මහ මැතිවරණයත් ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුව නියෝජනයකළ ලංකාවේ ප්‍රථම දමිළ කාන්තා රාජ්‍ය අමාත්‍යවරිය

රාසමනෝහරි පුලේන්ද්‍රන්
ජනවාරි 8, 2024

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා භූමිකාව තවමත් අවම මට්ටමක පවතියි. අවසන් සංගණනයට අනුව මෙරට ජන සංඛ්‍යාවෙන් 51.6%ක් කාන්තාවන් ය. 48.8%ක් පිරිමින් ය. එසේ වුව ද නිදහස ලබා ගැනීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තුවේ 102ක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටියේ 03ක් පමණි. වර්තමාන පාර්ලිමේන්තුවේ 225න් 12කි. 2016 වර්ෂයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්යවන ආකාරයට නීතිමය විධිවිධාන සකස් කරන ලදි. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක් සඳහා 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නීති සම්මත විය. කාන්තා නියෝජනය අනිවාර්ය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතිය මෙය වේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිම සඳහාත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරිම සඳහාත් කාන්තාවන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ආයතන නියෝජනය කිරිම සඳහා පෙරට පැමිණීම කාලීන අවශ්‍යතාවයකි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය සහ දිරිමත් කිරීම අරමුණු කරගත් ලිපි මාලාවක දහවැන්නයි මේ.

1961 ජනවාරි සිට 1963 මැයි මාසය දක්වා කාලය තුළ යාපනයේ නගරාධිපතිවරයා වූයේ ටී.එස්. තුරෙයිරාජා නම් මන්ත්‍රීවරයාය. ඔහුගේ බිරිය නාගේස්වරි තුරෙයිරාජා විය. ඔවුන් දෙදෙනාට දරුවන් අටදෙනෙක් සිටි අතර ඒ පිරිමි ළමුන් හතර දෙනෙක් සහ ගැහැනු ළමුන් හතර දෙනෙක් වශයෙනි. මේ පවුලේ හයවැනියාට උපන් දැරිය පසුකලෙක දේශපාලනය තුළ සුවිශේෂී චරිතයක් වෙතැයි එදා නගරාධිපතිව සිටි ඇගේ පියා නොසිතන්නට ඇත. නමුත් ඇය පියා ද පසුකර යමින් මෙරට දේශපාලනය තුළ සුවිශේෂී චරිතයක් ලෙස ජනතාව අතරට යන්නට සමත් වූවාය. ඇය නමින් රාසමනෝහරි පුලේන්ද්‍රන් මැතිනියයි. වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ රාජ්‍ය අමාත්‍යවරියක් දක්වා වූ ඇගේ දේශපාලන ගමන් මග කාන්තාවන්වන අපට වැදගත් වන්නේ මහ මැතිවරණයකට මුහුණ දී ජනතා ඡන්දයෙන් තේරී පත්වුණු ප්‍රථම දමිළ කාන්තා නියෝජිතවරිය වීම නිසාය.

රාසමනෝහරි පුලේන්ද්‍රන් උපන්නේ 1949 පෙබරවාරි මාසයේ 07 වැනිදාය. යාපනයේ කන්‍යාරාමයෙන් ඇය අධ්‍යාපන කටයුතු අවසන් කළාය. අධ්‍යාපන කටයුතුවලට අමතරව පවුලේ ගොවිතැන් කටයුතු සඳහා සහයෝගය ලබාදෙමින් ඇය ගත කළේ ඉතා සරල ජීවිතයක්ය. ඇගේ පියා දේශපාලනයේ නිරත වුවද ඇය සහ ඇගේ අනෙක් සහෝදරියන් ඊට එකතු වුයේ නැත. ඇගේ දේශපාලන ආගමනය සිදුවන්නේ විවාහයෙන් පසුවයි. ඇය විවාහ වන්නේ යෝජනාවකිනි. ඔහු එවකට වව්නියා නගර සභා සාමාජික සහ වව්නියා දිස්ත්‍රික්කයේ එ.ජා.පක්ෂයේ ආසන සංවිධායක වශයෙන් කටයුතු කළ කේ.ටී. පුලේන්ද්‍රන් මහතාය.

