දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ පළමු කාන්තා පුරපතිනිය සුනේත්‍රා රණසිංහ

පෙබරවාරි 5, 2024

 

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා භූමිකාව තවමත් අවම මට්ටමක පවතියි. අවසන් සංගණනයට අනුව මෙරට ජන සංඛ්‍යාවෙන් 51.6%ක් කාන්තාවන් ය. 48.8%ක් පිරිමින් ය. එසේ වුව ද නිදහස ලබා ගැනීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තුවේ 102ක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටියේ 03ක් පමණි. වර්තමාන පාර්ලිමේන්තුවේ 225න් 12කි. 2016 වර්ෂයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්යවන ආකාරයට නීතිමය විධිවිධාන සකස් කරන ලදි. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක් සඳහා 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නීති සම්මත විය. කාන්තා නියෝජනය අනිවාර්ය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතිය මෙය වේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිම සඳහාත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරිම සඳහාත් කාන්තාවන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ආයතන නියෝජනය කිරිම සඳහා පෙරට පැමිණීම කාලීන අවශ්‍යතාවයකි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය සහ දිරිමත් කිරීම අරමුණු කරගත් ලිපි මාලාවක දහතුන් වැන්නයි මේ.

සුනේත්‍රා රණසිංහ මැතිනියගේ සක්‍රීය දේශපාලන අාගමනය පියාගේ අභාවයෙන් පසුව සිදුවුවත් කුඩා කාලයේ සිට ඇය හැදී වැඩුණේ දේශපාලන වටපිටාවක වීම නිසා දේශපාලනය පිළිබඳව අවබෝධයක් සහ කැමැත්තක් ඈ තුළ තිබීම විශේෂත්වයක් විය. උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ඇය එවකට දේශපාලනඥයකුව සිටි පියාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරමින් පියාගේ දේශපාලනික, සමාජ ක්‍රියාකාරකම් අත්වින්ඳාය. පසුකලෙක එම අත්දැකීම් ඇගේ දේශපාලන ගමනට විශාල ශක්තිමත් ආරම්භයක් විය.

ඇගේ දේශපාලන ජීවිතය අපට වැදගත් වන්නේ තනතුරු දැරුව ද නොදැරුව ද ජනතා නායිකාවක් වශයෙන් එකම පක්ෂයක් නියෝජනය කරමින් ඇය වසර 47ක කාලයක් අඛණ්ඩවම ජනතාව අතර සිටීමයි. මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක්වන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 1977 දී ආරම්භ කරන ඇගේ දේශපාලන ගමන තුළ වසර 17ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළාය. පවතින මනාප ක්‍රමය හේතුවෙන් ඉන් පසුව ඇයට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට නොහැකි වුවත් ජනතාවත් පක්ෂයත් අතනොහැර ඇය වර්තමානය වනවිටත් සක්‍රිය දේශපාලනයේ නිරත වෙමින් සිටින්නීය. නියෝජ්‍ය අමාත්‍යවරියක්, කැබිනට් අමාත්‍යවරියක් සේම දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ප්‍රථම කාන්තා පුරපතිනිය ලෙසින් දේශපාලනය තුළ නොමැකෙන සටහනක් තබන්නට සමත් වූවාය. එක්සත් ජාතික පක්ෂයේ දෙහිවල ආසන සංවිධායක වශයෙන් 1977 වසරේ සිට මේ දක්වාම කටයුතු කරන ඇය එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝකාලීන සාමාජිකාවකි.

කොහුවල ප්‍රදේශයේ උපන් ඇය පවුලේ වැඩිමලා විය. ඇය අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන්ය. ඇගේ පියා එස්.ඩී.එස්. ජයසිංහ මහතා දේශපාලනයට පිවිසෙන්නට පෙර එවකට ප්‍රසිද්ධ බස් රථ ව්‍යාපාරිකයකුව සිිටියේය. මව ගෘහණියක් විය. ඇගේ එකම සහෝදරිය විශේෂ වෛද්‍යවරියකි. ආදරණීය සැමියා ඇලන් රණසිංහ ව්‍යාපාරිකයකුවන අතර දියණිය වෘත්තියෙන් ගණකාධිකාරිවරියක් සහ ව්‍යාපාරිකාවක් ද වශයෙන් කටයුතු කරයි.

