යතුකැටෙන් බුරුමෙන් හරි හැඩට වැඩදාන උඩරට මැණිකේ

සුභාෂණී කුලරත්න
ජනවාරි 22, 2024

 

පනාව සහ හෙයා ඩ්‍රයර් එක ගන්නා දෑතක යතුකැටයක් සහ බුරුමයක්. නියනෙන් මිටියෙන් කරන ඒ විස්කම් එයා වගේම හැඩකාරයි. ඒක හරිම අහම්භයක්. හරිම අපූරු දෙයක්. අද අපි කතා කරන්නේ එයා ගැන. ඇය සුභාෂණී කුලරත්න. Bhashi home decorations හි හිමිකාරිනිය.

හැම ගෑනු ළමයෙක් හරි ආසයිනේ ලස්සනට ඇදලා පැලඳලා සමාජය ඉස්සරහ සම්මතයි කියලා හිතන රැකියාවක් කරලා ජීවිතය ජය ගන්න. හැබැයි ඒ සම්මතයෙන් එහාට ගිහිල්ලා ජීවිතය වෙනස්ම විදිහට දකින තරුණ ලස්සන ව්‍යවසායිකාවක් ඇය. නම සුභාෂණී වුණාට හැමෝම එයාට කතා කරන්නේ භාෂි කියලයි.

ඉතින් භාෂි කොහොම ද?

හොඳින් ඉන්නවා. ඒ වුණත් හරිම කාර්යබහුලයි. ඇණවුම් සෑහෙන ප්‍රමාණයක් ලැබෙන නිසා හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ.

කෙල්ලෙක්ට වඩු වැඩ කරලා ජීවිතය දිනන්න පුළුවන් කියලා භාෂිට හිතුණේ කොහොමද?

මට හිතුණා වෙනස් දෙයක් කරන්න. මම ඉගෙන ගත්ත දේට වඩා වෙනස්ම දෙයක් කරන්න හිතුවා. ඉතින් මට ආපු අදහස ක්‍රියාවට නංවලා බැලුවා. ගැහැනු, පිරිමි භේද කරලා හිතන්න ගියොත් කිසි දෙයක් කරන්න බැහැ. අපි හැමෝම මිනිස්සු. එහෙමයි මම හිතන්නේ.

ඔබ ඉගෙන ගත්තේ වෙනත් දෙයක්. නමුත් ඔබ වෘත්තිය විදිහට කරන්නේ වෙනත් දෙයක්.

කුඩා කාලයේදී මම ජීවත් වුණේ පිළිමතලාව ප්‍රදේශයේ. එතකොට මම ධීරානන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සෙයි නුවර තලාතුඔය ප්‍රදේශයට ගෙවල් මාරු කළේ. අප්පච්ච්ගෙ ගම තලාතුඔය. එහිදී අම්පිටිය සිද්ධාර්ථ මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. ඉන්පසුව හේවා හැට මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ කළා. මම උසස් පෙළට විද්‍යා විෂයය ධාරාව තෝර ගත්තේ. ඊට පස්සේ අනුරාධපුර කෘෂිකර්ම විද්‍යාලයට ගියා. එහිදී NVQ 5 national diploma එක හැදෑරුවා. ඉන්පසු කුණ්ඩසාල කෘෂි විද්‍යාලයෙන් higher national diploma එක කලා. පස්සේ මම පුද්ගලික ආයතනයක වැඩ කළා. දැන් වයඹ විශ්වවිද්‍යාලයේ plantation and management degree එක කරන ගමන් ඉන්නේ. ඒ ගමන්මයි මේ ව්‍යාපාරයත් කරගෙන යන්නේ. ඇත්තටම එකිනෙකට නොගැළපෙන අංශ දෙකක්.

මේ ව්‍යාපාරය තෝර ගන්න තාත්තා හේතුවක් වෙන්න ඇති?

අප්පච්චි ලී බඩු සහ පොල් ලී ව්‍යාපාරිකයෙක්. පස්සේ විවිධ හේතු නිසා ලී බඩු හදන එක නවත්තලා, පොල් ලී ව්‍යාපාරය පමණක් ඔහු කරගෙන ගියා. එතකොට එයා ළඟ ලී බඩු හදන යන්ත්‍ර ඔක්කොම තිබුණා. ඉතින් මට හිතුණා නිකන් තියෙන යන්ත්‍රවලින් මම මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා. ඒ විදිහට තමයි මම ලී බඩු හදන්න පටන් ගත්තේ.

ව්‍යාපාරයට මුල්ම පියවර තැබුවේ කොහොම ද?

කොවිඩ් කාලයේදී බොහෝ දෙනෙක් ඔන්ලයින් බිස්නස් පටන්ගෙන තිබුණා.

