රන් දඩයම ඇරැඹෙයි

වසර 25 පසු ශ්‍රී ලංකාවට පදක්කම් වැස්සක්
ජූලි 24, 2023

නදීෂා රාමනායක රන් පදක්කම දිනා ගත්තේ තත්ත්පර 53.06 කාලයක් සටහන් කරමිනි.

 

අපි නැවතත් ලෝකය ඉදිරියේ විරාජමානව නැඟී සිටිමු. නැවත වරක් මේ පුංචි දිවයිනේ දක්ෂයන්ගේ විස්කම් විකසිත කරන විට ඇති වන්නේ අප්‍රමාණ වූ අභිමානයකි. මීට වසර කිහිපයකට පෙර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකේය නාමය රැන්දූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් විය. ඔවුන් දැක් වූ දස්කම් නිසාම ඔලිම්පික් තරගාවලියේදී පවා ශ්‍රී ලාංකේය නාමය රන් අකුරින් සටහන් විය.

පසුගියදා තායිලන්තයේ පතායා නුවරදී නිමාවට පත් වූ ආසියා මලල ක්‍රීඩා තරග මාලාව ද අපේ දක්ෂයන්ගේ හැකියාවෙන් පදක්කම් වැස්සක් හැලුනේ මුළු පතායා ක්‍රීඩාංගණයම මවිත කරමිනි. එම තරගාවලියේදී පදක්කම් අටක් දිනූ අප කණ්ඩායම ආසියාවේ සිවුවැනි ස්ථානයට පත්වීම ඓතිහාසික ජයග්‍රහණයකි. වසර 25කට පසුව අප රට ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී මෙතෙක් ලැබූ ඉහළම ස්ථානය අත්කර ගැනීම අනාගතය පිළිබඳ සුබ ලකුණු පෙන්වන්නකි.

දින කිහිපයකට පෙර (ජූලි 16දා) අවසන් වූ මේ තරගාවලියේදී අප කණ්ඩායම රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ තරගාවලියට සහභාගී වෙමිනි. අප රට මීට පෙර වැඩිම පදක්කම් දිනාගත් වසර ලෙස සටහන් වන්නේ 2007 ය. අම්මාන් නුවරදී පැවති 17 වැනි එම ආසියානු තරගාවලියේදී රන් පදක්කම් තුනක් ඇතුළුව මුළු පදක්කම් හතක් හිමිකර ගත් එම වසරේදී ලංකාවට හිමිවූයේ හත්වැනි ස්ථානයයි.

එහෙත් පසුගියදා නිමාවට පත් වූ තරගාවලියේදී වසර 50ක අතීතයක් ගෙවී මේ ආසියානු තරගාවලියේ ඉහළම පදක්කම් ගණනක් දිනා ගැනීමට සමත් විය. මෙවර මේ තරගාවලියේදී රටවල් 17ක් පදක්කම් හිමිකර ගත්තත් රන් පදක්කමක් දිනා ගැනීමට හැකියාව ලැබුණේ ශ්‍රී ලංකාව ඇතුළුව තවත් රටවල් 13කට පමණකි.

ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටින ඉන්දියාව මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 56 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සහභාගීවෙමින් තරගාවලියේ තෙවන ස්ථානයට පත්වූයේ රන් පදක්කම් 6ක් රිදී පදක්කම් 12ක් හා ලෝකඩ පදක්කම් නවයක් ලෙස පදක්කම් 27ක් හිමිකර ගනිමිනි. මේ තරගාවලියට පෙර 2019 වසරේදී කටාර් හි පැවැති තරගමාලාව සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ ඉහළම ප්‍රගතියක් අත්කර ගැනීම කැපී පෙනෙන සිදුවීමකි. එම තරගමාලාවේදී ලෝකඩ පදක්කම් දෙකකට පමණක් සීමා වෙමින් කටාර් තරගාවලියේදී ලංකාවට හිමි වූයේ 17 වැනි ස්ථානයයි.

මෙවර තරගාවලියේ තවත් කැපී පෙනෙන සිදුවීමක් වූයේ දකුණු ආසියාවේම රටවල් අතුරින් පාකිස්ථානයට එක් ලෝකඩ පදක්කමක් හැර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පමණක් පදක්කම් දිනා ගැනීම අප රටට විශාල ආඩම්බරයකි. මෙහිදී රන් පදක්කම් 16ක්ද, රිදී පදක්කම් 11ක්, ලෝකඩ පදක්කම් 10ක් දිනාගනිමින් සමස්ථ තරගාවලියේම ශූරතාවය දිනා ගැනීමට ජපානය සමත් විය. එසේම මෙවර අප රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු ශූරතා වාර්තා දෙකක් අලුත් කිරීම ද අපගේ ජයග්‍රහණයන් ඉහළ නැංවීමට හේතු විය.

මෙහිදී රන් පදක්කම් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් මීටර් 400 කාන්තා ඉනිම නියෝජනය කළ නදීෂා රාමනායක රන් පදක්කම දිනා ගත්තේ තත්ත්පර 53.06 කාලයක් සටහන් කරමිනි. තවද කාන්තා මීටර් 800 තරගයට එක් වූ තරුෂි කරුණාරත්න ද මෙවර රන් පදක්කමට හිමිකම් කියන්නට සමත්වීම කාගේත් අවධානය දිනා ගත් සිදුවීමකි. මේ රන් දක්කම් දෙකට අමතරව ශ්‍රී ලංකා පිරිමි සහය දිවීමේ කණ්ඩායම මීටර් 400 ය 4 තරගය ජයග්‍රහණය කළේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගිනි. එම තරගය ජයග්‍රහණය සඳහා කාලිංග කුමාරගේ, අනුර දර්ශණ, පබසර නිලූක, රංජිත් රාජකරුණා එක් වූ අතර එහිදී ශ්‍රී ලංකා පැරැණි වාර්තාව වූ තත්ත්පර 3.02. 50 කාලය 3.01.56කින් නිම කිරීමට සමත් විය.