පියාගේ දේශපාලන ජිවිතය ඇරඹෙන්නේ 1944 දී දෙහිවල ගල්කිස්ස පළාත් ආණ්ඩු සභාවේ නැගෙනහිර කළුබෝවිල කොටසට තරග කිරීමෙනි. ඉන් ජයග්‍රහණය ලබන ඔහු එවකට පැවති පළාත් ආණ්ඩු සභාවේ සභාපති වශයෙන් ද දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවක් වශයෙන් උසස් වූ විට එහි ප්‍රථම නගරාධිපතිවරයා වශයෙන් ද තේරි පත් විය. ඇය 1952 දී වැල්ලවත්ත ගල්කිස්ස ආසනයට තරග කිරීමෙන් අනතුරුව ඉන් ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුව නියෝජනය කළේය. 1956 මැතිවරණයෙන් එම අසුන අහිමි වුවත් නැවත 1960 දී දෙහිවල ගල්කිස්ස ආසනය ජයග්‍රහණය කරන්නට ඔහුට හැකිවිය. 1965 දී ස්වදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමති, නියෝජ්‍ය කම්කරු, රැකී රක්ෂා හා නිවාස ඇමති වශයෙන් කටයුතු කළ ඔහු 1977 මැතිවරණයෙන් ජය ලබා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා යටතේ ධීවර කැබිනට් අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය. ඔහුගේ දේශපාලන ගමන් මඟ තුළ ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන වැනි කෘතහස්ත දේශපාලන නායකයින්ගේ නොමද ඇසුර ලබන්නට හැකිවීම එකල ඔහුගේ දේශපාලන ගමන් ම‍ගේ සුවිශේෂී අත්දැකීමක් විය.

එවකට ප්‍රබුද්ධ දේශපාලනයේ නිරතව සිටි එතුමාට බ්‍රිතාන්‍ය මහ රැජින විසින් ගෞරව නාමයකින් ද පුදනු ලැබීය. ඔහු වසර 35කට ආසන්න කාලයක් දේශපාලනික, සමාජ සේවා රැසක් සිදුකර ජනතාවගේ ආදරය දිනාගත් සමාජ සේවා ක්‍රියාකාරිකයෙකි. පිටකොටුවේ අනුරාධපුර ශ්‍රී අමධ්‍යාපන සංග්‍රහ සමිතියේ ප්‍රධාන සභාපතිත්වය දරමින් අනුරාධපුර, කතරගම, මහියංගණය යන සිද්ධස්ථානවල විශ්‍රාම ශාලා පවත්වාගෙන යමින් සමාජය තුළ බෞද්ධ පුනර්ජීවයක් ඇති කරන්නට දායකත්වය ලබා දුන්නේය. බෙල්ලන්විල විහාරයේ දායක සභාවේ සභාපති තනතුර දරමින් ප්‍රදේශයේ බෞද්ධ කටයුතුවලට දායකත්වය ලබාදුන්නා පමණක් නොව දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් සිද්ධස්ථානවලට ද නොමසුරු දායකත්වය ලබා දුන්නේය. එසේම කළුබෝවිල ශික්ෂණ රෝහලේ නිර්මාතෘවරයා වන්නේ ද එතුමාය.

