක්ක කියලා එයාට නින්දා අපහාස කරන්න ගත්තා. ඒව ගොඩක් ප්‍රබල රහස් නිසා ඒ රහස් සමාජගත වෙන එක අර යාළුවට දරාගන්න බැරි වුණා. ඇය ඒ කඩාවැටීම නිසා මානසික පීඩනයකට ලක් වෙලා තමයි උපදේශනයට යොමු වුණේ.

ඔන්න ඒ කතාව ඉවරයි. දැන් ඒ ගැන කවුන්සලර් කෙනෙක් හැටියට මගෙ හෑල්ල තමයි ඔයාලට අමාරුවෙන් හරි මීළඟට අහන් ඉන්න තියෙන්නෙ.

මිනිස්සු විදිහට අපි හැමෝටම රහස් තියනව. සාමාන්‍යයෙන් රහසක් කියලා කියන්නෙ අපි දන්න ඒත් අනිත් අය දැනගන්න ඕනෙ නැති සිද්ධියක් හෝ තොරතුරක්. ඒක එළියෙ හැමෝම දැනගත්තොත් අපට අවාසි වෙන මොකක් හරි එකක්. අපි හැමෝම දන්නව ඒ රහස් කියන ජාතිය එළියෙ අය දැනගන්න හොඳම නෑ කියලා. ඒත් ගොඩක් අයට තමන්ගෙ ජීවිතේ ලොකුම පසුතැවීම හෝ ලොකුම විනාශය වෙන්නෙ තමන්ගෙ රහස් වෙන අය දැනගන්න එක තමයි. ගොඩක් අයගෙ රහස් වෙන අය අතට යන්නෙ කාගෙවත් වරදකින් නෙවෙයි තමන්ගෙම වරදින් සහ තමන් හොඳටම විශ්වාස කරන තමන්ගෙ හොඳම යාළුවා අතින්. හොඳම යාළුවා තරම් අපේ පෞද්ගලික ජීවිතය තේරුම් ගත්ත වෙන කෙනෙක් මේ ලෝකෙ නෑනෙ. අපි එහෙමනෙ හිතන්නෙ. අපේ ජීවිත කාලෙදි විවිධ මිනිස්සු අපේ ජීවිතවලට එනවා විවිධ චරිත විදිහට. එහෙම එන ප්‍රබලම චරිතයක් තමයි හොඳම යාළුවා කියලා කියන්නෙ. හොඳම යාළුවා ඉතින් අපේ ඇඟේම කොටසක් කියලා තමයි අපි හිතන්නෙ. ඒ වගේම අපි හිතනව හොඳම යාලුවා හැමදාම අපි ගාව ඉන්නවා සහ ඒ හොඳම යාළුකම ජීවිතේ පුරාම එක විදිහටම පවතිනවා කියලා. අපි යථාර්ථය තේරුම් ගන්නෙ නැතිව හොඳටම වරද්දාගන්නා එක තැනක් තමයි ඔන්න ඕක. හොඳම යාළුවා කියලා කියන කෙනා ජීවිත කාලෙම හොඳම යාළුවා විදිහට ඉන්නව නම් ඉතින් අපිට අපේ හොඳම යාළුවා විදිහට තාම ඉන්න ඕනෙ මොන්ටිසෝරි එකේදි හම්බ වුණ හොඳම යාළුවා මිසක් වෙන කෙනෙක් නෙවෙයිනෙ. එහෙම එකක් නෑ එක එක කාලෙට එක එකා අපේ හොඳම යාළුවා කියන පදවියට පත් වෙනවා. ටිකක් හිතලා බලන්න අපට ජීවිතේ පුරාම හොඳම යාළුවො කී දෙනෙක් ඉඳලා ඇතිද.

පොඩි කාලේ අපි එක්ක සෙල්ලම් කරපු අල්ලපු ගෙදර ළමයා.

මොන්ටිසෝරියෙ අත් පටලගෙන සින්දු කිය කියා හිටපු යාළුවා.

ඉස්කෝලේ පන්තිය හොඳම යාළුවා. ඒ ලෙවල් පන්තියෙ හොඳම යාළුවා.

කැම්පස් ගියොත් ඒකෙ හොඳම යාළුවා.

රස්සාව කරන තැනදි හම්බ වෙන හොඳම යාළුවා.

මේ එක එක පියවරෙන් අනිත් පියවරට අපි එනකොට ඊට කලින් පියවරේ හිටපු හොඳම යාළුවා ඒ තනතුරෙන් හැලෙනවා. අලුතින් අඳුනගන්න තැන කෙනෙක් හොඳම යාළුවා වෙනවා. ඕක තමා බෙස්ට් ෆ්‍රෙන්ඩ් චක්‍රය. මනෝවිද්‍යාත්මකව ගත්තම හැමෝටම හොඳම යාළුවෙක් ඉන්න ඕනෙමයි. ඒක නියතයක්. බල්ලෙකුට පූසෙකුට වුණත් එහෙම තමයි. ඒත් මේ හොඳම යාළුවා කියන සම්බන්ධතාව දෙමවුපිය, දූදරු, සහෝදර සම්බන්ධය වගේ ලේ වලින් එන එකක් නෙවෙයි නිසා අපි දැනගෙන ඉන්න ඕනෙ මේ යාළුකම කොයි මොහොතකදි වුණත් නැති වෙලා යන්න පුලුවන් කියන එක. එහෙම නැති වුණාට පස්සෙ එකිනෙකා ගැන අර මුල් කාලෙ තිබුණ ආදරය හෝ ගෞරවය හෝ වගකීම හෝ අපි ගාව පවතින්නෙ නෑ. සමහර හොඳම යාළුකම් කෙලවර වෙන්නෙ ජන්මාන්තර හතුරො වෙලා. ඒ නිසා හොඳම යාලුවෙක් තියාගන්න. හොඳට ඒ මිතුරුකම පවත්වගෙන යන්න,

ඒත් කවදාවත් තමන්ගෙ අතිශය පෞද්ගලික රහස් තමන්ගෙ හොඳම යාළුවටවත් කියන්න එපා. මොකද තමන්ට රැකගන්න බැරි රහසක් වෙන කෙනෙක් රකීවි කියලා හිතන එක තරම් මෝඩකමක් නැතිව ඇති මේ ලෝකෙ තවත්. ඒ නිසා තමන්ගෙ අතිශය පෞද්ගලික රහස් තමන් එක්කම වැළලිලා යන්න දෙනව මිසක් හොඳම යාළුවට කියන්න යන්න එපා සහ තමන්ව විශ්වාස කරලා තමන්ට රහසක් කියන කෙනෙකුගෙ ඒ රහස ඒ කෙනාව අපහසුතාවට පත් කරන අදහසින් එළිදරවු කරන්නත් එපා, යාළුවෙක් තරහ වුණත් ඒ කෙනා යාළුවෙක් විදිහට හිටපු කාලෙ රැකපු විශ්වාසෙ ඒ විදිහටම රකින්න. හැමෝම එහෙම වුණ දවසට හොඳම යාළුවා කියන වචනෙට ලොකු තැනක් ලැබෙයි.

 

 

උපදෙස්

ශ්‍රී ලංකා වෘත්තීය මනෝ උපදේශකවරුන්ගේ සංගමයේ සාමාජික, මනෝ උපදේශක ; ධනුෂ්ක කාංචන ජයවීර මහතා