වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කෙල්ලට රස්සාවක් හම්බුණාම මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ
දෙවැනි දිගහැරුම
හැඟුම් තෙරපෙන හුස්මක
පැතුම් තියේවි අහසක....
නැවතුමක් නැති ගමනක
ඇරඹුමක් ඇත දිනයක....
පෙර සටහන
වැහි අඳුරින් බරවූ කෙම්මුර බදාදාවකි. කාර්යාලය අද එතරම් කාර්යබහුල නැත. පිළිගැනීමේ නිලධාරිනියගෙන් පැමිණි දුරකතන ඇමතුමට අනුව කාන්තාවක මා සොයා පැමිණ තිබුණි. දුරකතනයෙන් නම නොකී ඇය මා හමුවීමට අවශ්‍ය බව දැන්වූයේ ලිපි ගොනුවක් භාර දීමට අවශ්‍ය යයි පවසමිනි. පිළිගැනීමේ පරිශ්‍රයේදී අප දෙදෙනා හමුවූ අතර ඇය මාගෙන් කළ ඉල්ලීම වූයේ ඇගේ කතාව තරුණීට ලිවීමට කැමැත්තක් දක්වන බවත්, ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසත් ය.
එකවරම පිළිතුරක් සෘජුව ලබා දිය නොහැකි ඇගේ ඉල්ලීමට පිළිතුරක් දැක්වීමට මාසයක් යන්නට මත්තෙන් ඇය නැවත මා අමතා කියා සිටියේ ඇයගේ කතාව ඇය ලියමින් සිටින බවත්, එය මා හට ලැබීමට සැලැස්විය හැකි බවත් ය.
මීට මාසයකට පමණ පෙර එහි පළමු කොටස මා අතට පත් වූ අතර ඉන්පසුව මම ඇයව ඇමතූවෙමි. ඇය කියූ කතාන්දරය හරි අපූරු එකකි. ඒ නිසාම එය තරුණී නව නවකතාව ලෙස අප විසින් තෝරා ගන්නා ලදී.
මෙතැන් පටන් තරුණී හි පළවන්නේ නම නොකියන ඈ ලියන ඇගේම කතාන්දරයයි.
මා විසින් එම නව කතාන්දරයට ශ්වේත සමනලී යන නම තබන ලදී. ඕනෑම පාටක් ආලේප කළ හැකි ඕනෑම දුරකට පියඹා යා හැකි ශ්වේත සමනලී අද සිට කියවන්න.
මේ නම නොකියන, ඇය ලියන ඇගේ ජීවන අන්දරයයි.
නුවර වැව රවුම පසු කරද්දී ලාවට ඇස් ඇරුණි. මම උපේක්ෂා සහගත දෑසින් අහස බැලූවෙමි. ඈත අහසේ තරු රොත්තක් පායමිනි. යාන්තමට විවෘතකර තිබූ වීදුරුවෙන් අනවසරයෙන් ඇතුළු වී වදදෙන දඟකාර සුළං රැලි මගේ කෙස් රොදද සීසීකඩ යවා තිබුණි. අසුනේ මට බරදී ගෙදර වාගේ නිදාගන්නා වයසක අම්මාට තවත් මඳක් ඉඩදී මම අසුනේ කෙළවරට වීමට වගබලා ගත්තෙමි.
දැන් රාත්‍රිය උදාවෙමිනි. බස් රථයේ කිහිපදෙනකු හැර අනෙකුන් සියල්ලම සුව නින්දකය. නැවත ඇස් පියාගන්නට වෙර දැරුවද ඇස් පියල්ලට යටින් මට බඹරැල්ලේ ජීවිතය මැවේ.
දැන් අප්පා ඇත්තේ කොළඹට ගොස් මා දුරකථන ඇමතුමක් ලබාදෙන තුරු වන්නට ඇත.
" ගිහිල්ල මහත්තැන් හම්බුණාම ශංකර් අයියගේ නොම්මරේට කියපං පුතේ..."
තාත්තා අවසාන මොහොතේ කී කතාව නැවත නැවතත් මගේ දෙකන් මත දෝංකාර දේ.
