හැමෝටම හැඩ ගේන ලස්සනම දිග ගවුම

පෙබරවාරි 5, 2024

 

කාලයේ තාලයට විලාසිතා රැල්ලට එක් වූ ඇඳුම් අතරට ගවුම ද ඇතුළත්ය. කුඩා දැරිවියන්ගේ පටන් තාරුණ්‍යයේ පසුවන්නියන්ට ගවුම ගෙන දෙන්නේ අලංකාරයකි.

යුවතියකගේ නියම ස්වරූපය මනාව පිළිබිඹු වන්නේ ගවුමක් ඇන්ද විටයි. එසේ ගවුම ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම සාප්පු සංකීර්ණවල ඒ සඳහා ඉඩක් වෙන්කර ඇත. එහෙත් සිරුරේ හැඩයට, පැහැයට නේක මාදිලියේ ගවුම් විලාසිතා ඔබේ සිතැඟි පරිද්දෙන් මසා ගැනීම කොයිතරම් නම් අගනේද? ඔබටම නිර්මාණශීලිව නිමකර ගැනීමට ඇත්තම් එයින් දිස්වන සුන්දරත්වය ද දෙගුණ තෙගුණ වේ.

මේ නෙත් සිත් ඇද ගන්නා නවතම ගවුම් මෝස්තර කීපයකි. උපන්දිනයට, පුංචි සාදයකට, කාර්යාලයට එසේත් නැත්තම් ෆ්‍රී ෂූට් සඳහා කදිමයි.

සමහර ගවුම් විලාසිතා කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඇතැම් විලාසිතා යුවතියන් අතර ජනප්‍රිය වෙන්න වැඩි කාලයක් ගත වෙන්නෙ නැහැ. බලන්න මේ ෂිෆ්ට් ගවුම් විලාසිතාවත් එවැන්නක්.

 

අවශ්‍ය මිමි

*උරහිස = අඟල් 16

* කරවට = අඟල් 15

* ඉණ දක්වා උස = අඟල් 16

* උකුළ දක්වා උස = අඟල් 23

* උස = අඟල් 35

* පපුවවට = අඟල් 35

*ඉණවට = අඟල් 30

*උකුළවට = අඟල් 38

*අත උස = අඟල් 18

* කැප් උස = අඟල් 4

* අත අගවට = අඟල් 9

* පතරොමේ අත්කට

අඟල් 10

 

රෙදි කපා ගැනීම

පතරොම සාදා ගැනීම සඳහා නැම්ම රේඛාවට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස, උකුළ දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස් ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල හා මැවුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. GI යාකර අංශය අඳින්න. මැහුම් වාසි තබාගන්න.

උකුළවට ප්‍රමාණය හතරෙන් බෙදා මැවුම් වාසි හා බුරුල සඳහා එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය jk වේ. GIK යාකර අංශය අඳින්න. K සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. අවශ්‍ය නම් අඟලක් වාටිය ඇතුළටකර හැඩ කරන්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපී යන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

පසුපස

පසුපස සඳහා බලවාටියට ගන්න. බලවාටියේ සිට අඟල් 1ක් වාසි තබා නැම්ම අඳින්න.ඉදිරිපස පතරොම නැම්ම මතින් තබාගන්න. පසුපස කර ගැඹුර අඟල් 2ක් පමණ පහත්කර කපාගන්න.

 

අත

අත සඳහා අවශ්‍ය රෙදි කොටස නැම්මට තබාගන්න. ඉහළින් රේඛාවක් අඳින්න.නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සදහා මැහුම්වාසි තබා වාටිය රේඛාව අදින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අත අගවට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යා කරන්න.

 

 

මැසීම :-

 

* උරහිස මසන්න.

* කර පයිපින් හෝ පේශින්

කරන්න.

* අත පතරොමට අල්ලන්න.

* අංශය මසන්න.

* වාටිය මසන්න.

විශේෂ ස්තූතිය - GFlock ආයතනයට

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී දිලූෂි දසනායක