වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ගැහැනු පිරිමි භේදයක් කිසිම ක්ෂේත්‍රයකට බලපාන්නේ නැහැ
මේ අපේ රටේ සුවහසක් ජීවිත අයදින හදවත්වල පණනල රැකදෙන්න වෙර දරන එකම කාන්තා හෘද හා උරස් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියයි. ඇය ටෝළූෂා හරිශ්චන්ද්‍රයි.
දකුණු අමෙරිකාවේ කොලොම්බියා, පේරු සහ වෙනිසියුලාවේ ප්‍රදේශවල දැකිය හැකි ටෝලු නම් අලංකාර පුෂ්පයට හිමි නම උරුමකර ගත්තියකි. එය ලෝකයේ ඉතා මිල අධික සුවඳ විලවුන් නිෂ්පාදනයටත් යොදා ගන්නා මල් වර්ගයකි. එවන් අමිල වටිනාකමකින් යුත් නමක් හිමි ඇය සැබැවින්ම අපේ රටට දැයට අමිල සම්පතකි.
මෙරට සිටින එකම කාන්තා විශේෂඥ හෘද රෝග ශල්‍ය වෛද්‍යවරිය සේම මෙරට එක්මෝ ප්‍රතිකාර ක්‍රමය හඳුන්වා දුන්නේ ද ඇයයි. ටෝලූෂා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක බවට පත්වන්නේ සැත්කම් සිදු කිරීමේ පුහුණුව ලැබීමේ දී රන් සම්මානයක් පවා දිනා ගනිමිනි. ඇය දැනට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝග සැත්කම් ප්‍රතිකාර ඒකකයේ සේවය කරනු ලැබේ. එතුමිය සුවසක් කාන්තා ඔබ අමතන්නේ කාන්තාවක ලෙසින් තමන්ට ආ ගමන්මඟ පැවසීමටයි.
වෛද්‍යතුමියනි, ඔබතුමිය පිළිබඳ කෙටි හැඳින්වීමකින් අපි මේ කතාබහ ආරම්භ කරමු.
මගේ පියා මෙරට ජන හදවත් දිනාගත් මනෝ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට සේවය කළ විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍රයි. මව පද්මිණි හරිශ්චන්ද්‍රයි. නැගණිය නවෝදා හරිශ්චන්ද්‍ර කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරයි. ඇය පියාගේ අඩිපාරේ ගමන් කරමින් විශේෂඥ මනෝ වෛද්‍යවරියක ලෙස කටයුතු කරයි. මගේ සැමියා ගාල්ලේ තල්පේ පදිංචි රංජිත් ජයවීර. ඔහු උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකි.
*ඔබතුමිය වෛද්‍යවරියක වීම දක්වා මේ ආ ගමන් මඟ සිහිපත් කළොත්?
මම 'අ' යනු 'අා' යනු කිව්වේ විදෙස් රටක. ඒ කියන්නෙ මගෙ තාත්තාගේ රැකියාව නිසා අපි පුංචි කාලේ විදෙස්ගතවයි සිටියේ. ඒ නිසා මම මුලින්ම පාසල් ගියේ ස්කොට්ලන්තයේ. පසුව ලංකාවට ඇවිත් තුන්වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. 1987 වසරේ දී සංඝමිත්තා විද්‍යාලයෙන් ජීව විද්‍යා අංශයෙන් A සාමාර්ථ හතරක් සහිතව උසස් පෙළ සමත් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි ගාල්ලේ සිසුවියක් ජීව විද්‍යා අංශයෙන් A සමාර්ථ හතරක් ගත්තු පළමු වතාව. ඉන්පසුව විශ්ව විද්‍යාල ප්‍රවේශයක් ලැබෙනතුරු කෙටි කාලයක් මහනුවර පිහිටි ජාතික මූලික අධ්‍යයන අායතනයේ රැකියාවක් කරන්න අවස්ථාව ලැබුණා. මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා යටතේ සේවය කළ ඒ කාලයේදී පර්යේෂණ කටයුතුවලට දායක වෙන්න ලැබීම මගේ ජීවිතයට ඉතා විශාල ශක්තියක්. ඉන්පසුව මා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා.
හෘද රෝග වෛද්‍ය අංශය තෝරා ගන්නේ කෙසේද?
කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත්ව පසුව රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වී කායව්‍යවච්ඡේද අංශයේ සේවය කළා. ඒත් එක්කම මා ශල්‍ය වෛද්‍යවරියක් බවට පත්වන්නේ සැත්කම් සිදු කිරීමේ පුහුණුව ලැබීමේ දී රන් සම්මානයක් පවා දිනා ගනිමිනි. එතැනදී තමයි මගේ ජීවන සහකරු මුණ ගැසුණේ. ඉන් අනතුරුව ගාල්ල, කොළඹ, මහනුවර හා බදුල්ල රෝහල්වල සේවය කරන්න අවස්ථාව උදාවුණා.
දැනට ලංකාවේ එක්මෝ ප්‍රතිකාර ක්‍රමයට ප්‍රසිද්ධියක් උසුලන වෛද්‍යවරිය ඔබයි?
ඔව්. මා මේ වනවිට අපේ රටේ රෝහල් කීපයක සේවය කළා. ඒ සඳහා මා එංගලන්තේ ග්ලේන් ෆීල්ඩ් ශික්ෂණ රෝහලට ඇතුළත් වුණා. බ්‍රිතාන්‍යයේ ඇති විශාලතම හා වඩාත්ම දියුණුතම එක්මෝ මධ්‍යස්ථානයේ ප්‍රධානියා වූ විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍ය රිචර්ඩ් ෆර්මින් මහතා මට විශාල දැනුම් සම්භාරයක් ලබා දුන්නා. ඒ අතර මා එක්මෝ යන්ත්‍ර භාවිතයෙන් කරනු ලබන සංකීර්ණ ප්‍රතිකර්ම ක්‍රම පිළිබඳව පුහුණුවක් ලැබුවා.
මම ඒ රටේ දී එක්මෝ ප්‍රතිකාර කිරීමට සිදුවන රෝගීන් සම්බන්ධයෙන් පරීක්ෂණ රැසක් සිදු කළා. මා ලංකාවට ඇවිත් කැලණිය විශ්ව විද්‍යාලයට එක්මෝ සම්බන්ධ පරීක්ෂණ කීපයක් සාර්ථක ලෙස සිදු කළා. පසුගිය කාලයේ එක්මෝ ප්‍රතිකාරය මෙරට ප්‍රසිද්ධ වනුයේ කොරෝනා ආසාදිත රෝගීන් රැසකට එමඟින් ප්‍රතිකාර ලබාදීම හේතුවෙනි.
මම විදෙස් පුහුණුව අවසන්කර ලංකාවට ආවට පස්සේ කරාපිටිය රෝහලේදී දරුවන්ගේ හෘද සැත්කම් සිදු කිරීම ගැන වැඩි අවධානයක් යොමු කළා. දැනට මී උණ සෑදුණු අයගේ ජීවිත බේරා ගැනීම සඳහා සාර්ථක එක්මෝ ප්‍රතිකාර වැඩිම ගණනක් කරපු රට බවට පත්වෙලා තිබෙනුයේ අපේ රටයි.
සුවහසක් රෝගීන්ගේ කටයුතුවලදී ඔබ ඉදිරියෙන්. එහිදී කාන්තාවක් වීම හේතුවෙන් ඔබට මුහුණ පෑමට සිදු වූ කටුක අත්දැකීම් තිබේද?
ඇත්තෙන්ම ඔව්. ලංකාවේ එකම විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍යවරිය මමයි. කිසිවකුට මගේ දැනුම සොරකම් කරගන්නට බැහැ. කාන්තාවකට හෘද සැත්කම් ක්ෂේත්‍රය ගැළපෙන්නේ නෑ කියලා කාටවත්ම කියන්න බැහැ.
ගැහැනු පිරිමි භේදයක් කිසිම ක්ෂේත්‍රයකට බලපාන්නේ නැහැ. මා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වන කාලයේ කාන්තාවන් ඉතා සුළු පිිරිසකුයි ඒ සඳහා ඇතුළු වුණේ. එහෙත් දැන් ඒ තත්ත්වය වෙනස් විය යුතුයි.
හෘද සැත්කම් සංකීර්ණයි, ඒ පිළිබඳ විස්තර කළොත්?
අපි කරන්නේ කෙනකුට ජීවිතයක් ලබාදීම. හරියට අභය දානයක් දීමක් වගේ. මේ මිනිසුන්ගේ ජීවිතය තියෙන්නේ අපේ අතේ. හදවත නවත්තලා ගොඩක් වෙලා ඉන්න බැහැ. ඉක්මනට නිවැරැදිව සැත්කම් කළ යුතුයි. ගතවූ වසරේදී අපි බයිපාස් සැත්කම් 100ක් පමණ කර සියයට 100ක්ම සාර්ථක වුණා.