2024 20/20 චමරිගේ

ජනවාරි 29, 2024

 

ක්‍රීඩාවේ විශිෂ්ටතම ගුණාංගය වන්නේ ජය පරාජය සමසේ දරා ගැනීමේ හැකියාවයි. මේ උතුම් ගුණාංගය ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් සමීපය. ගෙවී ගිය වසර තුළ අපේ ක්‍රිකට් පිටියෙන් වැඩිපුරම ඇසුණේ ජයග්‍රහණයේ ඔල්වරසන් හඬ වෙනුවට පරාජය හමුවේ එකිනෙකා හට කරන චෝදනාය. ඒ අතුරින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණ හමුවේ කිසියම් අස්වැසිල්ලක් හිමි කරගැනීමට ක්‍රීඩා ලෝලීන්ට හැකිවිය.

මේ ජයග්‍රහණ සියල්ල හමුවේ නොපෙනෙන හස්තයක් ලෙසින් පෙනී සිටි නායක චමරි අතපත්තුගේ හැකියාව ජාත්‍යන්තර පැසසුමට ලක් විය. එයම ඇයට 2023 වසරේ අයි.සී.සී ලෝක විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය හිමිවීමට හේතුවිය. පන්දුවට පහර දීම, පන්දු රැකීමෙන් සහ පන්දු යැවීමෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ චමරි ගෙවී ගිය 2023 වසර පුරාවටම කාන්තා ක්‍රිකට් පිිටියේ විශාල පෙරළියක් කිරීමට සමත් වූවාය. මෙලෙසින් දස්කම් පෑ ක්‍රීඩිකාවන් 11 දෙනකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හඳුනාගෙන එම ක්‍රීඩිකාවන් ලෝක විස්සයි 20 කණ්ඩායම ලෙස නම් කර තිබේ. විවිධ බාධක මැද පසුගිය තරග කිහිපයකට සහභාගිවීමට නොහැකි වූ ඇයව මෙලෙස තෝරා ගැනීම ශ්‍රී ලංකාවට අභිමානයකි.

ගෙවී ගිය වසරේ ලෝක විස්සයි 20 කණ්ඩායමට කිසිම ශ්‍රී ලංකා ක්‍රීඩකයකු තෝරා නොගැනීමේ පසුබෑම හමුවේ චමරිට හිමි වූ නායකත්වය පිළිබඳ ලෝක ක්‍රිකට් ක්‍රීඩා විචාරකයන්ගේ කතා බහට ලක් වූ ප්‍රධානතම මාතෘකාව විය. ලෝක විස්සයි 20 පිරිමි කණ්ඩායමේ නායකත්වය හොබවන්නේ ඉන්දීය ක්‍රීඩක සූර්ය කුමාර් යාදෙව්ය.

මෙලෙසින් නායකත්වයට පත් වූ චමරි පසුගිය වසරේදී දැක් වූ දස්කම් බොහෝය. ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස 2023 වසරේ පැවැති අයි.සී.සි. කාන්තා විස්සයි 20 කේප්ටවුන් හි පැවැති තරගයේදීම විශිෂ්ට දස්කම් දැක්වූයේ පන්දු 50කදී ලකුණු 68 ලබා ගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 3කින් පරාජයට පත් කරමිනි. පසුගිය වසර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ස්වර්ණමය වසරක් බවට පත් කළ චමරි ඇයගේ නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමින් තවත් ජයග්‍රහණ රැසක්ම ලබා ගැනීමට සමත් විය. අයි.සී.සී තරගාවලියේ නවසීලන්තයට එරෙහිව කොළඹ දී පැවැති තරගයේදී ද ඇය පන්දු 47ක දී නොදැවී ලකුණු 80ක් ලබා ගැනීමට සමත් විය. එසේම එංගලන්තයට එරෙහි තරගයේදී ද එලෙසම දස්කම් දැක්වීමට හැකිවිය. 2023 වසරේදී චමරි විස්සයි 20 තරගයේදී පමණක් ලකුණු 470ක් ලබා ගත් අතර එය සාමාන්‍ය ලෙස 130.91 ක දළ වේගයකි. එම ලකුණු සංඛ්‍යාවට හයේ පහරවල් 15ක් ද සමඟින් කාන්තා විස්සයි 20 තරගාවලිය තුළ ඇයගේ ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් තැබීමට එය සමත් විය.

