නදීෂලා තායිලන්තයේ දී වැඩ පෙන්වයි

හෙල්ල විසි කරන අපේ යකඩ කෙල්ල නදීෂා
ආසියාවේම තුන්වැනි තැනට
ජූලි 17, 2023

හෙල්ල විසි කිරීමේ ජාතික වාර්තාවට හිමිකම් කියූ නදීකා ලක්මාලිගේ දිගු කාලීන වාර්තාව බිඳ දැමූවේ නදීෂා දිල්හානි ලේකම්ගේය. ඇය මෙවර ආසියානු මලල ක්‍රීඩා තරගයට එක් වූයේ පදක්කමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. එම අපේක්ෂාව මල් ඵල දරමින් ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට ඇයට හැකි විය. මීටර් 60.94ක ජාතික වාර්තාවක් තැබූ නදීෂා තායිලන්තයේ පැවැති තරගයේදී මීටර් 60.93ක වාර්තාවක් තැබීමට සමත් විය.

තරගය නිමවීමෙන් පසු ජයග්‍රහණය ගැන සතුට ඵලකරමින් නදීෂා තායිලන්තයේ සිට තරුණිට අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය තායිලන්තයේ පතායා නුවරදී 12 වැනිදා තමයි ආරම්භ වුණේ. මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 13 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වෙනවා. තරගාවලියේ මූලික තරගයක් ලෙස 12 වැනිදා හෙල්ල විසි කිරීම කාන්තා තරගයට මම ඊයේ සහභාගී වුණා. මේ තරගයේදී මම තැබූ ජාතික වාර්තාව බිඳින්න බැරි වුණා. නමුත් හොඳ තරගයක් ලබා දෙමින් ලෝකඩ පදක්කම දිනා ගන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම මගේ උපරිම දක්ෂතාවය දැක්වීමට නොහැකි වුණත් පදක්කමක් ලබා ගැනීමට හැකිවීම සතුටුයි. අපි කණ්ඩායමක් ලෙස අපේ උපරිම දක්ෂතාවය පෙන්වීමට උත්සහ කරනවා. මේ තරග මාලාව ජූලි 16 වැනිදා දක්වා පතායා නගරයේදී පැවැත්වෙනවා. වසර දෙකකට පසුව තමයි මේ තරගාවලිය මෙලෙස සංවිධානය කරනු ලබන්නේ. ඒ නිසා හොඳ තරඟයක් ලබා දෙමින් ප්‍රබල රටවල් සමඟ තරගකරමින් හොඳ අත්දැකීමක් ලබා ගන්නත් අවස්ථාවක් ලැබෙනවා.”

හෙල්ල විසි කිරීමේ තරගයට ඉදිරිපත් වන නදීෂා දිල්හානිට අමතරව සහය දිවීමේ තරගය, මීටර් 400, මීටර් 800 කාන්තා, මීටර් 1500 කාන්තා, මීටර් 400 කාන්තා යන ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වනු ඇත. මේ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන, රජිත රාජකරුණා, කාලිංග කුමාරගේ, පසිඳු කොඩිකාර, පබසර නිතූ, ගයන්තිකා අබේරත්න, රන්දි කුරේ, සාරංගි සිල්වා, නදීෂා රාමනායක, තරුෂි කරුණාරත්න, නිශේන්ද්‍ර ප්‍රනාන්දු, සයුරංග මෙන්ඩිස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටිති.

නදීෂා ලේකම්ගේ ජයග්‍රහණයේ උණුසුම මැකී යන්නටත් පෙර අපට රන් පදක්කමක විශිෂ්ඨ ජයග්‍රහණයක් ගැන අසන්නට ලැබෙන්නේ පෙබරවාරි 13 දාය. ඒ නදීෂා රාමනායක මීටර් 400 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමයි. වසර 14කට පසුව ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් මෙලෙස ආසියානු ශූරතා තරගාවලියකදී රන් පදක්කමක් දිනා ගැනීම සුවිශේෂී සිද්ධියකි.

තත්පර 52.61ක කාලයකින් තරගය නිමා කරමින් ඇය මේ ජයග්‍රහණය හිමිකර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය වැඩි කිරීමට සමත්ව තිබේ. වයස අවුරුදු 29ක් වන නදීෂා මේ තරග ජයග්‍රහණය කිරීමත් සමඟ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ ඇති අතර ඇය මේ ජයග්‍රහණය ලබා ඇත්තේ ආසියාවේ ප්‍රබල රටවල් රැසක දක්ෂතම ක්‍රීඩිකාවන් 7 දෙනකු පරාජය කරමිනි.

වසර 2000 ජකර්තා නුවර පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 කාන්තා ඉසව්වෙන් නව ආසියානු වාර්තාව පිහිටුවීමට අවසන් වරට හිමිකම් කියන්නේ දමයන්ති දර්ශාය. තත්පර 51.5 කාලයකින් ඇය එම ජයග්‍රහණ වාර්තාව බා තිබෙන අතර එය බිඳ දැමීමට කිසිවකුත් සමත්ව නැතිවීම ද කැපී පෙනෙන සිදු වීමකි. වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රීඩා පිටියට පිවිසි නදීෂා ඉතා කෙටි කාලයක් තුළ ඇයගේ දස්කම් පෙන්වමින් ඉදිරියට පැමිණීම අනාගතය පිළිබඳ සුබ ලකුණකි. ඇය තැබූ මේ වාර්තාව මෙතෙක් ඇය තැබූ හොඳම වාර්තාව බව ද ඇයගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ජී.එම්. තුෂාර මහතා ප්‍රකාශ කළේ මහත් සතුටිනි.