වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
කැපවීම උපරිම නම් කිසිම කාන්තාවක් කිසිම වෙලාවක පරද්දන්න බෑ

කාන්තාවන් දාහකට රැකියා දෙන්න මට පුළුවන් වුණේ මම දුක් වින්ද නිසයි
ලෝකයටම ඉලෙක්ට්‍රික් බඩු හදන ලංකාවේ සමාගම
ඩිවොල්කා නියෝජ්‍ය සභාපතිනි
කුමාරි සමරවික්‍රම
‘එදිනෙදා නිවෙසේ වැඩ කටයුතු කරගෙන, දරුවන්ගේ, සැමියාගේ වැඩ ටිකත් නිසි කලට වේලාවට කරමින් ගෙදරට වෙලා ඉන්න කාන්තාවකට අතිරේක ආදායමක් කියන්නෙ මහමෙරක්. ඒකත් ගෙදරම ඉඳන් උපයා ගන්නවා කියන්නෙම ඇය දිනුම්.
අපේ රටට විතරක් නෙමෙයි ලෝකයේ රටවල් බොහොමයකට ආලෝකය සපයන්න අපට හැකියාව ලැබුණා. එතැනින් නොනැවතී කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත ආලෝකමත් කරන්නත් අපට හැකි වුණා. කාන්තාවක් විදිහට නිවෙසක මවක්, ගෘහණියක් උසුලන ජීවන බර ගැන මම හොඳට දන්නවා. ඒ නිසා එවැනි කාන්තාවන් විශාල ප්‍රමාණයකට නිදහස් රැකියාවක් ලබාදෙන්න හැකිවීම පිළිබඳ මට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්.‘
ගැහැනියක දුක හඳුනන්නේ තවත් ගැහැනියක් කියලයි කතාවටත් කියන්නෙ. ඉතින් මේ විදිහට තවත් කාන්තා ජීවිත බොහෝ ප්‍රමාණයක් ආලෝකමත් කරන්නට ඇප කැපවන ඇය කුමාරි සමරවික්‍රම. ඩිවොල්කා ඉලෙක්ට්‍රික් එහෙමත් නැතිනම් ඊඩඥ ර්ඡ් සමූහයේ නියෝජ්‍ය සභාපතිනිය ඇයයි.
ව්‍යාපාරයක් ගොඩනංවනවා කියන්නෙම ඉතාමත් දුෂ්කර කටයුත්තක්. ඒ වෙනුවෙන් හෙළන දහඩිය, කඳුළු, ශ්‍රමය අපමණයි. නිදිවරන රාත්‍රීන්, කලට වේලාවට නොලැබෙන කෑමබීම, වෙහෙස මහන්සිය මේ අපමණ කැපකිරීම් බොහොමයක සුන්දර ප්‍රතිඵලය තමයි සාර්ථක ව්‍යාපාරයක හිමිකාරීත්වය.
අපේම වචනයෙන් කිව්වොත් ‘ලොකු කට්ටක් කාලා ලබා ගත්තු සාර්ථකත්වයක්.'
ඉතින් කුමාරි සහ ඇයගේ සැමියා ධම්මික සමරවික්‍රම එක්ව ගොඩනඟාගත් මේ ර්ඡ් සමූහ ව්‍යාපාරය පිටුපස තියෙන්නෙත් තවත් කෙනකුට දිරිය සපයන ආදර්ශවත් කතාවක්. අපි කුමාරි මහත්මියගෙන්ම ඒ ගැන විමසා දැන ගනිමු.
‘මගේ උපන්ගම මීරිගම. පාසල් ගියේ කොටහේන මධ්‍ය මහා විද්‍යාලයට. මීරිගම ඉඳන් කොටහේනට ඉගෙන ගන්න ආපු මම කවදාවත් හිතුවේ නෑ ඒ පාසල පේන මානයේම ව්‍යාපාරයක් ආරම්භ කරලා එහි මුල් පුටුවක අසුන් ගන්න හැකි වේවි කියලා. ඒ විතරක් නෙමෙයි තවත් දහස් ගණනකට රැකියාවල් ලබාදෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් අද ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දි කළ කැපකිරිම්වලට ලැබුණු ප්‍රතිඵල ගැන පුදුමාකාර සතුටක් දැනෙනවා.‘
* අපි මේ ව්‍යාපාරයේ ආරම්භය ගැන මතකය අවදි කරමු.
1995 වසරේදී වාගේ තමයි මගේ මහත්තයා මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. ඉතාමත් කුඩාවට විදුලි උපාංග නිෂ්පාදනය කිරීමක් හැටියට. නිවෙසේ ඉඳන්ම තමයි ඔහු ඒ කටයුත්තේ යෙදුණේ. 1998 වසරේදී තමයි අපි විවාහ වුණේ. ඊට පස්සේ ඒ වැඩවලට මමත් උදවු වෙන්න පටන් ගත්තා.‘
* ඒ කියන්නේ විදුලි උපාංග සකස් කිරීම පිළිබඳ ඔබට දැනුමක් තිබුණා ද?
