ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය

අගෝස්තු 14, 2023

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා භූමිකාව තවමත් අවම මට්ටමක පවතියි. අවසන් සංගණනයට අනුව මෙරට ජන සංඛ්‍යාවෙන් 51.6%ක් කාන්තාවන් ය. 48.8%ක් පිරිමින් ය. එසේ වුව ද නිදහස ලබා ගැනීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තුවේ 102ක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටියේ 03ක් පමණි. වර්තමාන පාර්ලිමේන්තුවේ 225න් 12කි. 2016 වර්ෂයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්ය වන ආකාරයට නීතිමය විධිවිධාන සකස් කරන ලදී. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක් සඳහා 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නීති සම්මත විය. කාන්තා නියෝජනය අනිවාර්ය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතිය මෙය වේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිම සඳහාත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරිම සඳහාත් කාන්තාවන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ආයතන නියෝජනය කිරිම සඳහා පෙරට පැමිණීම කාලීන අවශ්‍යතාවයකි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය සහ දිරිමත් කිරීම අරමුණු කරගත් ලිපි මාලාවක සයවැන්නයි මේ.

මෙරට කාන්තා දේශපාලනය තුළ නොමැකෙන සටහන් සහ වාර්තා තැබූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතයෙන් අද දේශපාලනයේ නිරත කාන්තාවන්ට ගත හැකි ආදර්ශ බොහොමයක් තිබේ. ඇය මෙරට පමණක් නොව ලෝකයේම ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වශයෙන් දේශීය හා විදේශීයව සිය නම දේශපාලනය තුළ සනිටුහන් කළාය. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වශයෙන් ඇය ලැබූ එම ජයග්‍රහණය ළඟා කරගත්තේ දැවැන්ත අභියෝග රැසකට මුහුණ දෙමිනි. සැමියා අහිමි බිරියක් ලෙස දේශපාලන පොර පිටියට පිවිසි ඇය මුහුණ දුන් අභියෝග අතිවිශාලය.

බලංගොඩ මහවලතැන්නේ බාන්ස් රත්වත්තේ රටේ මහතා සහ කුමාරිහාමි යන දෙදෙනා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආදරණීය මවුපියන්ය. ඇය උපන්නේ 1916 අප්‍රේල් මාසයේ 17 වැනිදාය. එකල සබරගමු පළාතේ ධනවත් පවුලක් වශයෙන් ප්‍රකටව සිටි ඇගේ මවුපියන් ආගම දහමට ලැදි සමාජයේ ගරු බුහුමනට පාත්‍ර වූ පවුලක් විය. එවැනි පවුල් පරිසරයක හැදී වැඩුණ ඇය කුඩා කල සිටම මවුපිය උරුමයෙන් ලද උතුම් ගුණාංගවලින් පරිපුර්ණ වූවාය.

ඇයගේ මව අක්ෂි වෛද්‍යවරියක් වූ බැවින් පාසල් නිවාඩු කාලයේ හැකි සෑම අවස්ථාවකම රෝගී ජනතාවට උපකාර කිරීමට ඇය කටයුතු කළාය. සිය ගම් ප්‍රදේශයේ සමාජ සේවා සංගමයක් පිහිටුවා ගන්නා ඇය ප්‍රදේශයේ වෙසෙන රෝගී ජනතාව වෙනුවෙන් ඇස් වෙද රෝහලක් ස්ථාපිත කරන්නේ ඉන් අනතුරුවයි. මේ සඳහා අවශ්‍ය මුදල් සොයාගත්තේ ඇයම නිෂ්පාදනය කරන ලද නාට්‍යයක් ප්‍රදර්ශනය කරමිනි. එවකට පළාත් පාලන ඇමතිවරයා වශයෙන් කටයුතු කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා රාජකාරී කටයුත්තකට එම ප්‍රදේශය හරහා ගමන් කළ අවස්ථාවකදී මෙම ඇස් රෝහලට ද පැමිණියේය. මෙසේ හමු වූ එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ ඇය අතර විවාහය 1940 ඔක්තෝබර් මස 03 වැනි දින සිදුවන අතර ඉන් අනතුරුව ඇය දරුවන් තිදෙනකුට මවක් ද වෙමින් සිය ආදරණීය සැමියාගේ දේශපාලන දිවියට අත්වැලක් වූවාය.

