රුවන්පුරයෙන් මතු වූ නිල් මැණික චෙස් ක්‍රීඩාවෙන් ලොවක් බබළවයි

ජනවාරි 8, 2024

 

ක්‍රීඩාව තුළින් මිනිස් සිරුරට කරන බලපෑම විවිධාකාරය. ඇතැම් ක්‍රීඩා සිරුරට හොඳ ව්‍යායාමයකි. එසේම මනස දියුණුකර ගැනීමට ද ක්‍රීඩාව බෙහෙවින්ම උපකාරී වෙයි. විශේෂයෙන්ම මනස දියුණු කරන ක්‍රීඩා පිළිබඳ මෑත කාලයේ පාසල් දරුවන් අතර විශාල උනන්දුවක් ඇති වී තිබීම හොඳ ප්‍රවණතාවකි. මේ උනන්දුව නිසාම චෙස් ක්‍රීඩාව පිළිබඳ පාසල් දරුවන්ගේ වැඩි උනන්දුවක් හා දිරි ගැන්වීමක් දකින්න ලැබෙයි.

මනස දියුණු කර ගැනීම සඳහා ප්‍රබල ලෙස බලපෑමක් කළ හැකි චෙස් ක්‍රීඩාවට ඇති උනන්දුව නිසාම අපගේ රටේ ද දක්ෂ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි වීම සුබවාදී සලකුණකි. එවැනි දක්ෂ පුංචි චෙස් ක්‍රීඩිකාවක් අප රටට ජයග්‍රහණ රැසක්ම රැගෙන ආවේ ජාත්‍යන්තර තරග රැසක්ම ජයග්‍රහණය කරමිනි. ඇය දේවින්ධ්‍යා ඕෂිනි ගුණවර්ධන දියණියයි. වයස අවුරුදු 11ක් වන මේ පුංචි දියණිය චෙස් ක්‍රීඩාවෙන් අප රටට රැගෙන ආ කීර්තිය හා ජයග්‍රහණ ගැන දැන ගැනීමේ අපේක්ෂාවෙන් ඇය සමඟ පුංචි පිළිසඳරකට එක් වූයේ මෙලෙසිනි.

ඕෂිනි චෙස් ක්‍රීඩාවේ තවම ළාබාල ක්‍රීඩිකාවක්. නමුත් ඔබ ජයග්‍රහණ රැසක් මේ වන විටත් හිමිකරගෙන තිබෙනවා. අපි මුලින්ම ඒ ගැන කතා කරමු.

මම මේ වසරේ තමයි හොඳම ජයග්‍රහණ දෙකක් ලැබුවේ. ඒ ජයග්‍රහණ අතුරින් විශේෂම තරගය තමයි ලෝක යොවුන් චෙස් ශූරතා තරගාවලිය. ඒ තරගය සඳහා රටවල් 84ක් සහභාගී වුණා. මම අවුරුදු 12න් පහළ තරගයෙන් ශූරතාවයන් දිනා ගත්තා. ඉන් පසුව මෑතදී පැවැත් වූ තරගය තමයි ආසියානු යොවුන් චෙස් ශුරතාවලිය. ඒ තරගය පැවැත්වුණේ ඩුබායිවල. මම ඒ තරඟයට සහභාගී වූයේ අවුරුදු 20න් පහළ තරගාකාරියක් ලෙසයි. ඒ තරගය සඳහා සහභාගි වුණු හුඟාක් තරගකාරියන් මට වඩා වයසින් වැඩියි. නමුත් මම ඒ තරගයෙන් දෙවැනි ස්ථානය හිමි කර ගත්තා.

මේ තරග දෙකට අමතරව මම 2021 සහ 2022 දී ආසියානු යොවුන් චෙස් තරගාවලියටත්, පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියටත් සහභාගි වී ජයග්‍රහණ රාශියක් හිමි කරගනිමින් ශූරතාවය දිනාගෙන තිබෙන්නේ වයස අවුරුදු 10න් සහ 12න් පහළ ක්‍රීඩිකාවක් ලෙස සහභාගි වෙමින්. ඒ වගේම මේ වසරේ මට වි‍ශේෂ සම්මානයක් හිමි වුණා. ඒ තමයි The Girls Player of tha year කියන සම්මානය. මේ සම්මානය පිරිනැමුවේ ආසියානු චෙස් පදනම විසින්.

මේ තරම් ජයග්‍රහණ රාශියක් ඔබ දිනාගත්තේ ඉතාම පුංචි වයසකින්. ඒකට විශේෂ හේතුවක් තියනවද?