ධීවර කටයුතු අමාත්‍යවරයා වශයෙන් සිටියදී 1977 සැප්තැම්බර් 26 වැනිදා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් එතුමා ජීවිතක්ෂයට පත්විය. මේ හදිසි අභාවයෙන් පසුව ඇගේ දේශපාලන ගමන ආරම්භ විය. ඇය මුහුණ දුන් පළමු මැතිවරණය වන්නේ 1977 නොවැම්බර් 11 වැනි දින පැවැති අතුරු මැතිවරණයයි. එ.ජා. පක්ෂය නියෝජනය කරමින් ඇය දෙහිවල ගල්කිස්ස ආසනයෙන් තරග වැදී ඉන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා පාර්ලිමේන්තුවට පැමිණියාය. 1977 දී පාර්ලිමේන්තුවට පිවිසෙන ඇය 1994 වසර දක්වා අඛණ්ඩවම වසර 17ක් දෙහිවල ගල්කිස්ස ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට සමත් වූවාය.

ඇගේ පළමු අමාත්‍ය ධුරය වන්නේ 1982 දී ලැබුණු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයයි. පසුව කෙටි කාලයක් ඇතුළත එම වසරේදීම සෞඛ්‍ය අමාත්‍ය ධුරයට ඇයව පත්කෙරිණ. ඊට වසරකට පසුව ලංකාවේ ප්‍රථම වතාවට වනිතා කටයුතු හා ශික්ෂණ රෝහල් නමින් කැබිනට් අමාත්‍ය ධුරයක් නම් කරමින් එම තනතුර ඇයට දීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා පියවර ගත්තේය. 1990දී අධ්‍යාපන සේවා අමාත්‍යවරිය ද විය. සෞඛ්‍ය, වනිතා කටයුතු හා ශික්ෂණ රෝහල්, අධ්‍යාපන යන ප්‍රධාන අමාත්‍ය ධුර දරමින් ඇය පොදු ජනතාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළාය. ඇගේ සේවා කාලය තුළ නව පනත් නීති රෙගුලාසි හඳුන්වා දෙමින් ජනහිතකාමී සේවයක් ලබාදීමට නිරන්තරයෙන් උත්සාහ කළාය.

සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් සිටියදී ෆින්ලන්ත රජයේ ආධාර ලබාගෙන කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු ඒකකය නවීකරණය කරමින් වර්තමානයේ දක්නට ලැබෙන හදිසි අනතුරු ඒකකය නිර්මාණය කිරීමට පියවර ගත්තේ ඇයයි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පරිපාලන හා කළමනාකරණ කටයුතු ප්‍රථම වතාවට රෝහලේම අධ්‍යක්ෂ මණ්ඩලයක් වෙත පැවරීමටත් ඒ සඳහා පාර්ලිමේන්තු පනතක් ගෙන එමින් අවශ්‍ය නීති සම්පාදනය කිරීමටත් ඇය කටයුතු කළාය. කාන්තාවන්ගේ දරු ප්‍රසූතියෙන් පසුව මාස තුනක අනිවාර්ය නිවාඩුව හඳුන්වා දීමට කටයුතු කළේත් ඇයයි. අධ්‍යාපන ඇමතිව සිටියදී රාජ්‍ය උත්සවයක් පවත්වා දිවයින පුරා සියලුම පාසල්වලට එකම දිනකදී නොමිලේ පෙළ පොත් බෙදාදීමට මූලිකත්වය ගත්තාය. මෙහි විශේෂත්වය වන්නේ එවකට පැවැති යුදමය වාතාවරණය තුළ පවා ඇය උතුරු නැගෙනහිර සියලුම පළාත් ද නියෝජනයවන පරිදි දිවයිනේ ලොකු කුඩා සෑම පාසලකටම එකම දිනකදී පෙළ පොත් ලබාදීමට කටයුතු කිරීමයි.

ඇගේ ජාත්‍යන්තර අත්දැකීම් අතර ලෝක සෞඛ්‍ය සම්මේලනයේ උප සභාපතිනිය වශයෙන් කටයුතු කිරීම, නයිරෝබි කාන්තා සමුළුව නියෝජනය කරමින් කාන්තා අයිතිවාසිකම් පිළිබඳව කතා කරන්නටත් විවිධ රටවල් සමඟ දැනුම බෙදා ගැනීමටත් අවස්ථාව උදාවීම ආදිය කැපී පෙනේ. ඇය සාර්ක් සමුළුවට ද සහභාගි වුවාය. එහිදී ශ්‍රී ලංකාවෙන් නියෝජනය කළ කණ්ඩායමට නායකත්වය දුන්නේ ඇයයි.