බණ්ඩාරනායක මැතිතුමා විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩකටයුතු සහ ඒ වෙනුවෙන් දියත් කළ ජනතා සටන සඳහා ඇය ලබාදුන්නේ විශාල දායකත්වයකි. සැමියාගේ ආසනය වූ අත්තනගල්ලේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඇයගේ සහාය ලබාදුන්නාය. 1959 සැප්තැම්බර් මස 26 වැනිදා බණ්ඩාරනායක මැතිතුමාව ඝාතනයට ලක්වීමත් සමඟ ඇය මවක් බිරියක් වශයෙන් ඉතා අසරණ අසීරු තත්ත්වයකට මුහුණ දුන්නාය. නමුත් ඒ සියලු අභියෝග මධ්‍යයේ වුව සැමියාගේ ඝාතනයෙන් අසරණ වූ ජනතාව වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතය කැප කරමින් පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වන්නට ඇය තීරණය කළාය. සිය සැමියා ආරම්භ කළ පක්ෂයේ නායකත්වය 1960 මැයි මාසයේ දී ඇය විසින් භාරගන්නා ලදී. පක්ෂ නායකත්වය ලබා කෙටි කාලයක් තුළ ඇය 1960 ජූලි මාසයේ පැවැති මහමැතිවරණය ජයග්‍රහණය කරමින් මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දුන්නේ ලොව ප්‍රථම අගමැතිනිය වශයෙන් ද දේශපාලනය තුළ නොමැකෙන වාර්තාවක් සනිටුහන් කරමිනි.

ඇය සිදුකළ කාර්යභාරයන් අතර 1972 දී ඇය විසින් සිදුකළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය අධ්‍යාපනය සේම වෘත්තීය අධ්‍යාපන අවස්ථාවන් පුළුල් විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1974 දී ලංකා ජර්මන් කාර්මික විද්‍යාලය, 1972 දී කටුබැද්ද කාර්මික විද්‍යාලය, 1974 දී යාපනයේ විශ්ව විද්‍යාලයත් ආරම්භ කළාය.

ඇය රාජ්‍ය නායිකාව වශයෙන් ගනු ලැබූ තීරණ අතර ඇගේ විදෙස් ප්‍රතිපත්තිය ඉතා වැදගත් විය. ඇය අනුගමනය කළ නොබැඳි විදෙස් පිළිවෙත නිසා ඉතා සුළු කාලයක් තුළ තුන්වැනි ලෝකයේ රටවල් අතුරින් ප්‍රබල දේශපාලන නායිකාවක් බවට ඇය පත්වූවාය. 1961 බෙල්ග්‍රේඩ්, 1964 කයිරෝ, 1979 ලුසාකා, 1973 ඇල්ජියර්ස් යන නගරවල පැවැති නොබැඳි සමුළුවල දී ඇය පෙන්නුම් කළ විශිෂ්ට නායකත්වය නිසා 1976 අගෝස්තු මස මෙරට දී පැවැති නොබැඳි සමුළුවේදී සමස්ත ලෝකයේ විශිෂ්ටතම රාජ්‍ය නායිකාවක් වශයෙන් නොබැඳි සමුළුවේ නායකත්වයට ඇය පත්වූවාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ආනයන ආදේශන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඇය කටයුතු කළාය. 1960ට පෙර මෙරට පැවැති මුලික නිෂ්පාදන හා අපනයන සැකසුම් කර්මාන්ත වෙනුවට කාර්මික ව්‍යාපාර ආරම්භ කිරීමට මුලිකත්වය ගත්තේ ඇයයි. ඒවා දියුණු කිරීමේ අරමුණින් පිටරටින් ගෙන්වන නිෂ්පාදන අවම කළාය. දේශීය කර්මාන්ත දියුණු කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රජය විසින් ගෙන්වූවාය. මේ හේතුවෙන් 1970 වනවිට රජයේ අනුග්‍රහය ඇතුව මහා පරිමාණ කර්මාන්ත ශාලා 24කට ආසන්න ප්‍රමාණයක් ඇති කරන්නට ඇය සමත් වූවාය.

