හලෝ නංගි...... කොහේ යන ගමන් ද?

ජනවාරි 15, 2024

 

පෙර සටහන

 

වැහි අඳුරින් බරවූ කෙම්මුර බදාදාවකි. කාර්යාලය අද එතරම් කාර්යබහුල නැත. පිළිගැනීමේ නිලධාරිනියගෙන් පැමිණි දුරකතන ඇමතුමට අනුව කාන්තාවක මා සොයා පැමිණ තිබුණි. දුරකතනයෙන් නම නොකී ඇය මා හමුවීමට අවශ්‍ය බව දැන්වූයේ ලිපි ගොනුවක් භාර දීමට අවශ්‍ය යයි පවසමිනි. පිළිගැනීමේ පරිශ්‍රයේදී අප දෙදෙනා හමුවූ අතර ඇය මාගෙන් කළ ඉල්ලීම වූයේ ඇගේ කතාව තරුණීට ලිවීමට කැමැත්තක් දක්වන බවත්, ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසත් ය.

එකවරම පිළිතුරක් සෘජුව ලබා දිය නොහැකි ඇගේ ඉල්ලීමට පිළිතුරක් දැක්වීමට මාසයක් යන්නට මත්තෙන් ඇය නැවත මා අමතා කියා සිටියේ ඇයගේ කතාව ඇය ලියමින් සිටින බවත්, එය මා හට ලැබීමට සැලැස්විය හැකි බවත් ය.

 

මීට මාසයකට පමණ පෙර එහි පළමු කොටස මා අතට පත් වූ අතර ඉන්පසුව මම ඇයව ඇමතූවෙමි. ඇය කියූ කතාන්දරය හරි අපූරු එකකි. ඒ නිසාම එය තරුණී නව නවකතාව ලෙස අප විසින් තෝරා ගන්නා ලදී.

මෙතැන් පටන් තරුණී හි පළවන්නේ නම නොකියන ඈ ලියන ඇගේම කතාන්දරයයි.

මා විසින් එම නව කතාන්දරයට ශ්වේත සමනලී යන නම තබන ලදී. ඕනෑම පාටක් ආලේප කළ හැකි ඕනෑම දුරකට පියඹා යා හැකි ශ්වේත සමනලී අද සිට කියවන්න.

මේ නම නොකියන, ඇය ලියන ඇගේ ජීවන අන්දරයයි.

 

වැහිබර අහස හැන්දෑවට අර අදිමින් සිටී. බැස යන හිරු රැසින් ගිනියම් වූ ගිනිකොන අහස හැන්දෑව ගැන නිනවුවක් නැත. කොළඹ විසල් කතරට පැමිණියේ රාත්‍රී 9ට ආසන්න කාලයේදීය.

 

"ඔක්කෝම බහින්න කොළඹට ආවා..."

"ආයේ මඟ නවත්තන්නේ නෑ...."

කොන්දොස්තරවරයා සියල්ලන්ගේම දැහැන බින්දේ ගමන්නාන්තය සනිටුහන් කරමිනි.

බඹරැල්ලෙන් කඩුගන්නාවටත්, කඩුගන්නාවෙන් කොළඹටත් දුෂ්කර ගමනක් ආ ජීවිතයේ නැවතත් සැනසුම් සුසුම් පවන් සලමින් සිටි.

 

ජීවිතේ කුමක් දැයි නැවතත් මම මගේ ගමන් බෑගය කරේ එල්ලා ගෙන සිතමි.

සුදුපාට හිම පිපෙන පිණි වැටුණු මංමාවත් වල ජීවිතයේ මා කොයිතරම් නම් දුරගමන් ගොස් ඇද්ද? මෙතරම් ජීවිතයේ දී දිගු ගමනක් ආ පළමු අවස්ථාව මෙයයි. දැන් අප්පාට දුරකථනයෙන් ඇමතිය යුතුමය.

මා කොළඹට පැමිණ ඇති බව අප්පා කියු මඟ සලකුණවලින් පෙනෙන්නට තිබේ.