විවාහයෙන් පසුව වව්නියාවේ පදිංචියට පැමිණෙන ඇය සාම්ප්‍රදායික බිරියක, මවක ලෙස අභිරාමි සහ දුර්ගා දියණියන් සමඟ නිදහස් සාමකාමි දිවිපෙවෙතක් ගත කළාය. ඇගේ තෙවැනි දරු උපත පිරිමි දරුවෙක් වූ නමුත් දරු ප්‍රසුතියේදි එම දරුවා මිය ගියේය. අනෙක් දරුවන් දෙදෙනා ප්‍රසුත කළේ යාපනේදීය. සිය සැමියාට තිබූ විවිධ දේශපාලන තර්ජන හේතුවෙන් ඇයට තෙවැනි දරු ප්‍රසුතිය සඳහා සිය මව වෙත යන්නට නොහැකි විය.

එකල වව්නියා දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ එතරම් දියුණු මට්ටමක නොතිබු නිසා දරු ප්‍රසුතිය සඳහා අනුරාධපුර මහ රෝහලට පැමිණීමට ඇයට සිදුවෙයි. නමුත් එම දරු ප්‍රසුතියේ දී දරුවා ඔවුන්ට අහිමි විය. ඒ 1983 ජනවාරි 10 දාය. දරුවා අහිමි වී සතියකට පසු ඇය ජීවිතේ තවත් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නාය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් ජනවාරි 19 දා ඇගේ සැමියා ඝාතනය කළේය. ඔහු එ.ජා. පක්ෂයේ ආසන සංවිධායක වීමෙන් දමිළ ජනතාවගේ ඡන්දය තම පක්ෂයට අහිමි වෙතැයි විශාල බියක් එවකට ඇතැම් දමිළ පක්ෂ විශාල බියකින් කටයුතු කළහ. මේ නිසා එ.ජා. පක්ෂයේ ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වන ලෙස එකල ඔහුට විවිධ කණ්ඩායම් හරහා බලපෑම් මෙන්ම මරණ තර්ජන ද තිබුණි. කෙසේ වෙතත් එම තර්ජන සහ බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඔහුගේ ඝාතනය සිදුවිය. මේ අවාසනාවන්ත සිදුවීමෙන් පසුව අවුරුදු හතරක සහ දෙකක කුඩා දියණියන් දෙදෙනෙක් සමඟ ඇය තනිවුවාය. මෙම තනිවීමත් සමඟ ජිවිතේ ඉදිරියට මුහුණ දීම පිළිබඳව එදා ඇය තුළ තිබුණේ විශාල අභියෝගයකි. මේ නිසා වරෙක ඇයට සියදිවි හානිකරගන්නට පවා සිතුණු අවස්ථා තිබුණා යැයි ළඟම ඥාතීන් සමඟ ඇය එකල පවසා තිබු බව ඇගේ කනිටු දියණිය අප සමඟ පැවසුවාය. කෙසේ නමුත් මේ සියලු අහිමි විම් කඩා වැටීම් මැද ඇය ජීවිතේට මුහුණ දෙන්නට තීරණය කළාය.

සැමියාගේ ඝාතනයෙන් පසුව වන්නි දිස්ත්‍රික්කයේ එ.ජා.පක්ෂ ආසන සංවිධායකකම භාරගන්නා ලෙස එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් ඇයට ආරාධනා කළේය. ඇය එම ආරාධනය භාරගෙන වන්නි දිස්ත්‍රික්යේ එ.ජා.පක්ෂයේ ආසන සංවිධායක වශයෙන් කටයුතු කළාය. 1989 පෙබරවාරි 15 වැනි දින පැවැති මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී ඡන්ද 3260ක් ලබා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට සමත් වුවාය. ඉන්පසුව ප්‍රේමදාස ජනාධිපති යටතේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරිය වශයෙන් දිවුුරුම් දුන්නාය. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධුරය දරමින් තමා නියෝජනය කළ පළාතේ අධ්‍යාපනය නඟා සිටුවන්නට උපරිම කැපවීමෙන් කටයුතු කළාය.