ඒවා දැක්කම මටත් හිතුනා මාත් මොනවා හරි කරන්න ඕනේ කියලා. මුලින්ම හිතුවේ කෘෂි කර්මාන්තය සම්බන්ධ දෙයක් කරන්න ඕනේ කියලා. ඒ කාලේදී තමයි තාත්තගේ වඩු වැඩකටයුතුත් නැවතුනේ. ඉතින් මට හිතුනා ඒ දේ මට කරන්න පුළුවන් නේද කියලා.

මේ ව්‍යාපාරය පටන් අරන් වසර 2කට ආසන්නයි. මුලින්ම මම අපේ ගෙදරට අවශ්‍ය ලී බඩු කිහිපයක් තමයි හැදුවේ.

ගෙදරට යන එන අය ඒවා දැකලා අනේ මටත් එකක් හදලා දෙන්න කියලා ඉල්ලීම් කළා. එතකොට තමයි මට හිතුනේ මේක ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න ඕනේ කියලා.

ගෘහ අලංකරණ නිර්මාණ ලීවලින් සැකසීමයි මා කරන්නේ. මේස, පුටු, අල්මාරි, උළුහව්, ජනෙල්, රාක්ක, ඩෙකෝ අයිටම්ස් වගේ ලීවලින් සැකසිය හැකි බොහෝ දේ මා විසින් සකසනවා.

මේ ව්‍යාපාරය ලංකාවේ බොහෝදෙනා අතර ප්‍රචලිත වෙන්න සමාජ මාධ්‍යත් ලොකු පිටිවහලක් වෙන්න ඇති..

ඔව් මම ෆේස්බුක්, ටික්ටොක් බලද්දී දැක්කා තරුණ ළමයි කිහිපදෙනෙක් එයාලගේ ව්‍යාපාරය ගැන ඒ ඔස්සේ ප්‍රචාරණය කරනවා. ඉතින් මට හිතුනා මගේ නිර්මාණත් ඒ විදිහට අලෙවි කරගන්න පුළුවන් වෙයි කියලා. මම මුලින්ම ෆේස්බුක් පේජ් එකක් හැදුවා. නමුත් ඒකෙන් ලොකු ප්‍රසිද්ධියක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මම ටික්ටොක් එකවුන්ට් එකක් හැදුවා. දාපු පළමු ටික්ටොක් වීඩියෝ එක සෑහෙන වයිරල් වුණා. එකට හිතුවටත් වඩා ප්‍රතිචාර ලැබුණා. සෑහෙන ඇණවුම් ප්‍රමාණයකුත් ලැබුණා. මම මේ වැඩේ පටන් ගත්ත නිසාම ඕඩර්ස් දීපු අයත් හිටියා. ඒ කියන්නේ මං වගේ කෙනෙක්ට උදව්වක් විදිහට එයාලා ඕඩර්ස් දුන්නා. ඉතින් දැන් ඒක ඔන්ලයින් ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. ඩිලිවරි පහසුකමත් මම ලබා දෙනවා.

ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

මුල් කාලේ ලැබුණ ප්‍රතිචාරවලට වඩා දැන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මුලදී ළඟම ඉන්න අය, නෑදෑයෝ මේ ව්‍යාපාරය ගැහැනු ළමයෙක්ට සුදුසු එකක් කියලා හිතුවේ නැහැ. උපාධියකුත් තියෙද්දි ඇයි මේ වගේ දෙයක් කරන්නේ කියලා ගොඩක් අය ඇහුවා. ගැහැණු ළමයෙක් නෙවෙයි පිරිමි කෙනෙක් වුණත් වඩු වැඩ කරනවා කිව්වම නූගත් මට්ටමෙන් තමයි බලන්නේ. මේ ව්‍යාපාරය කරන සමහර තරුණයින් පවා එයින් ඉවත් වෙලා තියෙන්නේ ඔවුන්ව සමාජය ඉස්සරහ හෑල්ලු කරන නිසා. ප්‍රතිචාර කොහොම වුණත් මම මගේ ගමන නැවැත්තුවේ නැහැ. මම හරිම ආසාවෙන් තමයි මේ වැඩේ කරන් යන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වෙළඳපොළටත් පිවිසෙන්න මට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. විදෙස් රටවල් කිහිපයකිනුත් මට ඕඩර්ස් ඇවිත් තියෙන්නේ.

පවුලෙන් ලැබෙන සහයෝගය මේ දුර එන්න සවියක් වෙන්න ඇති...

මගේ අප්පචිගෙන් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. එයා තමයි මගේ ගුරුවරයා. හැමදෙයක්ම එයා මට කියලා දෙනවා. කැම්පස් එකේ එක්සෑම් ටිකයි ඕඩර්ස් ටිකයි එක්ක මම හිරවුණාම තාත්තා තමයි ඕඩර්ස් ටික ඉවර කරගන්න උදව් කරන්නේ. පොඩි කලේ ඉඳන් ඇහැට දැක්කේ අප්පච්චි හදන ලී බඩු. ජීවත් වුණේ ඒ යන්ත්‍ර එක්ක. ඒ හැම යන්ත්‍රයක්ම මට පොඩි කාලේ ඉඳන්ම හුරුපුරුදුයි. මේ වැඩ එක්ක කන්නවත් වෙලාවක් නැති වෙන වෙලාවල් එනවා. එතකොට අම්මා බත් එක බෙදාගෙන ඇවිත් කවනවා. මට මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. ඒ දෙන්නා අධ්‍යාපන කටයුතු කරනවා. පොඩි පොඩි වැඩවලට මං ඒ දෙන්නාගෙනුත් උදව් ගන්නවා. ටික්ටොක් විඩියෝ ඔක්කොම කරන්නේ මගේ ෆෝන් එකෙන්. විඩියෝ කරන වැඩවලටත් නංඟියි මල්ලියි උදව් කරනවා.

ව්‍යාපාරය තුළ කඩා වැටුණු තැන් තිබුණේ නැද්ද?

ඕඩර් එක නියමිත දිනයට දීගන්න බැරි වුණු අවස්ථාවල මම එයාලගෙන් බැණුම් අහලා තියෙනවා. මට දරන්න පුළුවන් ධාරිතාවයක් තියෙනවනේ. ඒ ධාරිතාවයට එහා ගියාම මට වැඩකරන්න අමාරුයි. කොහොමද මම මේක ඉවර කරන්නේ. මට මේක කරගන්න බැරි වෙයිද? කියලා හිතෙනවා. හැමදේම බැලන්ස් කරගෙන යන්න මට ගෙදර අයයි යාළුවොයි උදව් කරනවා. මොන අයිටම් එකක් වුණත් මං සති දෙකක් ඇතුළත හදලා දෙනවා.

භාෂිට තාත්තා හිටපු නිසා මේ ව්‍යාපාරය කරගෙන යන්න පහසු වුණත් එහෙම කිසිදු පිහිටක් නැති කෙනෙක් මේ වගේ ව්‍යාපාරයකට පිවිසෙනවානම් මොකක්ද කියන්න තියෙන්නෙ?

මොන ව්‍යාපාරයක් වුණත් ගුණත්මකභාවයයි අංක එක. අපි ලඟ තියෙන්නේ සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අමුද්‍රව්‍ය ටිකෙන් කරන්න පුළුවන් උපරිම දේ කරලා හොඳ දෙයක් නිර්මාණය කළොත් තමයි ඒ පාරිභෝගිකයා නැවත ඕඩර් එකක් දෙන්නේ. නැත්තම් පළමු ඕඩර් එකෙන්ම ඒ පාරිභෝගිකයාව අහිමි වේවි. අදාළ ක්ෂේත්‍රය පිළිබඳ නිරතුරුවම දැනුම යාවත්කාලින කරගන්න ඕනේ. දැනටත් මම සමහර දේවල් යූටියුබ් බලලා ඉගෙන ගන්නවා.

රැකියාවෙන් ඉවත් වුණේ කාර්ය බහුලත්වය නිසා ද?

මම වැඩ කළේ Live Life organic products ( pvt) Ltd ආයතනයේ. ව්‍යාපාරයේ කටයුතු සහ අධ්‍යාපන කටයුතුත් එක්ක රැකියාවට යන එක අපහසුයි. ඒ නිසයි රැකියාවෙන් ඉවත් වුණේ. තමන්ගේම දේකින් මුදල් උපයන එක හිතට ලොකු හයියක්. මම ව්‍යාපාරයට මුල්තැන දුන්නත් මම හිතන්නේ හැහැ කෘෂිවිද්‍යාව ඉගෙන ගත්ත එක අපරාදයක් කියලා. මොකද ව්‍යාපාර කියන දේවල් අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්. නමුත් ඉගෙන ගත් දෙයක් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඉගෙන ගත්ත දෙයක් විතරයි ජීවිතයට ඉතුරු වෙන්නේ.

රටක් කතා කරන මෙවැනි ව්‍යවසායකයකු වීම ගැන මොකද හිතන්නේ?

ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. ඉස්සර මං හිතන් හිටියේ කෘෂිකර්මාන්තය සම්බන්ධ ජොබ් එකකට ගිහින් ලස්සන ඔෆිස් එකක ලස්සනට ඇඳලා ඉන්න. එහෙම හීනයක් තිබුණේ පොඩි කාලේ ඉඳලම. හිතපු නැති වෙලාවක ආපු අදහසක් මෙච්චර දුර යයි කියලා කවදාවත් හිතුවේ නැහැ. මට මං ගැන ආඩම්බරයක් තියෙනවා.

 

 

ඡායාරූප - රුවන් මීගම්මන