‘අනේ නෑ. මුලදි නම් කිසිම දැනුමක් තිබුණේ නෑ. සැමියාට අත් උදවු තමයි දුන්නෙ. ඊට පස්සේ මමත් ටික ටික ඔහුගෙන් වැඩ ඉගෙන ගත්තා. බලාගෙන ඉඳලා, අත් උදවු දීලා වැඩ අල්ල ගන්න බැරි වුණේ නෑ. ඊට පස්සේ දෙන්නත් එක්ක හරි හරියට වැඩ කළා. තනි පුද්ගල ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් බවට පත් කරගෙන වැඩ කටයුතු කරගෙන ගියා. අපි ටික ටික නිෂ්පාදන වැඩි කළා වාගේම විවිධ නිෂ්පාදන වෙළෙඳපොළට එකතු කරන්නත් හැකියාව ලැබුණා.‘
මේ ව්‍යාපාරය ගොඩනඟාගන්න අපි නොසෑහෙන දුක් වින්දා. අපේ අතින් ව්‍යාපාරය ගිලිහෙන්න ගිය අවස්ථාවල අපි දෙන්නා එකටම හිටියා. ඒ නිසා ලෝකයම ජයගන්න අපට පුළුවන් වුණා.
* ඒ විතරක් නෙමෙයි ඔබ විදෙස් වෙළෙඳපොළත් ජය ගත්තා.
ඔව්. 2000 වර්ෂයේදී වාගේ අපේ නිෂ්පාදන විදෙස් වෙළෙඳපොළට යවන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි පහුගිය වසරේදී අපේ ආයතනයක් ඉන්දියාවේ ආරම්භ කරන්නත් හැකියාව ලැබුණා. ඒවා තමයි අපේ ජීවිතයේ ලද ජයග්‍රහණ.
* ඔබ දැන් ආයතන කිහිපයක ඒ කියන්නෙ සමූහ ව්‍යාපාරයක සභාපතිනිය. ඒ නිසාම දහස් ගණනකට රැකියා සපයන්නියක්. අපි ඒ ගැනත් කතා කරමු.
අපේ ආයතන කටයුතු සඳහා ඉන්න සේවක පිරිසට අමතරව කාන්තාවන් විශාල පිරිසකට ස්වයං රැකියා සපයන්න අපට හැකියාව ලැබුණා. ඒ කියන්නෙ මේ විදුලි උපාංගවල විවිධ කොටස් සවි කිරීමේ කටයුතු කරන්නේ කාන්තාවන්. අපි වාහනයකින් සතියකට දෙවතාවක් වාගේ අමුද්‍රව්‍ය ගෙදරටම සපයනවා. සකස් කරපු නිෂ්පාදන රැගෙන එනවා. ඉතින් ගෙදර දොරේ වැඩ කරන ගමන්, එහෙමත් නැතිනම් රැකියාවක් කරන ගමන්, උසස් අධ්‍යාපනය හදාරන ගමන් අමතර මුදලක් හොයාගන්න මේක හොඳ රැකියාවක්. ගමන් මහන්සියක් නෑ. වියදමකුත් නෑ.
එක් එක් ප්‍රදේශවලට කණ්ඩායම් නායිකාවෝ පත්කරලා ඉන්න නිසා එයාලත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවනි. මේ විදිහට වැඩ කරන හැමෝම කාන්තාවන් වීමත් විශේෂයි. මාස තුනකට වරක් අපි එයාලා මුණ ගැහිලා කතා කරනවා. අඩු පාඩු වාගේම සුබ සාධන ගැටලු සොයා බලනවා.
* ඔබ පුතාලා තුන්දෙනෙක්ගේ මවක්. ඉතින් කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ.
පුතාලා දෙන්නෙක්ම දැන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනවා. පොඩි පුතා දැනටමත් මේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙනවා. ඒ තුන්දෙනා පුංචි කාලේ නම් පුදුමාකාර කැපවීමක් කරන්න වුණා. දරුවන්ගේ වැඩ, කාර්යාලයේ වැඩ, සේවකයන්ගේ වැඩ මේ හැමදේම බලන්න වුණා. මගේ අම්මා වාගේම සැමියාගේ මවත් මට ලොකු සහයෝගයක් දුන්නා දරුවන් බලාකියා ගන්න. එයාලා කුඩා කාලයේ අපි දෙන්නම පාන්දර වෙනකම් වැඩ. මොකද දවල් කාලයේ දරුවන්ගේ වැඩ කටයුතුවලට යන්න ඕනේ නිසා. කොහොම හරි කාලය බෙදා හදාගෙන වැඩ ටික කරගන්න පුළුවන් වුණා.
* දක්ෂ ව්‍යාපාරික කාන්තාවක් වෙන්න ගැහැනුකම බාධාවක් කියලා ඔබ හිතනවාද?
කවදාකවත් නෑ. ලංකාවේ වාගේම ලෝකයේ කොයිතරම් දක්ෂ ව්‍යවසායිකාවෝ බිහිවෙලා තියෙනවාද? තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන කැපවීම, අධිෂ්ඨානය ඇතිව කටයුතු කළොත් කිසිම ගැහැනියක් පරාද වෙන්නෙ නෑ. මම හැමදාමත් කියන්නෙ ඕනෙම කාන්තාවකට තමන්ගෙ දෙපයින් නැඟිටින්න පුරුදු වෙන්න. ඔබව වට්ටන්න කාටවත්ම බෑ. ඔබට උනන්දුව, කැපවීම, උත්සාහය තිබෙනවා නම් කරන්න බැරි දෙයකුත් නෑ කියලයි මම හිතන්නේ.
ඡායාරූප - ගයාන් පුෂ්පික