එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙරට දේශපාලනය තුළ අඛණ්ඩව වසර 33ක් දේශපාලනයේ නිරත කාන්තා අමාත්‍යවරිය

අමරා පියසීලි රත්නායක
ජනවාරි 29, 2024

 

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා භූමිකාව තවමත් අවම මට්ටමක පවතියි. අවසන් සංගණනයට අනුව මෙරට ජන සංඛ්‍යාවෙන් 51.6%ක් කාන්තාවන් ය. 48.8%ක් පිරිමින් ය. එසේ වුව ද නිදහස ලබා ගැනීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තුවේ 102ක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටියේ 03ක් පමණි. වර්තමාන පාර්ලිමේන්තුවේ 225න් 12කි. 2016 වර්ෂයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්ය වන ආකාරයට නීතිමය විධිවිධාන සකස් කරන ලදි. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක් සඳහා 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නීති සම්මත විය. කාන්තා නියෝජනය අනිවාර්ය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතිය මෙය වේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිම සඳහාත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරිම සඳහාත් කාන්තාවන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ආයතන නියෝජනය කිරිම සඳහා පෙරට පැමිණීම කාලීන අවශ්‍යතාවයකි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය සහ දිරිමත් කිරීම අරමුණු කරගත් ලිපි මාලාවක එකළොස් වැන්නයි මේ.

 

පාසලෙන් අධ්‍යාපන චාරිකාව ගියේ කොළඹ පරණ පාර්ලිමේන්තුව බලන්නයි. එහි ගැලරියට ගිය පසු සිසුන් අමතා නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇහුවා “ළමයිනේ මේක දැකපුවම ඔයගොල්ලට මොකද හිතෙන්නේ” කියලා. එවිටම කට ඇරිය අමරා පියසීලි සිසුවිය කීවේ ‘මට කවදා හරි මේ පුටුවක වාඩිවෙන්නට ඇත්නම් කියා” හිතෙන බවයි.” එදා එසේ කීවද පසුව ඇයට එය මතක තිබුණේ නැත. නමුත් හයවැනි ශ්‍රේණියේදී ඈ කියූ දේ 1977දී සැබෑවක් කරගෙන මෙරට දේශපාලනය තුළ සුවිශේෂී කාන්තා චරිතයක් බවට පත්වීමට ඇය සමත් වූවාය. ඇය හිටපු ඇමතිනි අමරා පියසීලි රත්නායකයි.

 

තම ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා එක්සත් ජාතික පක්ෂයෙන් වාරියපොළ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස, 1987 දී ගමනාගමන නියෝජ්‍ය අමාත්‍යධුරයත් 1989 ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යධුරයත් 2001 දී වනිතා කටයුතු පිළිබඳව කැබිනට් අමාත්‍යධුරයත් හොබවා 1977 සිට 2010 දක්වා වසර 33ක් අඛණ්ඩව, අපරාජිතව පාර්ලිමේන්තුව නියෝජනය කළ එකම ලාංකික කාන්තාව වන්නේ ඇයයි. වයඹ පළාත් හිටපු ආණ්ඩුකාරවරියක් සේම එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකාවක් ද වන්නී‍ය.

මඩවල ඇය උපන් ගමයි. ඇගේ පියා ආර්.එම්. ඩිංගිරි බංඩා රත්නායක මහතා වෘත්තියෙන් ගුරුවරයෙකි. විශ්‍රාම ගැනීමෙන් පසුව උඩුගහ කෝරලයේ උප්පැන්න මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරයා ලෙසින් සමාජ සේවයේ නිරත විය. ආර්.එම්. ඩිංගිරි අම්මා කුමාරිහාමි ඇගේ ආදරණීය මෑණියන්ය. සහෝදර සහෝදරියන් හත්දෙනෙකුගෙන් යුතු පවුලක ඇගේ ළමා කාලය ඉතා සුන්දර එකක් විය. ඇගේ වැඩිමහල් සහෝදරයන් හතරදෙනා අතුරින් තෙවැන්නා ගම් කාර්ය සභාවේ සභාපති හා උප සභාපති යන තනතුරු දැරුවේය. අවිවාහක ඔහු මියෙන තුරුම පසුකලෙකදී සිය නැගණියගේ දේශපාලනයට සවියක්ව සිටියේය.

