කටු පඳුරකින් උපන් මල් ඔටුන්න

හරියට මෙට්ටයක් නැතුව උස පැන ජාතික ක්‍රීඩා උලෙළේ රන් පදක්කමක් දිනූ පුංචි කෙල්ල
සැප්තැම්බර් 25, 2023

මෙවර ජාතික ක්‍රීඩා උලෙළ කාටත් හොරා අවසන් විය. ජාතික ක්‍රීඩා උලෙළක් අවසන් වනවිට බොහෝ විට නව වාර්තාවන් ගැන අපට අසන්නට ලැබෙයි. මෙවර එවැනි වාර්තා ගැන මාධ්‍ය ඔස්සේ අසන්නට නොලැබුණි. එහෙත් මෙවර ජාතික ක්‍රීඩා උලෙළේ දී රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වූයේ වයඹ පළාතේ ළාබල ක්‍රීඩිකාවකටය.

සමස්ත තරගාවලියේම ළාබාලතම ක්‍රීඩිකාව බවට පත් වූ ඇයට වයස අවුරුදු දහසයකි. උස පැනීමේ ක්‍රීඩා තරගයෙන් ජයග්‍රහණය කළ ඇය කෂ්මිතා ටිමේෂි ජයරත්න. කුරුණෑගල ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන කෂ්මිතා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවකි. කුරුණෑගල, ගුරුලෑපොළ ප්‍රදේශයේ පදිංචි ඇය ක්‍රීඩාවට උපන් හපන්කම් දක්වන ක්‍රීඩිකාවක ලෙසින් මීට පෙර ද ජයග්‍රහණ රැසක් ලබා තිබේ. මෙම තරගයට පෙර වසර තුනක්ම ජාතික පාසල් ක්‍රීඩා තරගාවලියේදී උස පැනීම ප්‍රථම ස්ථානය දිනාගත් ඇයට මේ වසරේදී දෙවැනි ස්ථානය හිමිවන්නේ පාසල් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදීමේ හේතුවෙනි.

විවෘත ජාතික ක්‍රීඩා උලෙළ සඳහා ඇය මෙවර ඉදිරිපත්වූයේ ප්‍රථම වරටය. එහිදී රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වූයේ මීටර් 1.67 දක්ෂතාවයක් පෙන්වමිනි. කෂ්මිතාගේ ජයග්‍රහණය හිමිකර ගැනීමට විශාල දායකත්වයක් දැක් වු ඇයගේ පුහුණුකාරිනී වන ප්‍රියංගිකා මධුවන්ති අදහස් දැක්වූයේ මහත් සතුටිනි. වසර 19ක් ජාතික ක්‍රීඩා උලෙළේදී මෙන්ම වසර 15ක් දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ දී ද වාර්තාවට හිමිකම් කියූ ඇය ද කුරුණෑගල ප්‍රදේශයේ බිහිවූ ක්‍රීඩිකාවකි.

‘ඇත්තටම කෂ්මිතා කියන්නේ මට හමුවුණු දක්ෂ දරුවෙක්. නමුත් මං වගේම ඇයටත් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න විශාල බාධා රැසක් තියෙනවා. සමස්තයක් ලෙස අපේ රටේ උස පැනීමේ ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න ගම්වල ඉන්න දරුවන්ට විශාල බාධා රැසක් තියෙනවා. මේ දරුවා පුහුණුවීම් කටයුතු කරන්නේ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ. නමුත් ඒ දරුවාට පුහුණුවීම් කරන්න හරියට මෙට්ටයක්වත් නැහැ. මම පාවිච්චි කරපු මෙට්ට කෑල්ලක තමයි පුහුණු වෙන්නේ. දැන් මම අවුරුදු 5කට වැඩි කාලයක් පුහුණුවීම් කරනවා. ඒත් මේ ගැන වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු වී නැහැ. මේ දරුවන්ට ඒ පහසුකම් ලැබෙනවා නම් කෂ්මිතා වගේ තවත් ක්‍රීඩිකාවෝ විශාල ප්‍රමාණයක් බිහි වේවි. එහෙම වුණොත් අපට ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියක ජයග්‍රහණ ලබන්න පුළුවන්. මේ දරුවා පුහුණුවීම් කරන්නේ මගේ ජම්පින් ක්‍රීඩා ඇකඩමියේ. වසර 4ක්ම දිගටම කෂ්මිතා මා ළඟ පුහුණු වෙනවා. මම තමයි උස පැනීමේ ක්‍රීඩාවෙන් වසර 19ක වාර්තාව තියලා තියෙන්නේ. නමුත් මම සතුටු වෙන්නේ මගේ වාර්තාව කඩලා ඇය ඉදිරියටම යනවාට. මම ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා නිලධාරිනියක්. මම අවුරුදු 15කට පෙර තමයි ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් වුණේ. එදා මට ලැබුණු මෙට්ටය තමයි අදත් පාවිච්චි කරන්නේ.

මේ දිනවල කෂ්මිතා 2019 වසරේදී ජොන් ටාබට් මලල ක්‍රීඩා උලෙළට සහභාගී වීමෙන් පසු 2021 වසරේ සිට ප්‍රියංගිකා මධුවන්තිගෙන් පුහුණුව ලබයි. ඇය මෙම තරගයට ඉදිරිපත් වෙමින් ප්‍රථම වරට රන් පදක්කමක් හිමිකර ගැනීම විශේෂිත සිදුවීමක් බවට පත් වන්නේ ඇය ළාබල ක්‍රීඩිකාවක ලෙස ඇයට වඩා වයසින් වැඩිමහල් ක්‍රීඩිකාවන් රැසක් පරාජය කරමින් මේ ජය ලබා ගැනීමයි. බාධක රැසක් මැද ක්‍රීඩාවේ ඉදිරියට යන ඇයගේ මේ ජයග්‍රහණය පිළිබඳ කෂ්මිතාගේ මව චන්ද්‍රිකා ප්‍රියදර්ශනි සහ ඩී.එන්.ජයරත්න පියා බොහෝ සෙයින් සතුටු වෙයි. ඈත දුෂ්කර ප්‍රදේශයක ජීවත් වෙමින් අවම පහසුකම් යටතේ මේ ඇය ජය ලැබීම ගැන මවුපියන් ලෙස අසීමිත සතුටක් හා අභිමානයක් හිමි බව ඔවුන් පවසයි.