 

"පුතේ කොළඹ කොටුවට ආපු ගමන් ලොකු බෝගහක් තියෙයි. එතැන ලොකු බුදු පිළිමයක් තියෙනවා. එතැනින් බැහැලා මහත්තයා එනකම් බලාගෙන හිටපන්."

 

"මහත්තැන් ඇවිල්ලා උඹව එක්කන් යයි. සුදු පාට කාර් එකකින් තමයි මහත්තැන් එනවායි කිව්වේ."

 

අප්පා කියු සියල්ල චිත්‍රපටයක් සේ මගේ සිතේ මැවෙයි.

මම බසයෙන් සීරුවට බැස ගත්තෙමි.

හිස වසා ගත් ස්කාපය ගලවා පරණ බෑගයේ දකුණු කොණ සාක්කුවේ ඔබා ගත්තෙමි. දැන් මා කොළඹට පැමිණ ඇත. ජීවිතයේ කිසියම් දිනෙක මෙවැනි ඉරණම් ගමනක් පැමිණ නැත.

නමුත් දැන් මගේ හිත තව තවත් ශක්තිමත් වී ඇත. කොළඹ අහස යට කළු පාට වලාකුළු ගුරුපාට අහසේ එහේ මෙහේ දුවයි. ගෝනි පිට ළා ගත් මිනිසුන් කුඹින් මෙන් පාර පනිමින් සිටියි. එය සැබෑවටම මහා සංකීර්ණ නගරයකි. මා දුටු ලැයිමට වඩා එය ඉතා ලස්සනය. මහා උස් වූ ගොඩනැගිලි අහස සිඹිමින් සිටී. වරින් වර නිවී පත්තු වෙන විදුලියෙන් නගරයම අලංකාර වී තිබේ.

 

මා මීට පෙර කොළඹ පැමිණ ඇත. ඒ ග්‍රහලෝකාගාරය බැලීමටය. ග්‍රහලෝකාගාරය කියන්නේ කුමක්දැයි කියන්නවත් නොදන්නා කාලයේ බඹරැල්ලේ සිට බස් එකක නැඟී අපි බොහෝ ප්‍රීතියෙන් කොළඹට පැමිණියෙමු.

එදා කොළඹදී ඇලරික්ස් වර්ගයේ පොප්සිකල් එකක් ගුරුවරුන් අරන් දුන්නා මට යන්තමින් මතකය. ඒ ගමනේ මට මතක ඇත්තේ එය පමණි.

 

එනමුත් ඒ ගමන වඩා බොහෝ සුන්දරය. ඒ දවස මගේ හිතේ තිබුණේ දොස්තරවරයකු හෝ ඉංජිනේරුවරයෙකු හෝ උගත් වියතෙකු වීමේ සංකල්පය පමණකි. නමුත් දැන් මගේ සිත හා හිස පිරි තිබෙන්නේ කෙසේ හෝ මේ ජීවිතය ගොඩයන සිතුවිල්ල පමණි.

 

බසයෙන් බැස ගත් මම විශාල බෝ ගහ යටට පැමිණියෙමි. සැබෑවටම මට මතක් වන්නේ මීට පෙර මා සියලු දෙනා සමඟම කාකමුට්ටි චිත්‍රපටය බැලු අයුරුය.

අප්පා කියන්නේ කාකමුට්ටි අපේ ජීවිතේ වගේ එකක් නේද කියාය. කවදාහරි උඹටත් ජීවිතේ ඔය වගේ දුක් විඳින්න වෙයි. අප්පා මට කියු කතාව යළි යළිත් සිහියට නැගේ.

 

මා බෑගයේ කොණේ අඩියේ ගසා තිබු ජංගම දුරකථනය අතට ගත්තෙමි. දුරකථනයේ ඇත්තේ කට්ට දෙකකි. මෙතෙක් දවසක් එහා ගෙදර ශංකර් අයියාගෙන් දුරකථනය චාජ් කරගත්ත ද දැන් චාර්ජයක් නැත. මගේ ජීවිතය යළි යළිත් උත්ප්‍රේරණය වෙමින් තිබේ.