මම අවුරුදු හතේදී තමයි මුලින්ම චෙස් ක්‍රීඩාවට යොමු වුණේ. ඒකට ප්‍රධානම හේතුව මගේ අම්මා. ඇය තමයි මාව මේ ක්‍රීඩාවට උනන්දු කළේ. මුලින්ම මම පාසල් ගියේ රත්නපුරයේ පර්ගසන් උසස් බාලිකා විද්‍යාලයට. ඒ පාසලේ දී මගේ ක්‍රීඩා දස්කම් නිසා මට විඩ්ලී ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගැනීමට ශිෂ්‍යත්වයක් හිමිවුණා. දැන් මම ඉගෙනුම ලබන්නේ 5 වසරේ මට චෙස් ක්‍රීඩාවේ දස්කම් දැක්වීම සඳහා අම්මා වගේම අක්කත් විශාල සහයෝගයක් දුන්නා. මගේ පියා උපේන්ද්‍ර ගුණවර්ධන. අම්මා චන්දිමා රත්නායක. මගේ අම්මගෙයි තාත්තාගෙයි දිරි ගැන්වීමට අමතරව මගේ චෙස් ක්‍රීඩා ගුරුතුමා වන අකිල කවිපත්තු සර් චෙස් ක්‍රීඩාව දියුණු කරගන්න විශාල ශක්තියක්. මම අකිල සර්ගේ ඇකඩමියේ ශිෂ්‍යාවක් ලෙස පුහුණුවීම් කරන අතර තමයි පාසල නියෝජනය කරමින් තරග සඳහා සහභාගි වෙන්නේ.

දුව දැනටමත් චෙස් ක්‍රීඩාවෙන් හොඳ දස්කම් පෙන්වා තියනවනේ. ඉදිරියේදී ඔයාගේ ඉලක්කය මොකක්ද?

චෙස් ක්‍රීඩාව කියන්නේ අපේ මනස දවසින් දවස දියුණු කරන ක්‍රීඩාවක්. ඒ නිසා මට අධ්‍යාපන කටයුතුවලට කිසිම බාධාවක් නැතුව මේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න පුළුවන්. ඒකට දැනටමත් මගේ පවුලෙන්, පාසලෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මම හිතන්නේ මම වගේම අපේ රටේ අනෙක් සහෝදර සහෝදරියොත් මේ ක්‍රීඩාවට යොමු වුණොත් චෙස් ක්‍රීඩාවෙන් අපට ජයග්‍රහණ රාශියක් ලබා ගන්න අවස්ථාව තියනවා. ඒ සඳහා අපේ තියන උනන්දුව තමයි හුඟාක්ම වැදගත්.

 

----------------

මහමෙරක් තරමට බර ඉසිලූ චතුරිකා වාර්තා 3ක් තබයි

පොලොන්නරුව ගල්ලෑල්ලේ ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පැවති ජාතික ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව තරග වාර්තා තුනක් බිහි කිරීමට බී. චතුරිකා ප්‍රියන්ති ක්‍රීඩිකාව සමත් විය.

කිලෝග්‍රෑම් 67 බර පන්තිය නියෝජනය කරමින් තරග කළ ඇය ස්කැඩ් ක්‍රමයට කිලෝග්‍රෑම් 90ක් ද, ක්ලීන් ඇන්ඩ් පර්ක් ක්‍රමයට

කිලෝග්‍රෑම් 113ක් ද සමඟින් එකතුව ලෙස කිලෝග්‍රෑම් 203ක් ද ඔසවමින් ඇය මේ තරග වාර්තා තුන තැබීම සමත්ව තිබේ.

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙය වීමෙන් පැවැත් වූ මෙම තරගාවලිය ආශ්‍රිතව ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා පිරිමි සහ කාන්තා, ජාතික කනිෂ්ඨ පිරිමි සහ කාන්තා කනිෂ්ඨ තරග මෙන්ම ජාතික යොවුන් බාලක සහ බාලිකා තරග ද මෙහිදී පවත්වන ලදි.

 

----------------------------------

ආසියානු කුසලතා ඩූබොල් ශූරයන්ට උපහාර

ඉන්දියාවේ මුම්බායි නුවර පැවති ආසියානු ඩූබෝල් තරගාවලියේ කාන්තා අංශයේ තුන්වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

මේ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූයේ මඩකලපුව බැටී එම්පයර් ක්‍රීඩා සමාජයයි. එම කණ්ඩායමට උපහාර දැක්වීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේදී පසුගිය දා පවත්වන ලදි. උපහාර උත්සවය නාවල් හිදී පැවති අතර එම අවස්ථාවට ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි සී. චන්ද්‍රකාන්ත් මහතා ද සහභාගිවිය. මේ තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාව ඉරාකය දිනාගත් අතර අනුශූතාව ඉන්දියාව විසින් දිනාගන්නා ලදි.