ඊටත් එහා ගිය බස් රථයේ සින්දු කාමරය නැවත නින්දක් ගැන සිතන්නටවත් ඉඩක් දෙන්නේම නැත. මම බෑගයට අත ඔබා අම්මාගේ පරණ සාරියෙන් කොටසක් කපා මසාගත් විශාල ලේන්සුව අතට ගත්තෙමි. එය උඩ සිට තුනට නවා කන් බෙරය වැසෙන්නට දවටාගත් මම වීදුරුවෙන් ඈත අහසේ පෙනෙන දීප්තිමත් තාරකා දෙස බලමින් අතීතයට ගියෙමි.
ලැයිමේ කෙළවර රුක් අත්තන ගහ පාමුල තාක්ක බෑ ඒ ළමා විය ඉමිහිරි එකකි. ගල් කැට හයක් ගෙන ඒව අල්ලටත් පිටි අල්ලටත් උඩ දමමින් මා ඒ ගත කළ ජීවිතය අද ද මම සෑම තත්ත්පරයකම සොයමි. මා මේ අතරමඟ දමා යන්නේ ඒ සුන්දර ගම්බද හුදෙකලා ජීවිතයයි.
හයදෙනකුගෙන් සමන්විත මගේ පවුලේ වැඩිමලා වීම නිසාම සියලු බර මා දෙවුරට ගැනීමට මම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණෙමි. අඩියක් තබා අඩියක් ගන්නටවත් වාරු නැති අප්පාත්, දෑස් රිදෙන තෙක් මල්ලී එනතුරු මඟ බලන් හිටින අම්මාත්, මා විසින් රැකිය යුතු කාලය මටත් හොර රහසේම මේ වනවිට එළඹ තිබුණි.
කාලය නොයනවානම් කොතරම් සොඳුරුදැයි මා පාවෙන වලාකුළු දෙස බලා සිතුවෙමි.
" වතුර ඩිංගිත්තක් නැතිවේද දුවේ "
මගේ ලස්සන දැහැන බිඳුණේ ආච්චි අම්මාගේ හඬිනි.
මම බෑගයේ කෙළවරට අත දමා නංගී අවසන් වරට පාසල් ගෙන ගිය ඉරිතැලී ගිය බෝතලය ගෙන ආච්චි අම්මාට දිගු කළෙමි.
" තිබහක් ආව දුවේ "
ආච්චි අම්මා හුස්ම ඇල්ලුවේ වතුර බෝතලයේ කාලකට වඩා එක හුස්මට ගිල දමමිනි.
" මං කොළඹ යන ගමන්...දූව බලන්න. එයා කොළඹ විස්ස විද්යාලෙනේ ඉගෙන ගන්නේ "
එකවරම මට අම්මා සිහිවුණි.මගේ අම්මා ද මේ කතාව මෙසේ කියන්නට හිතා සිටි බව මම හොඳින්ම දනිමි. ආච්චි අම්මා කී කතාව මගේ සියුම් හදවතේ රත් වූ ඊයම් බරුවක් සේ කිඳා බැසගත් බව ඇයට නොපෙන්වීමට මම වග බලා ගත්තෙමි.
" තව අවුරුද්දයිලු තීන්නේ...උපාධිය ගන්න. ඊට පස්සෙ කෙල්ලට රස්සාවක් හම්බුණාම මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ දුවේ "
මට ගිඟුම් නඟන හැඟුම් ගෙනෙන ආච්චි අම්මාගේ කතාව වෙනතකට හැරවීමට මම උත්සාහ කළෙමි.
" වහින්නත් වගේ නේද අම්මා "
" ඔව් දූ කොළඹටත් හොඳටම වැස්සලු. අපේ දූ අර කෝස් එකක් කරනවනේ තව. ඒකට යන ගමන් කියල මට කතා කළා අද හවස.."
ආච්චි අම්මා කියන්නේ අභිමානයෙනි. ඇගේ අභිමානවත් කතාව මොහොතක් පාසා මට ගෙන එන්නේ මඟහැරුණු ජීවිතය පිළිබඳ සියුම් වේදනාවකි. එබැවින්ම මම නැවත සුදු යකඩ බබ්බු දෙක මැද හිස ඔබා ගත්තෙමි.
ළා සීතලත්, බස් රථයේ ඝෝෂාවත් නින්දකට මඟ තනන්නේම නැත.
අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී...