 

මම ජංගම දුරකථනය අතට ගෙන ශංකර් අයියාගේ අංකය මතකයෙන් එබුවෙමි. කිහිප වරක්ම නාද වුවත් ශංකර් අයියා ප්‍රතිචාර දැක්වුයේ නැත. එබැවින් අප්පාට මා කොළඹට පැමිණි බව කීමට පවා නොහැකිව කණගාටුවෙන් මම නැවතත් බස් රථ පෙළක් ඉදිරියේ අඳුරු මාවත මැද්දෙන් ඇවිද ගියෙමි.

"හලෝ නංගි...... කොහේ යන ගමන් ද?"

සිගරැට්ටුවක් උරමින් සිටි තරුණයා මගෙන් ඇසුවේය.

මා දන්නා තරමින් ඔහුට උත්තර දීමට එඩිතර නොවුයෙමි.

බස්වලින් ආවරණය වූ කුඩා පාර දිගේ කිසිවක් නොදන්නා මාර්ගයක ඉදිරියට ඇදුණෙමි.

 

එකවරම දුරකථනය නාද වුණාට පසු මම

"හලෝ...ශංකර් අයියා මම කොළඹට ආවා කියන්න."

"මේ මළ රෑ මට ඕවා කිය කිය ඉන්න වෙලාවක් නැහැ. උදේ අප්පාව හම්බ වුණොත් කියන්නම්. උඹ හරියට වැඩ කරලා කෝටිපතියෙක් වුණාම අප්පාට ෆෝන් එකක් අරන් දියන්."

ශංකර් අයියා බීමත්ව කියවන කතාව අදද හෙට මෙන්ම එක සේය.

සීතල බඹරැල්ලෙන් කොළඹට පැමිණි මට දැන් තදින් බඩගින්න දැනේ. හවසට ගමන පිටත් වීමේදී සින්නායියගේ කඩෙන් කෑ රොටිය හා ප්ලේන්ටිය හැරෙන්නට මේ මොහොත වන විට මා නිරාහාර වූයෙමි. කඩේකට ගොඩ වීමට නිර්භය හිතක් මේ මොහොතේ නැත. කොළඹට පැමිණි පළමු වතාවේම මා බියට පත් වී යැයි මට සිතුණි.

 

"අයියා ස්ටේෂම තියෙන්නේ

කොහේද?"

මම කෙනෙකුගෙන් බයාදු හඬින් ඇසුවෙමි.

"ආ.. අනිත් පැත්තට යන්න. ඔහොම දිගටම යන්න සුදු පාට බිත්ති තියෙන බිල්ඩිමක් තියේවී. අන්න කොළඹ ස්ටේෂම. ඉස්සරහට දුවන, ගමන් වාගේ මනුස්සයෙක් ප්‍රතිමාව ගාව නවතින්න."

 

ඔහු කියාගෙන කියාගෙන ගියේ කොළඹ පිළිබඳ ඔහු දන්නා බවක් හඟවමිනි.

මා මගේ ගමන් මඟ නැවත අංශක තුන්සිය හැටකින් අනිත් පැත්තට හරවා ගත්තෙමි. දැන් මා ගමන් කරන්නේ ප්‍රතිවිරුද්ධ දෙසටය.

"මහත්තයා එයි කොළඹ කොටුව බෝ ගහ ගාවට. පරක්කු වුණොත් ස්ටේෂම ගාව හිටපන් මහත්තයා ඇවිත් උඹව එක්කන් යාවි. එතකම් හිටපන්."

අප්පා දෙවැනි වරටත් කියු කතාව මතකයට නැගේ.

මම බර අඩි තබමින් සංසුන්ව කොළඹ කොටුව දෙසට ඇවිද යමින් සිටිමි.

 

තවත් දිගහැරුමකින් හමුවෙමු