වන්නි දිස්ත්‍රික්කයට විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ මූලිකත්වය ගත්තේ ඇයයි. එකල රටේ පැවැති යුද වාතාවරණය හේතුවෙන් එම විශ්වවිද්‍යාලය ගොඩනැඟීමට අනුමැතිය ලැබී තිබු ස්ථානයේ ආරක්ෂක මුලස්ථානයක් ඉදිකිරිමේ අවශ්‍යතාවය මතුව තිබුණි. ඒ සඳහා එවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් එම ස්ථානය නිරීක්ෂණය කිරීමද සිදුකර තිබුණු අතර ඇය තැනට සුදුසු නුවණ යොදා විශ්වවිද්‍යාලය සඳහා කැබිනට් අනුමැතිය ලැබී දින දෙකකට පසුව නියමිත ප්‍රදේශයේ මුල්ගල තබා ඉදිකිරිම් කටයුතු ආරම්භ කළාය. ඉදිකිරිම් කටයුතු සිදුකරගෙන යන අතර තමාගේ නිවෙසේ කොටසක විශ්ව විද්‍යාලයේ පාඨමාලා ආරම්භ කරන ලෙස පාලනාධිකාරියට උපදෙස් දුන්නාය. ඇගේ එම ක්‍රියාව නිසා අහෝසි වන්නට හෝ වෙනත් ස්ථානයක ඉදිකරන්නට තිබු විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට ඇයට හැකිවිය.

 

ඇය එ.ජා.පක්ෂයේ ආසන සංවිධායක මෙන්ම පක්ෂයේ විධායක කමිටුවේද සාමාජිකාවක් වශයෙන් විශාල කාර්යභාරයක් සිය පක්ෂය වෙනුවෙන් ඉටු කළාය. ඒ සඳහා ඇයට ජනාධිපති ප්‍රේමදාස මහතාගේ නොමසුරු අනුග්‍රහයද සෑම විටෙකම ලැබුණි. ඇය ඕනෑම කටයුත්තකදී සෘජුව තීන්දු තීරණ ගත්තාය. ජනාධිපතිවරයාට වුව තම තීරණ ප්‍රකාශ කිරීමට ඇය කිසිවිටෙක පැකිළුණේ නැත. ඇයත් ජනාධිපති ප්‍රේමදාසත් අතර තිබුණේ ඉතා සමීප සම්බන්ධතාවයකි. ඇය පළමුවරට පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඇගේ සමකාලීනයන් වූයේ සුනේත්‍රා රණසිංහ, අමරා පියසීලි රත්නායක, රේණුකා හේරත්, චන්ද්‍රා කරුණාරත්න, සමන්තා කරුණාරත්න, සුජාතා ධර්මවර්ධන යන මන්ත්‍රීවරියන්ය. ඒ අතර විපක්ෂය නියෝජනය කළ නිරූපමා රාජපක්ෂ ද විය. මේ සියලු දෙනාගෙන් ඇයට ලැබුුණේ ඉතා අනගි සහයෝගයකි. ඒ වගේම ඇය තුළ තිබු ඕනෑම තරාතිරමක පුද්ගලයන් සමඟ සුහදව ගනුදෙනු කිරීමේ හැකියාව නිසා දේශපාලන කටයුතු කරගෙන යන්නට එය ඉතා පහසු වන්නට ඇත.