මෙලෙසින් අයි.සී.සී. ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තෝරාගත් අනෙක් ක්‍රීඩිකාවන් වූයේ බෙත් මොනී (ඔස්ට්‍රේලියාව), වුරා වොල්වාඩ්ට් (දකුණු අප්‍රිකාව), හෙලී මැතිව්ස් (බටහිර ඉන්දීය කොදෙව්), නැට් බ්‍රින්ට් (එංගලන්තය) එල්යාස් පෙරී (ඔස්ට්‍රේලියාව), ආෂ් ගාඩ්නර් (ඔස්ට්‍රේලියාව), දීප්ති ෂර්මා (ඉන්දියාව) ෂොපී එක්ලෙස්ටන් (එංගලන්තය), මෙගාන් සූට් (ඔස්ට්‍රේලියාව) යන ක්‍රීඩිකාවන්ය.

 

 

--------------------

තුන්කොන් සටන ජය ගන්නට අපේ යොවුන් පිල පිටියට

 

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව ගියේය. බංග්ලාදේශය මේ තරගාවලිය සඳහා සත්කාරත්ත්වය සපයයි.

මේ කණ්ඩාමේ නායකත්වය හොබවන්නේ මොරටුව වේල්ස් කුමරි විදුහලේ ක්‍රීඩිකා මනුදි නානායක්කාරයි. උප නායිකාව ලෙස මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දි කටයුතු කරයි. මේ තරගය සඳහා ජාතික කණ්ඩායම නියෝජනය කරන ආරම්භක පිතිකාරිනි විශ්මි ගුණරත්න ක්‍රීඩිකාව ද එක්ව සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ශක්තියකි.

ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සත්කාරක බංග්ලාදේශ යොවුන් පිල එක්වන මේ තරගාවලිය කෝන්ස් වාර්හිදී පසුගිය 24 දා ආරම්භ විය. මේ කණ්ඩායම් තුනම මූලික වටයේදී දෙවරක් එකිනෙකා සමඟ තරග වදින අතර, ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම සිටින කණ්ඩායම් දෙක පෙබරවාරි 02 දා පැවැත්වෙන අවසාන මහා තරගයට සුදුසුකම් ලබයි. තරගාවලිය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරගවදින තරගයකිනි. ඉන්පසුව ශ්‍රී ලංකා පිල පාකිස්තානයට එරෙහිව තරග වදියි. යළිත් පිළිවෙළින් බංග්ලාදේශය සහ පාකිස්තානයට එරෙහිව නැවත වරක් තරග වදින්නේ දෙවැනි වටයේදීය.

--------------------------

දැල්පන්දු ජාතික ශූරතාවය පස්වැනි වරටත් හැටන් නැෂනල් බැංකුවට

 

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධාන කළ 2024 ජාතික ශූරතා දැල්පන්දු තරගාවලිය සාර්ථක ලෙසින් පවත්වනු ලැබුවේ වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදීය. නිමාවට පත් වූ එම තරගාවලියේ ශූරතාවලිය හිමිකර ගැනීමට හැටන් නැෂනල් බැංකු (HNB) කණ්ඩායමට හැකි විය.

මෙලෙස ජය ලැබූ වූ හැටන් නැෂනල් කණ්ඩායම අවසාන මහා තරගය සඳහා සටන් වැදුණේ යුද හමුදා පිල සමඟයි. එහිදී තියුණු සටනක් කළ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම 40- 39 ලෙසින් ජයග්‍රහණය හිිමිකර ගත්තේ පස්වැන් වරටත් ජාතික ශූරතාවයට හිමිකම් කියමිනි.

එහිදී 2024 ජාතික ශුරතා දැල්පන්දු තරගාවලියේ දැල්පන්දු රැජින ලෙස ගුවන් හමුදාවේ රශ්මි පෙරේරා සම්මාන දිනා ගත්තාය. මේ අතර මෙවර ජාතික ශූරතා දැල්පන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමට එරෙහිව තරග කළ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම 61 - 49 ක ජයක් හිමිකර ගැනීමට සමත්වීම කැපී පෙනිණි.