ගීතය වාදනය වේ. මට අන්දර යායක් පිළිබඳ චිත්‍රයක් නොමැවේ. තේවතු යාය, හුළු ගඟ, අප්පච්ච් මගේ සිත යළිත් පාරවයි.
බස් රථය දැන් පෙරටත් වඩා වේගයෙන් මහ මඟෙහි ඉදිරියට ඇදෙන්නේ මගේ මඟෙහි පෙරළිකාර පරිච්ඡේදය අරඹන්නට වේලාව එන්න එන්නම ඉක්මන් කරමිනි.
" අපිට උඹට උගන්නන්න හරියට සල්ලි පනම් තිබ්බනම් උඹ අද වැඩකාරකමකට යන්න ඕනෙ නෑනේ දුවේ "
අම්මා මගේ හිස අතගෑවේ ඇගේ කන හිස් කරමින් මගේ කන සරසවමිනි.
අම්මා අවසන් වරට මට දුන් දායාදය සුරක්ෂිතව ඇත්දැයි මම දෙකන් පෙති අතගා බැලුවෙමි.
යළිත් දරාගත නොහැකි සීතල මට සන් කරන්නේ මේ පසු කරන්නේ කඩුගන්නාව හරිය බවය.
මම නැවත බලහත්කාරයෙන් නින්ද කැඳවා ගන්නට උත්සාහ කළෙමි. නමුදු සුව නින්දක් හෝ සුබ සිහිනයක් පෙනෙන මානයකවත් නැත.
" ඔච්චර හොඳට ඉගෙන ගන්න පුළුවන්කම තියෙද්දී මොකද දුවේ ඉස්කෝලේ ගමන නවත්තන්නේ. "
මීට වසර දහයක එහා මගේ අවසන් පාසල් ගමන මට මතකයට එයි. සුදු ගවුමෙන් සැරසී තේවතු යාය මැද දිගු පටු ගුරුපාරෙන් ඒ ගිය ගමන නවතා මේ වනවිට වසර දහයකටත් වැඩිය. එදා මම මගේ සුදු ගවුම හතරට නවා මගේ ට්‍රන්කා පෙට්ටියේ අවසන් අඩියේ ගැසුවෙමි. ඊට පසුදා සිටම අම්මා මා රැගෙන ගියේ දළු මඩුවේ රාජකාරියටය. කරල් ගෙතූ කොණ්ඩය වෙනුවට මට එදා සිට ලැබුණේ කෝවිල් පෙරහරේ බැනරයක් උණ්ඩි කොට මැසූ තලප්පාවකි. ටයි පටිය වෙනුවට දළු කූඩයේ පටිය මගේ කරට වැටුණි. පාසලේ සීනුවට හුරුවී සිටි මට එදා සිට සංගුවට හුරුවීමට සිදුවුණි. යහළු යෙහෙළියන්ගේ කවට සිනා, උසුළු විසුළු වෙනුවට මට අසන්නට ලැබුණේ කතා කරන්නට ලැබුණේ පවුල් ආරවුල් හෝ සල්ලි ප්‍රශ්න ගැනයි.
ඒ අවලස්සන ජීවිතය අතර හිරවූ මම ක්‍රමයෙන් පාසලත්, මිතුරු මිතුරියනුත් කෙටියෙන්ම කිවහොත් ඒ ජීවිතයත් අමතකකර දැමුවෙමි. ආච්චි අම්මාගේ කතාව මට එතරමටම අමිහිරි වූයේ මා පැතූ ජීවිතය ආච්චි අම්මාගේ දුව විඳිනු ඇසීමට අකැමැති, කුහක, පහත්, සිත් තවන දවන සිතිවිල්ල නිසාම වන්නට ඇත.
එදා එසේ නොවුණා නම් මට අද මේ ගමන මෙසේ අරඹන්නට ඉඩ නොතිබිණි. සියල්ල සිදුවන්නේ හොඳට බව මම උපේක්ෂා සහගතව සිතන්නට වීමි.
මගේ ජීවිතයේ දෙවැනි පරිච්ඡේදය අරඹන්නට ඇත්තේ තව සුළු මොහොතකි. ඒ ගමන කෙසේ ඇරඹේද නිමවේද දන්නේ මා කිසිදා නොදන්නා අයෙකි.
තවත් දිගහැරුමකින් හමුවෙමු