නැතිවෙන්නම වැටුණු වෙලාවේ මම ආයෙත් නැඟිට්ටා

ඇඳුම් නිර්මාණ ශිල්පිනී ව්‍යවසායිකා එරංජනා ජයවර්ධන
අගෝස්තු 14, 2023

සුන්දර රුවක් ඇත කාන්තාවක් මා ඉඳිරිපිට. ඇය නමින් රංජනා ජයවර්ධන. ඇගේ අතින් නිමවන සළුපිලි ඇගේ නමින් ලෝකයටම බෙදා හරිද්දි ඒ කතාව ඇයගෙන්ම ඇසිය යුතුමය.

ව්‍යවසායිකාවක් ලෙස කුඩාම අඩියෙන් ඇරැඹි ගමන මහා කඳු මුදුණක් තෙක් ගමන් කළ ආකාරය ඇයගෙන්ම අසා දැන ගත යුතුමය.

එකකට එකක් බාදක මැද ඈ පැමිණි රමණීය ගමන ඈ නිර්මාණය කරන විචිත්‍රත්වයේ නිමැවුම් තරමටම සුන්දර නොමැති බව මේ කතාව ඔබට පසක් කරනු ඇත. එන්න මමත් ඔබත් අපි දෙදෙනාම එක්ව අපි දෙදෙනාම ඇගේ ජයග්‍රහණයේ පෙළ ගැස්ම අහමු. ඇය එරංජනා ජයවර්ධන.

 

එංන්ජනා ජයවර්ධන කියන්නේ කවුද?

 

මම වෘත්තියෙන් ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. හැදෑරිමක් කරලා ක්ෂේත්‍රයට ආපු කෙනෙක්. මේ වෙද්දි Era නමින් මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. මධ්‍යම පැලැන්තියට වගේම ඉහළ පැලැන්තියටත් මගේ අතින් ඇඳුම් නිර්මාණය වෙනවා.

මගේ පවුලේ ඉන්නේ අම්මයි, මල්ලි. තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. ඉගෙන ගත්තේ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් සහ ක්ලිෆ්ටන් බාලිකාවෙන්. ජීව විද්‍යාව සහ කලා යන අංශ දෙකෙන්ම උසස් පෙළ හදාරලා තියෙනවා. මේ වෙද්දි ෆැෂන් ඩිසයිනින් සහ මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා දෙකක් මට තියෙනවා.

 

ඔබේ ගමනේ ආරම්භය කොතැන ද?

 

ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට මගේ වෘත්තිය පටන්ගන්න කිසිම අදහසක් තිබුණේ නැහැ. ෆයිනෑන්සින් කම්පැණි එකේ වැඩ කරන අතරතුරේ මම ඩ්‍රෙස් මේකින් කෝස් එකකුත් කළා. කොහොමත් මට ෆැෂන් සෙන්ස් එකක් තිබුණා. මම කොහේ ගියත් ගලපලා තමයි අඳින්නේ. වෙන කෙනෙක්ට වුණත් මේක කැතයි, දැන් ට්‍රෙන්ඩ් එකට ගැළපෙන විදිහට අඳිමු කියලා කියන්න ෆැෂන් සෙන්ස් එකක් මට තිබුණා. මගේ පුංචි ඇඳුම් මහනවා. එයා මහන ඇඳුම්වලත් ගැළපෙන නොගැළපෙන දේවල් කියන්න මට හැකියාවක් තිබුණා. ඉතිං එයා කිව්වා මට ඒ හැකියාව තියෙන නිසා ඩ්‍රෙස් ඩිසයිනින් කෝස් එකක් කරන්න කියලා. අවුරුදු 19 දි තමයි මම කෝස් එක කළේ. ඒ කාලේ ඩ්‍රෙස් ඩිසයිනර්ලව ටච් කරලා තිබුණේ හයි ක්ලාස් අය විතරයි. මිඩ්ල් ක්ලාස් එකට ඇඳුමක් නිර්මාණය කරන්න කවුරුත් හිටියේ නැහැ. ඉතිං ඒ අයටත් හරියන්න මගේම ව්‍යාපාරයක් කරගෙන යන්න හිතුවා.