2002 – 2004 කාලයේ ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වශයෙන් ද කටයුතු කරමින් සෑම නගරයකටම ඔසුසල් ලබා දෙමින් ජනතාවට පහසු මිලට, ගුණාත්මක ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කළාය.

දෙහිවල ගල්කිස්ස ආසනය අඛණ්ඩව වසර 17ක් ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ ඇය 2006 – 2011 කාලය තුළ දෙහිවල මහනගර සභාවේ පුරපතිනිය බවට පත්වූවාය. එම තනතුර ඇගේ දේශපාලන ගමන් මගේ සුවිශේෂී අවස්ථාවක් වන්නේ ඇය දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ පළමු කාන්තා පුරපතිනිය වශයෙන් පත්වීමයි. පුරපතිනිය ලෙසින් ඇය දෙහිවල මහ නගර සභාවේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දුන්නාය. ඇගේ ධුර කාලය තුළ එතෙක් අවිධිමත්ව තිබූ ගොඩනැඟිලි ඉදිකිරීම් සහ නිවාස ගොඩනැඟිලි සැලසුම් නිකුත් කිරීම විධිමත් නීති රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තාය. ඒ සඳහා ඇය ගනු ලැබූ දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් අනවසර ඉදිකිරීම්වලට ඇගෙන් කිසිම ඉඩක් නොලැබෙන බවට එවකට ජනතාව තුළ ඈ කෙරේ දැඩි විශ්වාසයක් නිර්මාණය වී තිබුණු බව ඇය සිහිපත් කළාය. නගරය පිරිසුදුව තබා ගනිමින් ජනතාවගේ ජන ජීවිතය පහසු කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් ජනතාවගේ එදිනෙදා ගැටලු පැමිණිලි කඩිනමින් විසඳා දීමට ඇගේ කාලය තුළ උපරිම උත්සාහ කළාය.

තම ආදරණීය පියා කෙරෙහි ජනතාව තුළ තිබූ ආදරය සහ ගෞරවය එලෙසින්ම පෙරළා ඇයට ලැබිණ. සෑමවිටම ජනතා සහයෝගය නිතැතින්ම ඇයට හිමිවීම නිසා දේශපාලනය ජීවිතය තුළ අභියෝග, බාධක, දුෂ්කරතා ඇයට තිබුණේ නැති තරම්ය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සමඟ වැඩ කිරීමට ලැබීම දේශපාලන ජීවිතේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බව කෘතවේදීව සිහිපත් කරන ඇය වර්තමාන ජනාධිපති එ.ජා.පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඉතා සමීපව ආශ්‍රය කරන බව පැවසුවාය.

1977 සිට මේ දක්වාම දෙහිවල ආසනයේ එ.ජා.පක්ෂයේ ආසන සංවිධායක වූ ඇය එ.ජා. පක්ෂයේ කාත්‍යාධිකාරී මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවකි. වර්තමාන එ.ජා. පක්ෂයේ උප සභාපතිනියක් ද වශයෙන් කටයුතු කරමින් සිටියි. පක්ෂයේ කාන්තා සංවිධානයවන ලක්වනිතා සංවිධානයේ ආරම්භක සාමාජිකාවක් වෙමින් එහි උන්නතිය වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙමින් සිටින්නීය. දශක 05කට ආසන්න කාලයක් ජය පරාජයන් හමුවේ, තනතුරු දැරීම සහ අහිමිවීම හමුවේ, තමන්ට ආදරය කළ ජනතාවගේ මෙන්ම විවේචනය කළ ජනතාවගේ ද සුබ සිද්ධිය සඳහා අපිරිමිත දයාවකින් සහ කැපවීමකින් කටයුතු කළ ඇය කවර අභියෝගයක් හමුවේ වුවද නොසැලී මුහුණ දීමට තවමත් ශක්තිමත්ව සිටින්නීය.