ඉගෙනීමටත් ක්‍රීඩාවටත් ඉතා දක්ෂ වූ ඇය පළමු වසරේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවේ කුරුණෑගල උහුමීය විදුහලෙන්ය. ඇය පාසලේදී මුහුණ දුන් කිසිදු විභාගයකින් අසමත් වූයේ නැත. සෑමවිටම පළමු හෝ දෙවැන්නා වූවාය. කුඩා අමරාට අසාධාරණය පෙනෙන්නට බැරිය. වරදක් දුටු තැන ඒ පිළිබඳව ඇය නොපැකිළිව කතා කළාය. හතරවැනි ශ්‍රේණියේ දී ඇය මුුහුණ දුන් අපූරු සිදුවීමකි. ගණිත විෂයයට වඩාත් දක්ෂ වූ ඇයත් බණ්ඩම්මා නම් තවත් දක්ෂ ළමයෙක් අතර පළමුවැනි ස්ථානය සඳහා එදා ලොකු තරගයක් ඇති විය. වාර විභාගයේදී ගණිතයට බිල් ගණනක් තිබුණි. පංති භාර ගුරුතුමිය වූයේ විදුහල්පතිතුමාගේ බිරියයි. ඇය ගණිතය පිළිතුරු පත් බලා ලකුණු දෙන ආකාරය බලා සිටියාය. බණ්ඩම්මාගේ බිල්පතේ එකතුව වැරැදි වුවත් එය නිවැරැදි ලෙස ගුරුතුමිය ලකුණු කළාය. මෙය දුටු කුඩා අමරා

“බණ්ඩිට බොරුවට බිලට හරි දැම්මා - ඔහුට ආදරෙන් ඒ කෙරු‍වේ නිම්මා

අපට උගන්වන නෝනා මහත්මා - ගුරුවරියන්ගෙන් ලොකු නෝනා මහත්මා“ කවිය ලියා පංතියේ තවත් යෙහෙළියකට පෙන්නුවාය. ඇය එය ගුරුවරියට පෙන්නුවාය. බියට පත් ඈ පසුදින පාසල් ගියේ නැත. ඊළඟ දවසේ ගුරුතුමිය මුහුණට හමුවිය. “ආ කොහොමද රත්නායක“ කියා ඇගෙන් විමසුවා පමණි. කිසිම දඬුවමක් නොදුන්නාය. එදා ඇයට දඬුවම් කළේ නම් පාසල් ගමන නවතින්නට පවා හේතු වන්නට තිබූ බව පවසන ඇය ඒ ගුරුතුමිය සමස්ත ගුරු පරපුරටම ආදර්ශයක් බව සිහිපත් කරයි.

උසස් පෙළ හදාරමින් සිටියදී ඇය ගුරු අභ්‍යාස විද්‍යාල පරීක්ෂණයෙන් සමත්ව 1959 දී පොල්ගොල්ල ගුරු අභ්‍යාස විදුහලට ඇතුළත් වූවාය. පවුලේ ආදරණීයන්, මිතුරු මිතුරියන් සමඟ කෙළිදෙලෙන් ගතකළ සුන්දර දිවියට සමුදී ගුරු අභ්‍යාස විදුහලේ නේවාසිකවීමට සිදුවීම ඇය ලැබු පළමු අභියෝගයයි. 1959 - 1960 කාලය තුළ ගුරු විද්‍යාලයේ ක්‍රියාශීලි ශිෂ්‍යාවක් වූවාය. මේ කාලේ ඈ අතින් අමතක නොවන වරදක් සිදු විය. “වාර මැද දින කිහිපයක් නිවාඩු ලැබුණම හැමෝම නිවෙස් බලා යනවා. මාවත් එක්ක යන්න ගෙදරින් එනවා. වාර මැද දින තුනක නිවාඩුවක් තිබුණා. ඒ බව දන්වා ලියුමක් යැව්වා. දිනය උදා වුණා. ගෙදරින් ආවේ නෑ. හැමෝම යනවා මට කරන්න දෙයක් නෑ. ගෙදරට ටෙලිෆෝනුත් නෑ. කුරුණෑගලට එන තවත් යෙහෙළියක් සමඟ ගෙදර ආවා. ලිපිය ලැබී තිබුණේ නෑ. ගෙදරට ලොකු වරදක් කළා වගේ හැමෝම ප්‍රශ්න කළා. ඒක මතක් වෙද්දී කවදාවත් ඒ වගේ වරදක් කරන්න හිතුණේ නෑ.”

1961 වර්ෂයේ පුහුණු ගුරුවරියක ලෙස පළමු පත්වීම ලැබෙන්නේ කුලියාපිටිය මාහිම්පිටිය විදුහලටයි. එහි සේවය කළ ඇය ගමේ පාසලට එන විට මාහිම්පිටිය පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයම පැමිණ ගමේ පාසලේ විදුහල්පති වෙත ඇයව භාර කළේ ඇය ඔවුන්ගේ දියණියක සේ සලකමිනි. පාසලක එවැන්නක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැති තරම්ය. මේ නිසා ඒ සිදුවීම ඇය අදත් කෘතවේදිව සිහිපත් කරයි.

1963දී වාරියපොළ නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සහ එ.ජා. පක්ෂයේ සංවිධායකවරයෙක් ලෙස කටයුතු කළ විමලරත්න බණ්ඩාර සමඟ ඇගේ විවාහය සිදු විය. ජේ.ආර්. ජයවර්ධන මහතා විපක්ෂ නායක වී පත්කළ පළමුවැනි එ.ජා.ප. ආසන සංවිධායකවරයා වන්නේ විමලරත්න බණ්ඩාරයි. ඒ 1973 දීය. විරුද්ධ පාක්ෂිකයන් 1975දී ඔහු ඝාතනය කළ පසුව එම තනතුර භාර ගන්නැයි ප්‍රදේශයේ ජනතාවගේ බලවත් ඉල්ලීමත්, එ.ජා. පක්ෂයේ ආරාධනයත් ඉවතලන්නට ඇයට නොහැකි විය. ඒ අනුව 1976දී වාරියපොළ ආසනයේ එ.ජා. පක්ෂයේ ආසන සංවිධායක තනතුර ඇය භාර ගත්තාය. ඇය ද ජේ.ආර්. ජයවර්ධන මහතා විපක්ෂ නායක වී පත්කළ පළමු එ.ජා.ප කාන්තා ආසන සංවිධායකවරිය වන්නීය. උදේ වරුව පාසලටත්, හවස් වරුව රැස්වීම් සංවිධානය කිරීමටත් ඇය වෙහෙසුණාය. තරුණ කාන්තාවක්, මවක් වශයෙන් පළමු මැතිවරණයට මුහුණ දීම ඇයට විශාල අභියෝගයක් විය. නමුත් ඇය ඉන් ජයග්‍රහණය ලැබුවාය. ජයග්‍රහණය කළත් නිවෙසට යන්නට ඇයට පක්ෂයේ හිතවතුන් ඉඩ දුන්නේ නැත. ඇගේ ආරක්ෂාව වෙනුවෙන් එවකට කුරුණෑගල හිටපු එ.ජා.ප. මන්ත්‍රී ගලගෙදර මහතාගේ නිවෙසේ ඇයට ඉඳුම් හිටුම් සැලැස්සුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් තමාට ලැබෙන වැටුප ඇය ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා යෙදවීය. අද වාරියපොළ නගරය පිහිටා ඇති තැන තහවුරු කොට අංග සම්පූර්ණ නගරයක් බවට පත්කිරීමේ සියලු සංවර්ධන ක්‍රියාමාර්ග ගත්තේ ඇයයි. වාරියපොළ උත්සවයකට පැමිණි ආර්. ප්‍රේමදාස මහතා “තමුන්නාසේලා තෝරා එවූ අමරා පියසීලි රත්නායක ඇමතිවරියක්වත්, නියෝජ්‍ය ඇමතිවරියක්වත් නොවේ සාමාන්‍ය මන්ත්‍රීවරියකි. ඇමතිකම් ඉල්ලා යන කෙනෙක්ද නොවේ. නියෝජ්‍ය අැමතිවරයෙක්, ඇමතිවරයෙක් කරන සේවයට වඩා වැඩි සේවයක් කාන්තාවක් ලෙස ඉටුකිරීම ඔබටත් අපටත් ආඩම්බරයකි.” යනුවෙන් ප්‍රකාශ කළේය. වාරියපොළ නගරය සංවර්ධන කිරීමේදී බස් නැවතුම් පොළට ඉඩම් වෙන්කිරීම් ඉතා අපහසු කාර්යයක් විය. පාර දෙපස ආපණශාලා හිමියෝ දැඩිව විරෝධය පළ කළහ. ඇතැම්හු නිවෙසට පැමිණ චෝදනා කළහ. කම්කරුවන්ට හිංසා කළහ. නමුත් ඇය පොදු ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඒ සියල්ල දරා සිටියාය. යාචකයින්ට පමණක් සෙවණ දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත්ව තිබූ ඉඩම පළාත් පාලන අමත්‍යාංශයට පවරාගෙන සුමංගල නමින් ප්‍රජාශාලාව පිහිටුවීමට පුරෝගාමී වූවාය. මෙය වාරියපොළ ඉදිකළ පළමු සංවර්ධන ව්‍යාපෘතියයි. මෙහිද ඉතිහාස කතාවක් ඇත. ඇගේ පළමු මැතිවරණ වේදිකාව අමතමින් ප්‍රේමදාස මහතා ‘මෙතුමිය දිනවලා දුන්නොත් මාගේ ඊළඟ උපන්දිනයට ප්‍රදේශයට විශේෂ සංවර්ධන වැඩක් කරදෙන බවට පොරොන්දු විය. එදා එතුමාගේ උපන්දිනයයි. ඇය මැතිවරණය ජයග්‍රහණය කළ වහාම පොරොන්දු වූ පරිදි වාරියපොළ නගර ශාලාව ඉදිකර ප්‍රේමදාස මහතාගේ ඊළඟ උපන්දිනයදා විවෘත කළාය.

ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිව සිටියදී ප්‍රේමදාස මැතිතුමා ඇයට උපදෙස් දුන්නේ සියලු ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය බලතල ලබාදෙන ලෙසයි. පළමු වතාවට ලංකාවේ සියලුම ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය පහසුකම් සහ බලතල ලබාදීමටත් වර්ෂයක් තුළ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල 259ක පමණ කාර්යයන් විධිමත් කිරීමටත් ඉන් 121ක්ම විවෘත කිරීමටත් ඇය සම්බන්ධ වූවාය. වල්පාළුව හා කොනොන්ත ප්‍රාථමිකය, දඹලියද්ද කනිෂ්ඨ විදුහල වැනි නව පාසල් ආරම්භ කරමින් ග්‍රාමී‍ය දුෂ්කර ප්‍රදේශවල අධ්‍යපන නඟා සිටුවීම, ගොවිජන සේවා මධ්‍යස්ථාන අලුතින් ආරම්භ කිරීම, නව වාරිමාර්ග ක්‍රම ඇති කිරීම, දැදුරු ඔය ජල යෝජනා ක්‍රමය, 1977 සිට 1944 දක්වා මැතිවරණ කොට්ඨාසයෙන් භාගයක් ආවරණයවන පරිදි හා බාහිර වෙනත් මැතිවරණ කොටඨාසවලට විදුලිය ලබාදීම, 2001 - 2004 රජය යටතේ විදුලි යෝජනා ක්‍රම 17ක් සඳහා සැලසුම්කර සියලු කාර්යයන් නිමා කිරීම, ග්‍රාමීය මාර්ග පිළිසකර කිරීමේ ප්‍රතිපාදන ප්‍රාෙද්ශීය සභාවට ලබාදී විශාල මාර්ග ප්‍රමාණයක් පිළිසකර කිරීම, 1990දී මාර්ග සංවර්ධන සතිය ක්‍රියාත්මක කිරීම හරහා මාර්ග 121ක් පිළිසකර කිරීම, උදාගම් ඇති කිරීම ඇය ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතින්ය.