 

ඇයි ඔබේ බ්‍රෑන්ඩ් එක Era නමින් කරගෙන යන්න හිතුවේ..?

 

මම කවදාවත් හඳහන් බලල.. ගණ පිහිටවලා නම දැම්මේ නැහැ. මගේ නම එරංජනා. මට හිතුනා මගේ නම තුළම විශ්මිත දෙයක් තියෙනවා කියලා. ඒ නිසා මම හිතුවා මගේ නමේ මුල් කොටසින්ම බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. නමුත් මේ වගේ ලෙවල් එකකට එන්න ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. බොහොම අඩු මුදලකින් තාත්තගෙ තැනක තාත්තා අරන් දීපු බඩුවලින් තමයි මම මේ ගමන පටන් ගත්තේ.

 

මුලින්ම ඇඳුමක් මැහුවේ කාට ද?

 

මුලින්ම මම මනාලියන් දෙදෙනකුට ඇඳුම් නිර්මාණය කළා. ඇඳුම් නිර්මාණ ශිල්පයට මගේ ඇති පළපුරුද්දවත් බලන්නේ නැතුව ඔවුන්ගේ ඇඳුම් නිර්මාණය කරන්න මට දුන්නේ විශ්වාසයක් ඇතුවයි.  ඉතින් ඒ දෙන්නව මම හරි ආදරයෙන් මතක් කරනවා. අවුරුදු දෙකක් ඒ විදිහට නිහඬ ගමනක් ගෙනි යද්දි සෝෂල් මිඩියාවලින් මට ලොකු ප්‍රසිද්ධියක් ලැබෙන්න ගත්තා. ඒ සමාජයේ කෑපී පෙනෙන චරිතවලට ඇඳුම් නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණු නිසා. මාධවී ඇන්තනී, නිරෝෂා විරාජිනී, සචිනි නිපුන්සලා වැනි අයට ඇඳුම් නිර්මාණය කළා.

 

මේ Era බ්‍රෑන්ඩ් එක තියෙන්නේ කා වෙනුවෙන් ද?

 

මධ්‍යම සහ ඉහළ පාන්තිකයන්ට Era බ්‍රෑන්ඩ් එක විවෘතයි. පාටි වෙයා සහ බ්‍රයිඩ්ල් වෙයා තමයි මම මූලික වශයෙන් කරන්නේ. ඒ වගේම විශේෂ අවස්ථාවන්ටත් ඇඳුම් නිර්මාණය කරනවා.

 

මේ බ්‍රෑන්ඩ් එක හදා ගන්න ගත් මහන්සිය කොහොම ද?

 

බ්‍රෑන්ඩ් එකක් හොඳට තියාගන්න බලපාන දේවල් කීපයක් තියෙනවා. කොලිටි එක, රීසනබල් එක, අද වෙනකන් මගේ බ්‍රෑන්ඩ් එකට නරක නමක් ගෑවිලා නැහැ. මට ඕනෙ වුණෙත් ඒක. අවුරුදු ගාණකට කලින් කෙනෙක් මගෙන් ඇඳුමක් අරන් ගියානම් අද එයා ගන්න ඇඳුම ඊට වඩා කොලිටි එකට දෙන්නයි මට ඕනෙ. මම හරිම හෙමින් ගමනක් ආපු කෙනෙක්. ඒ ආපු ගමනේදී  මම මගේ පුංචි එක්ක තනියම වැඩ කළා. ඊට පස්සේ තමයි ඩ්‍රෙස් මේකර්ස්ලා කටර්ස්ලා හයර් කළේ.