ඒ වගේම බැංකු, සංස්ථා ආයතන වශයෙන් විවිධ විෂයික ආයතන පිහිටුවමින් මෙරට ආර්ථිකය ඉහළ නැංවීමටත්, රැකියා ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමටත් කටයුතු කළාය. ඉඩම් ප්‍රතිසංස්කරණ පනත, කම්කරු පනත වැනි පනත් බලාත්මක කළාය. පසළොස්වක පොහොය මුල්වරට රජයේ නිවාඩු දිනයක් කළේත්, අනුරාධපුර, කතරගම, මහියංගනය පූජා නගර බවට පත් කළේත් ඇයයි.

අමාත්‍යවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයෙක් ලෙස ජනතාවට සේවය කළ සිය සැමියාගේ ක්‍රියාකාරී දේශපාලනය පිළිබඳව මනා අවබෝධයකින් දේශපාලනයට අවතීර්ණ වුවත් ඇයට මුහුණ දෙන්නට සිදුවුණු අභියෝග සුළුපටු නොවීය. නවයුගයක් ජනතාවට උදාකරලීමේ අරමුණු ඇතුව අග්‍රාමාත්‍ය ධුරය භාර ගත්ත ද ඇයට විරුද්ධව ක්‍රියාත්මක වුණු බලවේගවල අඩුවක් නොවීය. ඇය දේශපාලනයට පිවිසි මුල්ම කාලේ එනම් 1962 දී පළමු දේශපාලන කුමන්ත්‍රණයට මුහුණ දෙන්නට ඇයට සිදුවිය. 1964 දෙසැම්බර් මස 04වැනි දා ඇයගේ රජයේ රාජාසන කතාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. 1971 අප්‍රේල් කැරැල්ලට මුහුණ දීමට ඇයට සිදුවිය. මේ හැම අභියෝගයකටම ඇය නොබියව මුහුණ දුන්නාය. 1980 දී ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි වීම සහ පාර්ලිමේන්තුව තහනම් වීම වැනි අතිශය කටුක දේශපාලන අභියෝගවලට ද ඇයට මුහුණ දෙන්නට විය. ඒ සියලු අභියෝග මැද වුව ඇය මෙරට පාර්ලිමේන්තුව තුළ තෙවරක්ම අග්‍රාමාත්‍ය පදවියට පත් එකම කාන්තා නියෝජිතවරිය වූවාය.

මෙරට ප්‍රගතිශීලි බලවේගයේ නායිකාව වශයෙන් ඇය රටේත් මහජනතාවගේත් සුබසිද්ධිය වෙනුවෙන් තම ජීවිතයම කැප කළාය. ඇගේ ආදරණීය දරුවන් තිදෙනා වූ සුනේත්‍රා, චන්ද්‍රිකා සහ අනුර අතුරින් චන්ද්‍රිකා මැතිනිය ඇය ගමන් කළ මඟ යමින් මෙරට දේශපාලනය තුළ සිය නම සනිටුහන් කළේ මෙරට ප්‍රථම කාන්තා ජනාධිපතිනිය වශයෙනි. අනුර බණ්ඩාරනායක ද මවුපිය ගමන් මඟ යමින් කථානායක ධුරය දැරූ මෙරට දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූයේය.

ශ්‍රී ලංකාවේ ඕනෑම කාන්තාවකගේ නමට පසුව “මැතිනිය“ යන වචනය භාවිත කළ හැකි අතර ඉන් එම කාන්තාව හඳුනා ගැනීමට ඉඩ ලැබේ. එසේ වුවද ‘මැතිනිය“ යන වචනය තනිව භාවිත කළ විට ඉන් අදහස් වන්නේ සිරිමා‍වෝ බණ්ඩාරනායක මැතිනියයි. ශ්‍රී ලාංකීය ජනතාවට හැමදාම ඇය මැතිනිය වූ අතර එය ඔවුන් ඇය හැඳින්වූ ආදරණීය නාමය විය.

දශක හතරක කාලයක් මුළුල්ලේ දෙස් විදෙස් දේශපාලනය තුළ විශිෂ්ට ගෞරවයක් ලබාගනිමින් ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 2000 ඔක්තෝබර් මස 10 වැනිදා සිය දිවියෙන් සමුගත් නමුත් ඇය ලාංකේය දේශපාලනය තුළ තැබූ සලකුණ සදාතනිකය.