 

1993 දී පැවැති එ.ජා.පක්ෂයේ මැයි දින රැලිය ඇගේ ජීවිතේ අමතක නොවන මැයි රැලිය විය. එදා ඇයත් ඇගේ වන්නි දිස්ත්‍රික්කයේ ජනතාවත් මැයි රැලිය සඳහා සහභාගි වෙමින් සිටියේ තරමක් පිටුපසිනි. පක්ෂ නායක ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා ඇතුළු පිරිස පෙළපාලිය ඉදිරියේ සංවිධාන කටයුතු මෙහෙයවමින් සිටියේය. රැලිය ගමන් කරන අතරතුර ආමර් වීදිය පෙදෙසින් යම් පිපිරුම් හඬක් ඇසෙන්නටත් කලබලකාරී තත්ත්වයක් ඇතිවන්නටත් විය. යම්කිසි කලබලයක් ඇතිව තිබෙන බව වටහාගත් ඇය ක්ෂණිකව තම දිස්ත්‍රික්කයේ ජනතාව බස් රථවල නංවා නැවතත් ගම් ප්‍රදේශවලට හරවා යැව්වාය. එම අවස්ථාවේ මැයි රැලියට සහභාගි වෙමින් ඇගේ දියණියන් දෙදෙනාද සිටියේය. එදා සිදුවූ දෙය ඇයට හරියටම දැනගන්නට ලැබුණේ එදින රාත්‍රියේදීය. ඒ.එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් විසින් ජනාධිපති ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්කර තිබීමයි. ඇය ජනාධිපති ප්‍රේමදාස සමඟ ඉතා සමීපව කටයුතු කළ නිසා ඇයට මෙම ඝාතන සිදුවීම අමතක නොවන සිදුවීමක් විය. ඉන්පසුව 1994 පැවැති මහ මැතිවරණය ඇයටත් පක්ෂයටත් අතිශය දුෂ්කර එකක් විය. නමුත් ඡන්ද 2217ක් ලබා ගනිමින් දෙවැනි වරටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට ඇය සමත් වුවාය.

ඇගේ දේශපාලන ජීවිතේ අමතක නොවන තවත් සිදුවීමක් වන්නේ එ.ජා. පක්ෂය විසින් දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනයවන පරිදි ජනතා පෙළපාළියක් කොළඹට පැමිණි අවස්ථාවයි. ආණ්ඩුව විසින් නුගේගොඩදී එම පිරිස විසුරුවා හරින්නට කටයුතු කළේය. ඒ අවස්ථාවේ ඇය ඇතුළු පිරිස පොලිස් ප්‍රහාරවලින් වැළකීමට කාණුවක් යට සැඟවෙන්නට සිදුවිය. නමුත් එදා කකුලට සිදුවූ අනතුර හේතුවෙන් වසර ගණනාවක් ඇය ඉන් පීඩා වින්දාය.

කුඩා දියණියන් දෙදෙනෙකු සමඟ වැන්දඹු තරුණ කාන්තාවක්ව සිටි ඇයට ඔවුන්ගේ දමිළ සමාජය තුළින් යම් යම් විරෝධතා, සිත් රිදවීම් පැමිණියේ නැතුවාම නොවේ. ඇතමුන් නැවතත් ඇයට විවාහ වන්නැයි යෝජනා ගෙන ආහ. තවත් ඇතමුන් නිර්නාමික ලිපි මඟින් ‘ඔබ කොයි විදිහේ කාන්තාවක්ද, ඔබ දමිළ ප්‍රජාවටම අපහාසයක්‘ බව පවසා නොයෙකුත් අන්දමේ නිර්නාමික ලිපි ලැබෙන්නට සැලැස්සුවාය. තවත් පිරිසක් දේශපාලනයට පිවිස කෙටි කලකින් ඇය දේශපාලනයෙන් ඉවත් වී යනතුරු බලා සිටියහ. දමිළ කාන්තාවක් සහ තවමත් තාරුණ්‍යයේ සිටීම යන හේතු නිසා සමාජයේ විවිධ පාර්ශව විසින් ඇයට සිදුකළ අපහාස, හිත් රිදවීම් සේම දේශපාලන තර්ජන ද විය. යම් කරදරයක් වුවහොත් තම දියණියන් දෙදෙනා භාර ගන්නා ලෙස විදෙස්ගත ඥාති සහෝදරියකගෙන් ඇය ඉල්ලීමක්දකර තිබුණි.