තාත්තා නැති වුණේ මීට අවුරුදු දෙකකට කලින් කොවිඩ් වලින්. මට හිටපු එකම හයිය එයා. ජීවිතය ගෙනි යද්දි එක එක තීරණ අපි ගන්නවා. ඉතිං මං ගත්ත වැරදි තීරණයක් අරගෙන මානසිකව වැටිලා ඉන්න වෙලාවේ තමයි තාත්තත් නැති වුණේ. ඒ සියලු දේ එක්ක මගේ ආර්ථික මට්ටමත් කඩා වැටෙනවා. එතකොට මගෙ ෂොප් එකේ හිටපු සේවකයන් පවා මගෙන් අයින් වුණා. එයාලා මාව අතහැරලා ගියේ මගේ ව්‍යාපාරය ඉහළම තැනක තියෙන වෙලාවක. ඉතින් මං සෑහෙන අසරන වුණා. මට හිතුනා හෙටින් පස්සේ Era බ්‍රෑන්ඩ් එක ඉවරයි කියලා. ඉතින් මාස තුනක කාලයක් මං නිෂ්ශ්බ්ධව හිටියා. මානසිකව වැටිලා හිටපු කාලයක් ඒක. ඉවසලා ඉවසලා ඉවසන්න බැරිම කාලයක් එනවා. ඒ කාලේ තමයි ඉවසන්න ඕනෙම කාලය. පස්සේ මම මගේ වටිනාකම හඳුනා ගත්තා. මට හිතුනා මම මේක කොහොම හරි කරගෙන යන්න ඕනේ කියලා. තනියම තමයි නැවත මම නැගිට්ටේ. අදටත් කවුරු නැති වුණත් මට මේ දේ කරන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා.

මේ ගමනේදී කැපිලි කෙටිලිත් හමුවෙන්න ඇති..

 

ඇත්තටම මම බොහොම හෙමින් සාධාරණ විදිහට මේ ක්ෂේත්‍රය තුළ ගමනක් යන කෙනෙක්. ඉතිං ක්ෂේත්‍රයේ ඉහළින් ඉන්න අයව වගේම ක්ෂේත්‍රයට අලුතින් එන අයව පාගගෙන යන්න හදන කෙනෙක් නෙවෙයි. මම නිහඬව වෙනම ගමනක් යන කෙනෙක්..  ඒ නිසා මට බාධක කැපිලි කෙටිලි හරිම අඩුයි. පුද්ගලික ජීවිතය තුළදී යම් යම් ගැටලු හමුවෙන්න පුළුවන්. නමුත් ඒවා අපි කාටත් තියෙන පොදු සාමාන්‍ය දේවල්.

 

අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

 

මීට අවුරුදු 7කට කලින් මම හිටපු තැනයි අද මම ඉන්න තැනයි බලද්දි මම ගැන මට ලොකු සතුටක් දැනෙනවා. හැබැයි මට හැමතිස්සෙම තියෙන්නේ මම තව ලොකු දුරක් යන්න ඕනෙ කියන හීනය. මේක මල් පිරුණ පාරක ආපු ගමනක් නෙවෙයි. හැමෝටම වගේ මටත් හැලහැප්පීම් තිබුණා. ඒත් පහුගිය අවුරුදු හතේ ඉඳන් අද වෙනකල් මම ප්‍රමුඛත්වය දුන්නේ මගේ ව්‍යාපාරයට. මම මේ තැනට ආවේ මගේ තනි මහන්සියෙන්. මම වෙනුවෙන් වෙන කෙනෙක් පෙනී සිටියේ නැහැ. මම වෙනුවෙන් මම පෙනී හිටියා.

මම දැන් මූල්‍යමය අතින් ස්වාධීනයි. ඉතිං මට පුළුවන් කාටවත් බරක් නොවී ජීවත් වෙන්න. ඒත් ස්වාධීන ගැහැනියකට වගකීම් වැඩියි. හැබැයි ඒ ස්වාධීනත්වයට පුළුවන් ගැහැනියව ඉහළම තැනට ගෙනියන්න.

 

ඉදිරි සැලසුම් මොනවා ද?

 

මගේ ෂොප් එක තියෙන්නේ වත්තල. මාව හොයාගෙන විවිධ ප්‍රදේශවලින් බොහෝ අය එනවා. ඉතිං ඒ් අයටත් පහසු වෙන්න මම හිතුවා ගම්පහ සහ කොළඹ ශාඛා දෙකක් විවෘත කරන්න. ඉතිං ඉදිරියේදී ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. වැඩ කරන්න පුළුවන් කාලේ වැඩ කළොත් ඉතුරු කාලෙදි ඒ මහන්සියේ ප්‍රතිඵල සතුටින් භුක්ති විඳන්න පුළුවන්.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර