වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නත්තල කියන්නේ සීතලටම නෙවෙයි
චූටි කාලේ ඉඳන් ඇඟිලි ගැන ගැන බලන් හිටියේ සීතල දෙසැම්බරය උදාවෙනකම්. මං දන්නේ නෑ ඇයි මේ රතුපාට, කොළ පාට, සුදුපාට මාසෙට මෙච්චරම කැමැති කියලා. සමහරවිට මං කැමති ඒ පාටවලට නෙවෙයි.
නත්තල් කියලා දැනෙන හැඟීමට වෙන්න ඇති.
සීතල දෙසැම්බරයක් වුණත් අපේ හිත්වලට හරි උණුසුම් හැඟීමක් ගේන්න පුළුවන් මාසයක් තමයි මේ.
මං විශ්වාස කරනවා මේ සීතල දෙසැම්බර් මාසෙට පුළුවන් කියලා ඒ හැඟීම අරන් එන්න. මොකද මුළු අවුරුද්ද පුරාම අපි ගොඩක් දෙනෙක් මග බලාගෙන ඉන්නේ මේ මාසෙ එනකම්. දෙසැම්බර්..... සීතල කුණාටු.... පාට ඉටි පන්දම්....නත්තල්... පල්ලියේ ගීතිකා...නත්තල් ගස්...හිම බබාලා...වයින්....ආදරේ....
මං හිතන්නේ මේ දෙසැම්බර් මාසේ හැදිලා තියෙන්නෙ දවස්වලින් නෙවෙයි. අපට දැනෙන හැඟීම් ගොඩක එකතුවක් විදිහට. ඒ නිසාම මේ ගෙවෙන්නේ නිකම්ම නිකම් දවස් නෙවෙයි.
පිනි මුවන්ගෙන් හැදුණු කරත්ත, නත්තල් සීයා, සීත හිම පියලි, ඉඟුරු පාන් මිනිස්සු, ලස්සනට හැඩ වුණු නත්තල් ගස් මේ හැමදේම අපට මතක කරන්නේ මේ අවුරුද්ද ඉවර වෙන ලස්සනම මාසේ පටන්ගන්නවා කියලා...
නත්තල් සීයා ගැන මං දැනගත්තෙ පුංචි කාලෙ. අදටත් දෙසැම්බර් මාසේ එනකොට මං මඟ බලන් ඉන්නේ තාමත් නත්තල් සීයට හොරෙන් ලියුම් ලියන්න. මං හිතන්නේ නත්තල් සීයට ලියුම් ලියන්නේ නැතුව ඉන්න තරම් මං තාම ලොකුවෙලා නෑ. ඒ වගේම පුංචිම පුංචි බලාපොරොත්තුවක් එක්ක රතු මේස් එල්ලලා තියනවා තාමත් මං.
මට පුංචි කාලේ අම්මා කියලා තියනවා මතකයි නත්තල් සීයා රෑට ඇවිල්ලා තෑගි තියලා යනවා කියලා.
ඉතින් හරි ආසාවෙන් තමයි ඒ රාත්රිය ගත කරන්නේ. කොච්චර නත්තල් සීයා එනකම් නැඟිටලා ඉඳලා හොරෙන් හරි එයාව බලනවා කියලා හිතුවත් නින්ද යනවා ඉතින් ටිකක් වෙලා ගියාම..
ඒත් උදේ නැඟිටලා බලනකොට අම්මා කිව්වා වගේම වගේම ලස්සනම ලස්සන තෑග්ගක් නත්තල් ගහ ළඟම තියනවා.
ඒ කියන්නේ එයා ඇවිල්ලා...
මේ දැන්, මේ අකුරු ටික ටයිප් කරනකොටත් මට ඒ හැඟීම දැනෙනවා. මගේ ඇතුළේ ඉන්න පුංචි ගෑනු ළමයා සතුටින් උඩ පනිනවා වගේ තමයි මට දැනුත් දැනෙන්නේ. ඉතින් ඒ හැම උදේකම මං විශ්වාස කළා නත්තල් සීයා ඇවිල්ලා ගිහිල්ලා කියලා.
