ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු පැරා ක්‍රීඩා පිටිය පදක්කම් වැස්සකින් නාවයි

ඔක්තෝබර් 30, 2023

මේ දිනවල චීනයේදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ම සහභාගි වෙති.

මේ වන විට පදක්කම් සටහනේ 13 වැනි ස්ථානයේ පසුවන අපගේ කණ්ඩායම මෙතෙක් පැවැති තරග රැසකින් ජයග්‍රහණ රැසක් හිමිකරගෙන තිබීම සුවිශේෂී සිද්ධියකි. තරගාවලියේ හයවැනි දිනය වන විට රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වී තිබේ.

තරගයේ හයවන දිනයේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට සමත් වූ අතර මෙහිදී හෙල්ල විසි කිරීමේ තරගයට එක් වූ සමිත දුලාන්ගේ නව තරග වාර්තාව කැපී පෙනෙන දස්කමකි.

මේ තරගාවලියේ ටී 47 කාණ්ඩය දුර පැනීම කාන්තා තරග ඉසව්ව සඳහා සහභාගී වූ ජනනී ධනංජනා වික්‍රමසිංහගේ රිදී පදක්කම අපට සුවිශේෂී වෙයි. මීටර් 4.89ක් දුර තරණය කළ ජනනීට අභියෝගයක් ලබා දුන්නේ අපේම ක්‍රීඩිකාවක් වන කුමුදු ප්‍රියංකාය. ඇය එම තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ මීටර් 4.76ක දුරක් තරණය කරමිනි. ජනනී ධනංජනා සහ කුමුදු ප්‍රියංකා යන ක්‍රීඩිකාවන් දෙදෙනාම පාසල් මට්ටමේ පාසල් ක්‍රීඩිකාවන්ය.

මේ අතර පිරිමි යගුලිය විසි කිරීම පිරිමි තරගයට ඉදිරිපත් වූ පාලිත බණ්ඩාර මීටර් 14.15ක දුරක් සටහන් කරමින් ලෝකඩ පදක්කම දිනාගත් අතර එම තරගයේ රන් පදක්කම හිමි වූයේ උස්බෙකිස්තානු ක්‍රීඩකයකුටය.

මේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනාගැනීමට නුවන් ඉන්දික ගමගේ සහ මීටර් 1500 දුර දිවිමේ තරගයට සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි දෙදෙනා සමත් වන විට පදක්කම සටහනේ 13 වැනි ස්ථානයට අප කණ්ඩායම පත්වන්නේ තවත් තරග රැසක් ඉතිරිව තිබියදීය. අප කණ්ඩායම 13 වැනි ස්ථානයේ පසුවුවත් ඉදිරි තරගවලදී කැපී පෙනෙන දස්කම් පෙන්වනු ඇතැයි මේ තරගයට සහභාගී වී සිටින ශ්‍රී ලංකා පුහුණුකරු නලින්ද සෙනරත් අපට සඳහන් කළේය.