කාන්තා නියෝජනය ඉහළ නැංවීමට උත්සාහ කළ ඇය වනිතා කටයුතු කැබිනට් අමාත්‍යවරිය වශයෙන් ලංකාවේ ප්‍රථම වතාවට කාන්තාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම පොලිසියකම දිරිය පියස මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගත්තාය. කාන්තාවන් සඳහා දේශපාලන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළාය. ආර්ථිකය ශක්තිමත් කිරීමට වනිතා ශක්ති වැනි බැංකු ක්‍රම ආරම්භ කළාය. වසර 33ක දේශපාලන දිවිය තුළ විවිධ රටවල ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වෙමින් ඇය ලබාගත් අත්දැකීම් විශාලය. ඇය පාර්ලිමේන්තුවේ සියලු කාන්තා මන්ත්‍රීවරියන් සමඟ ඉතා සුහදව කටයුතු කළාය.

එ.ජා. පක්ෂයේ මන්ත්‍රීවරියක ලෙස කුමන හේතුවක් නිසාවත් අැය තම පක්ෂය හැර ගියේ නැත. පක්ෂ නායකත්වය සමඟ සෑමවිටම සමීපව ක්‍රියා කළාය. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය වසර ගණනාවක සිට දරමින් පක්ෂයේ උප සභාපති, ලක් වනිතා සභාපතිනි ලෙස කටයුතු කළාය. පක්ෂයේ විනය මණ්ඩලය ද නියෝජනය කළාය.

පාසල් ගුරුවරියක ලෙස වසර 16ක් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස වසර 33ක් හා ආණ්ඩුකාරවරියක්ව වසර 03ක් ද වසර 52කට ආසන්න කාලය තුළ වටිනා සමාජ සේවයක් කළ ඇය 2010දී දේශපාලන දිවියට නිමාව තැබුවාය. 2015 - 2018 වයඹ පළාත් ආණ්ඩුකාරවරිය වශයෙන් කටයුතු කළ කාලයේ අපූරු සිදුවීමක් විය. මංජුල බණ්ඩාර වයඹ පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේ ඇය ඉදිරියේය. එය තම මව ආණ්ඩුකාරධුරයේ සිටියදී පුතෙකු විසින් මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් අතිශය දුර්ලභ අවස්ථාවක් විය.

කාන්තාව නිතැතින්ම ශක්තිමත් බව විශ්වාස කරන ඇය පවුලේත්, රටේත් යහපත වෙනුවෙන් ඒ ශක්තිය භාවිතා කළ යුතු බව අදටත් සිතන්නීය. දීර්ඝ කාලයක් දේශපාලනයේ නිරතව සිටියදී ඇයට කොතෙකුත් බාධක අභියෝග තිබෙන්නට ඇත. නමුත් ඒ සියල්ල සමසිතින් දරාගෙන කාන්තාවන්ට ආදර්ශයක් වෙමින් දේශපාලන ගමන ඉතා සාර්ථකව අවසන් කළාය. මුනුපුරු මිනිපිිරියන්ගේ ආදරය විඳිමින් 86 වැනි වියේ පසුවන ඇය දිරිය මවක, දේශපාලන නියෝජිතවරියක ලෙසින් කටයුතු කළ ආකාරය ඉතා විශිෂ්ටය.