දේශපාලනය නිසා කොපමණ කාර්යබහුල වුවත් ඇය තම දියණියන් දෙදෙනාට ආදරණීය මවක් වූවාය. කිසිම දිනෙක දරුවන්ගේ පාසල් හමුවකට, රැස්වීමකට වෙනත් කෙනෙකු සහභාගී කළේ නැත. ඇයම ඒ සඳහා ගියාය. කොළඹ සෙන් බ්‍රිජට් පාසල් ආදි ගුරුවරුන් මේ කාරණය අදත් සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙනි. එම පාසලේ දියුණුව වෙනුවෙන් හැකි පමණ දායකත්වය ලබා දුන්නාය. ඊට අමතරව කොළඹ හින්දු විදුහල ජාතික මට්ටමේ පාසලක් බවට පත්කිරීමට ද කටයුතු කළාය. මවකගේ වගකීම මෙන්ම සහෝදර සහෝදරියන්, නෑදෑ හිතමිතුරන් අතර ද ඇය ඉතා ආදරණීය චරිතයක් විය. නිවෙසට පැමිණෙන නෑදෑයින්ට, මිතුරන්ට ඇගේ අතින්ම රසකැවිලි සාදා සංග්‍රහ කළාය. කිසිම අවස්ථාවක තම වගකීමෙන් බැහැර නොවුුවාය. ඉගෙනීමේදී දරුවන්ට නීති දැම්මේ නැත. ඔවුන්ට කැමති දේ ඉගෙනීමට ඉඩ ලබා දුන්නාය.

වන්නි දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවලදී පැවැති යුද වාතාවරණය නිසා විවිධ දුෂ්කරතාවයන්ට, අභියෝගවලට මුහුණ දෙන්නට ඇයට සිදුවුණාය. නමුත් ඇයට දිස්ත්‍රික්කයේ සියලු ආගමික නායකයින්ගේ නොමඳ ආශිර්වාදය ලැබුණේ ඇය භේදයකින් තොරව හින්දු, මුස්ලිම්, බෞද්ධ ආගමික වතාවත්වලට මුල්තැත දී කටයුතු කළ හෙයිනි. ජනාධිපති ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව “වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද ඇති කිරීමේ‘ අරමුණින් සෑම නගරයකම ඔරලෝසු කණුවක් ඉදිකිරීමට නියම කෙරුණු අවස්ථාවේ වව්නියා දිස්ත්‍රික්කයේ නගරය මැද ඔරලෝසු කණුවක් ඉදිකර එය කේ.ටී. පුලේන්ද්‍රන් නමින් නම් කළාය. ඇගේ දේශපාලනය ගමන් මඟේ තවත් සුවිශේෂී අවස්ථාවක් වන්නේ 1993 වසරේ යුනෙස්කෝ සමුළුවට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඇයට ද සහභාගි වීමේ අවස්ථාව උදාවීමයි.

1989 සිට 2000 වසර දක්වා පැවැති මැතිවරණ අවස්ථාවන්ට මුහුණ දුන් ඇය ඉන්පසුව සක්‍රිය දේශපාලනයේ නිරත වූයේ නැත. නමුත් තරුණ හින්දු කාන්තා සංගමයේ කමිටු සාමාජිකාවක් සේම සමස්ත ලංකා හින්දු කොංග්‍රසයේ අනුශාසකවරිය වශයෙන් කටයුතු කළාය. ශ්‍රී ලංකා බනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂවරියක් ද වූවාය. දියණියන් දෙදෙනා සහ දරු මුනුපුරන් සමඟ කල් ගත කරමින් සිටියදී හදිසි රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් 2014.12.30 වැනි දින ඇය ජීවිතයෙන් සමුගනියි. මිය යන විට හැට පස් හැවිරිදිව සිටි ඇය තම ජීවිත කථාව පොතක ලියා තැබීමට කැමැත්තෙන් සිටි බව ඇගේ කනිටු දියණියගෙන් දැනගන්නට ලැබිණ.