මං ආසාවෙන් හිටියා කවදාහරි එයාව බලන්න. අදටත් ඒ ආසාව නැතිවෙලා නෑ.. ඒත් විශ්වාස කරන්න කොච්චර අකමැති වුණත් දැන් මං දන්නවා ඒ හැමදේම හරි ආදරණීය රැවටීමක් කියලා. ඒ ලස්සන මතක පිටිපස්සේ හිටියේ මගේ ගෙදර අය. එයාලා තමයි ඇත්තම නත්තල් සීයා. එයාලා තමයි මගේ පුංචි කාලේ එච්චරටම ලස්සන කළේ. අදටත් මතක් කරන්න පුළුවන් සතුටු හිතෙන නත්තල් දවස් ගොඩක් මගේ ජීවිතේට ගෙනල්ලා දුන්නේ එයාලගේ ඒ කැපකිරීම්.
ඉතින් මෙච්චර ලොකු වුණත් අදත් නත්තල් සීයා එනවා කියලා මං විශ්වාස කරන්න ආසයි. මොකද ඒ රැවටීම හරිම ආදරණීයයි. සමහර දේවල් දිහා අපි බුද්ධියෙන් බලනවට වඩා හදවතින් බලනකොට ලස්සනයි.
ඉතින් ඔයාලගේ පවුලෙත් පුංචි බබෙක් ඉන්නවා නම් මේ සතුට එයාලට දීලා බලන්න. ඒකට ඔයා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්නම ඕනෙ නෑ. ආදරණීය පුංචි කාලයක්, මතක් කරලා රසවිඳින්න පුළුවන් පුංචි කාලයක් එයාලගේ ජීවිතවලට ඉතුරු කරන්න. බුද්ධිය වගේම හැඟීම්වලට ආදරේ කරන පුංචිත්තෝ තමයි මේ ලෝකෙට ඕනෙ.
මේ වගේ වැස්ස දවස්වල මං කොච්චර නම් ප්රාර්ථනා කරලා ඇතිද අනේ අපටත් හිම වැටුණා නම් කියලා..
කවුළුවෙන් බලනකොට සුදු පාටින් මුළු පරිසරේම දකින එක කොච්චර ලස්සන දෙයක් වෙන්න පුළුවන් ද කියලා ඔයාට හිතිලා තියෙනවද?
ඔයා ආදරේ කරන අය එක්ක ගෙදරක් ඇතුලේ උණුසුමට ඉන්න ගමන් දුම් දාන කළු කෝපි කෝප්පයක් බොන්න රාස්බෙරි ජෑම් ගාපු පාන් පෙත්තක් තිබ්බොත්.
මං හීන මැව්වෙම ජනේලෙන් එළියේ වැටෙන හිම පියලි දිහා බලන ගමන් මගේම පුංචි ලෝකෙක තනි වෙන්න.
රෑට සීත සුර දූතයෝ ජනෙල්වල අඳින හිම රටා බලන්න.
වෙනසක් නෑ අදටත් එහෙමමයි. ඒත් එහෙම ඉන්න ඉස්පාසුවක් නැති තරමට අපේ ජීවිත සංකීර්ණ වෙලා. සමහර වෙලාවට මේ අපි ගතකරන කාර්යබහුල ජීවිතත් එක්ක අපි ළඟම ඉන්න අයට අවධානය දෙන්න වගේම එයාලට අපි ගැන අවධානය දෙන්නත් වෙලාවක් නැති තරම් හැම දේම සංකීර්ණ වෙලා.
ඔයාට ආදරේ කරන අයට වුණත් ඔයා ගතකරන්නෙ කොච්චර අමාරු ජීවිතයක්ද කියන එක තේරුම් ගන්න බැරි වෙන අවස්ථා ඕණෙ තරම්. මං දන්නවා ඒක හරිම දුක හිතෙන දෙයක්. ඒත් ඔයා දන්නවද? මහන්සි කියලා අපට මේ නත්තලේදි කාවවත් අතහරින්න බැහැ. ඒකයි නත්තල කියන්නේ සීතලටම නෙවෙයි කියලා.
හැමෝටම එක වගේ නත්තල් නැහැ කියල මං දන්නවා. ඒත් මේ නත්තලේදී, ඔයා ආදරය කරන අයට පොඩි දේකින් එයාලගේ මුහුණට පුංචි සිනහවක් ගේන්න පුළුවන්නම් එයයි සැබෑ නත්තල.
ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා!