වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ලංකාවේ ප්‍රථම කාන්තා පුරපතිනිය චන්ද්‍රා රණරාජා
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා භූමිකාව තවමත් අවම මට්ටමක පවතියි. අවසන් සංගණනයට අනුව මෙරට ජන සංඛ්‍යාවෙන් 51.6%ක් කාන්තාවන් ය. 48.8%ක් පිරිමින් ය. එසේ වුව ද නිදහස ලබා ගැනීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තුවේ 102ක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටියේ 03ක් පමණි. වර්තමාන පාර්ලිමේන්තුවේ 225න් 12කි. 2016 වර්ෂයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්යවන ආකාරයට නීතිමය විධිවිධාන සකස් කරන ලදි. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක් සඳහා 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නීති සම්මත විය. කාන්තා නියෝජනය අනිවාර්ය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතිය මෙය වේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිම සඳහාත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරිම සඳහාත් කාන්තාවන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ආයතන නියෝජනය කිරිම සඳහා පෙරට පැමිණීම කාලීන අවශ්‍යතාවයකි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය සහ දිරිමත් කිරීම අරමුණු කරගත් ලිපි මාලාවක දහහතර වැන්නයි මේ.
අනුරාධපුර මැදවච්චියේ මහදිවුල්වැව ඉපැරැණි ග්‍රාමයේ මහදිවුල්වැව පරම්පරාවේ වැඩිමහල් දියණිය ලෙස උපන් චන්ද්‍රා මහදිවුල්වැව කුඩා කාලයේ ඉතා නිහඬ චරිතයක් විය. මේ නිහඬ දැරිය පසුකලෙක මෙරට දේශපාලනය තුළ සිය නම සනිටුහන් කරන්නට සමත් වුයේ මෙරට ප්‍රථම කාන්තා පුරපතිනිය බවට පත්වෙමිනි.
ඇගේ මෙම ගමන් මඟ වෙනස් කරන්නට විශේෂයෙන්ම බලපෑවේ ඈ ඉගෙනුම ලැබූ මහනුවර හිල්වුඩ් පාසල වන්නට ඇතැයි ඇගේ ඥාතීන් අදටත් සිහිපත් කරයි. එදා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් ඇයව පත් කිරීමේ අවසන් ප්‍රතිඵලය වුයේ එතෙක් නිහඬ චරිතයක්ව සිටි චන්ද්‍රා ඉන් ඔබ්බට ගොස් විශ්වවිද්‍යාලයෙන් පසුව සමාජය තුළත් ක්‍රියාකාරී තරුණ දේශපාලන නියෝජිතවරියක් බවට පත්වීමයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සාමාජිකාවක් වශයෙන් කටයුතු කළ ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු සෙනෙට් සභාවේ සාමාජිකාවක් ලෙසින් ද පසුව මහනුවර නගර සභාවේ පළමු කාන්තා පුරපතිනිය වශයෙන් පත්ව මෙරට දේශපාලනය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වූවාය.
අනුරාධපුර කච්චේරියේ රටේ මහත්තයා වශයෙන් කටයුතුකර පසුව කලා වැව ප්‍රදේශය නියෝජනය කරමින් දේශපාලනයේ නිරත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එස්.එච්. මහදිවුල්වැව මහතා සහ මාලනී මහදිවුල්වැව මහත්මිය ඇගේ මවුපියන්ය. ඇගේ මුත්තණුවන් වූ ඩී.පී. බී. මහදිවුල්වැව මහතා බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ක්‍රියාත්මක වූ ගම් විනිශ්ච සභාවේ සභාපතිවරයෙක් විය. මිරිසවැටිය ප්‍රතිසංස්කරණ කමිටුවේ සාමාජිකාවක් වූ ඇගේ මව රජරට ප්‍රදේශයේ ආගමික හා සමාජීය පුනර්ජිවනය උදෙසා සිය දායකත්වය ලබා දුන් සමාජශීලී කාන්තාවක් වුවාය. මෙවැනි දේශපාලන වටපිටාවක හැදී වැඩුණද කුඩා කාලයේ ඒ පිළිබඳව විශේෂ ඇල්මක් ඇයට තිබුණේ නැත.
කුඩා චන්ද්‍රා පාසල් අධ්‍යාපනය ලබන්නට ගියේ මහනුවර හිල්වුඩ් විදුහලටයි. එහිදී ඇයට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර හිමි විය. එතෙක් නිහඬ චරිතයක්ව සිටි මේ දැරිය ඉන්පසුව පාසලේ ක්‍රියාකාරී සිසුවියක් වුවා පමණක් නොව පාසලේ සිසුන් වෙනුවෙන්ම සෑමවිටම පෙනීසිටින්නටත් සිසුන්ගේ අභිවෘද්ධිය උදෙසා සිය සහයෝගය ලබා දීමටත් කටයුතු කළාය. ඇය උසස් අධ්‍යාපනය පේරාදෙණිය සරසවියෙන් අවසන් කළාය. ඇගේ විශ්වවිද්‍යාල අාගමනය ද එක්තරා අන්දමේ වාර්තාවකි. උතුරු මැද පළාතෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පළමු කාන්තාව වන්නේ ඇයයි. මේ සුවිිශේෂි අවස්ථාව සැමරීමට 1961 පැවැති උපාධි ප්‍රදානෝත්සවයට ඥාතීන් විශාල පිිරිසක් ඇයට සුබ පතන්නට සරසවියට පැමිණියහ.
විශ්වවිද්‍යාලය තුළ කැපී පෙනෙන ශිෂ්‍යාවක් වූ චන්ද්‍රා එවකට ශිෂ්‍ය දේශපාලනයේ ප්‍රමුඛ පෙළේ චරිතයක් බවට පත්ව සිටියාය. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතරේම ඇය ශිෂ්‍ය සෙනෙට් සභාවේ නියෝජිත තනතුරක් හෙබවීය. මේ තනතුර එතෙක් හිමිව තිබුණේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යධුරය දරන කෙනෙකුට වුවත් ප්‍රථම වතාවට ශිෂ්‍යයෙක් ඒ සඳහා පත්කිරීම විශේෂ විය. මෙම තනතුරට ඇයව පත්වීමත් සමඟ ඇගේ දේශපාලන ගමන තවත් තීව්‍ර විය. සරසවිය තුළ ඇය නියෝජනය කළේ මාක්ස්වාදී විරෝධි මතවාදයයි. මේ නිසා මාක්ස්වාදී කණ්ඩායම්වල විරෝධතා හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන්ට ඇය එකළ මුහුණ දුන්නාය. ඇගේ ක්‍රියාකාරී දේශපාලනයේ ආරම්භය සිදු වුයේ සරසවි ශිෂ්‍යාවක්ව සිටියදී 1960 පැවැති මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීම තුළිනි.
සරසවි අධ්‍යාපනයෙන් අනතුරුව ගුරුවෘත්තිය තෝරා ගන්නා ඇගේ පළමු පත්වීම වූයේ අනුරාධපුර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයයි. එම පාසලේ දරුවන්ගේ නොමඳ ආදරය
දිනාගැනීමට සමත්වන ඇය ඇගේ පළමු ශිෂ්‍ය කණ්ඩායම අතර ජනප්‍රිය ගුරුවරිය බවට පත් සිටියාය. විවාහයෙන් පසුව මහනුවර පදිංචියට එන ඇය ඉන්පසුව උසස් බාලිකාවේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කළාය. පාසල් ශිෂ්‍යාවන් ඇයව හැඳින්වුයේ විශාකාව යන අන්වර්ථ නාමයෙනි.
ඇය විවාහ වන්නේ නීතිඥයකු සහ එවකට සෙංකඩගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි ෂෙල්ටන් රණරාජා මහතා සමඟයි. ඔහුගේ පියා 1931 සිටම රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරග වැද පසුව එ.ජා.පක්ෂය නියෝජනය කරමින් ලංකා සෙනෙට් සභා සභිකයෙකු සහ අධිනීතිඥයකු වූ පී.බී. රණරාජා මහතාය. ඔහුගේ පවුල එ.ජා.පක්ෂයේ දැඩි ආධාරකරුවන් වු නමුත් රණරාජා 1960 දී ශ්‍රී ල.නි. පක්ෂය නියෝජනය කරමින් සෙංකඩගල ආසනයට තරගකර ජයග්‍රහණය කළේය. නමුත් 1964 දී ආණ්ඩුව ගෙන ආ ලේකහවුස් ආයතනය ජනසතු කිරීමේ පනතට එරෙහිව ඡන්දය ලබාදුන් මන්ත්‍රීන් නවදෙනා අතුරින් රණරාජා ද කෙනෙක් වීම නිසා ශ්‍රී ල.නි.පක්ෂය ඔහුව නෙරපා හැරියේය.
1977 මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා එ.ජා.ප. නායක ජේ.ආර්. ජයවර්ධන මහතා ඈ වෙත භාරධූර වගකීමක් පවරා තිබුණි. එම මැතිවරණය සඳහා සෙංකඩගල ප්‍රදේශයෙන් සංගීත කණ්ඩායමක් නිර්මාණය කරගනිමින් එම කණ්ඩායම දිවයිනේ සෑම මැතිවරණ ප්‍රචාරක රැලියකටම සහභාගි කරවීමට කටයුතු කළාය. 1973 දී ජේ. ආර්. ජයවර්ධන මහතා යටතේ නැවත එ.ජා.පක්ෂයට එක්වන ඇගේ සැමියා සෙංකඩගල ආසන සංවිධායක වශයෙන් කටයුතු කරමින් 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ලබා නව එ.ජා. පක්ෂ රජය යටතේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා බවට පත්විය. පසුව ඇති වූ විවිධ දේශපාලන වෙනස්කම් මධ්‍යයේ 1988 දී ඔහු සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් සමුගෙන නීති ක්ෂේත්‍රයේත්, සමාජ සේවා කටයුතුවලත් නිරත විය. ප්‍රතිපත්ති ගරුක දේශපාලනයේ නිරත මහජන නියෝජිතවරයෙක් ලෙස බොහෝ පිිරිසක් හඳුනාගෙන සිටි ඇගේ සැමියාට සෙවණැල්ලක් සේ හිඳිමින් ඔහුගේ දේශපාලන ගමනට විශාල ශක්තියක් වූයේ ඇයයි.
දරුවන් නිසා ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වුවද ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දරමින් දිගටම සේවය කළාය. 1978 රජය යටතේ විශ්වවිද්‍යාල පනතක් මඟින් හඳුන්වා දුන් සෙනෙට් සභාව සඳහා විශ්වවිද්‍යාලයට පරිබාහිර කීර්තිමත් පුද්ගලයෙක් පත්කළ යුතු බවට තීරණය කළ අවස්ථාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු සෙනෙට් සභාවේ සාමාජිකයෙකු වශයෙන් එවකට රජය චන්ද්‍රා රණරාජා පත්කළාය.
ඇගේ ක්‍රියාකාරී දේශපාලන භාවිතාව සහ මහනුවර ප්‍රදේශය තුළ ඈ ලබා තිබූ ජනප්‍රියත්වය හා කැපී පෙනෙන දක්ෂතා හේතුවෙන් ඇයට ප්‍රාෙද්ශීය දේශපාලනයට අවතීර්ණ වීමට අවස්ථාව උදා විය. ඒ අනුව 1979 දී පැවැති නගර සභා මැතිවරණයෙන් ජයග්‍රහණය ලබන ඇය මහනුවර නගර සභාවේ උප නගරාධිපති වශයෙන් පත්වුණු අතර 1990 දී එවකට සිටි නගරාධිපතිවරයා වෙත ආණ්ඩුකාරධූරය පිරිනැමුණු අවස්ථාවේ ඊළඟට ඡන්දහිමි නියෝජිතයා වශයෙන් හිස් වූ නගරාධිපති තනතුරට ඇය නිතරගයෙන් පත්වුවාය. එම පත්වීම ඇය මහනුවර ප්‍රථම කාන්තා නගරාධිපති වුවා පමණක් නොව ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා පුරපතිනිය බවට ද පත්වුවාය. 1979 සිට 1994 දක්වා කාලය තුළ මහජන නියෝජිතවරියක් ලෙස ඇය මහනුවර නගර සභාව නියෝජනය කළාය.
මහනුවර නගරාධිපති ලෙස ඇය එවකට කාන්තා නියෝජනය වීම නිසා විවිධ අභියෝග වලට මුහුණ දුන්නාය. නමුත් ඒ සියල්ල ජයගෙන මහනුවර නගරය සංවර්ධනය කිරීම සහ මහනුවර නගරය ලෝක උරුම නගරයක් බවට පත් කරමින් ඊට අවශ්‍ය නීති හඳුන්වා දෙමින් සංරක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කරන්නට ඇය සමත් විය. එකල මහනුවර නගරය පුරා ව්‍යාප්තව තිබූ පේළි සහ අක්‍රමවත් නිවාස ඉවත් කරමින් නගරයේ සුන්දරත්වය ආරක්ෂාකර ගැනීමට උත්සාහ කළාය. ඒ සඳහා ගනු ලැබු ඇතැම් තීරණ සාර්ථක වූ අතර ඇතැම් තීරණ අසාර්ථක වූ අවස්ථාවන් ද විය. අඩු ආදායම්ලාභී පවුල් ජීවත් වූ ප්‍රදේශවල ජනතාව ඉන් ඉවත් කරගෙන වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීමේ දී ඇය විශාල අභියෝගයන්ට මුහුණ දුන්නේ ඇතැම් පිරිස් පොඩි මිනිහාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම පිළිබඳව දැඩි විරෝධයක් එල්ල කිරීම නිසාය. මහා මාර්ග වැඩි දියුණු කරමින් ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇය විශේ්ෂ අවධානයක් යොමු කළාය. එකල සනීපාරක්ෂක පහසුකම් නොමැතිව සිටි ජනතාවට ප්‍රථම වතාවට බාල්දි වැසිකිළි ක්‍රමය වෙනුවට ප්‍රමිතිගත වැසිකිළි පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කළේ ඇයයි.
ලෝක උරුම නගරයක් වශයෙන් මහනුවර නගරය සංවර්ධනය කිරීමට ඇය විශාල පරිශ්‍රමයක් දැරුවාය. මේ නිසා එකල මහනුවර නගරයේ ඇයව නොදත් කෙනෙක් සිටියේ නැත. උසස් වැදගත් කුල කාන්තාවක් වශයෙන් ඇයට මහනුවර ප්‍රදේශයේ ජනතාවගෙන් ඉහළ ගෞරවයක් සහ ප්‍රසාදයක් හිමිව තිබිණ. ඕනෑම තරාතිරමක පුද්ගලයකු සමඟ ඇය සුහදව කතාබහ කළාය. හෙළකුල කාන්තාවක් සේ ඇදි උඩරට ඔසරිය, ගෙල බැඳි පබළු මාලයත්, කොණ්ඩා ගෙඩියත් ඇයටම අාවේණික විලාසිතාවක් විය. හිල්වුඩ් විද්‍යාලයට, නගර සභාවට හෝ නගරයේ සති පොළට ඇය තනිවම ඇවිද ගියාය. ඒ යන සෑම මොහොතකම ඇයට ජනතාව මුණගැසෙන්නට අවස්ථාව සැලසුනු අතර ඇය ඔවුන් සමඟ සමීපව කතාබහ කළාය. ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනා ගත්තාය. ඉල්ලීම්වලට අැහුම්කම් දුන්නාය. ඇය ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පවා මහනුවර උරුමය පිළිබඳව අවධානය යොමු කළා පමණක් නොව ඇගේ අවසාන කාලයේත් මහනුවර උරුමය රැකගැනීමේ සමූහයේ ක්‍රියාකාරී සාමාජිකාවක්ව කටයුතු කළාය.
ඇය දේශපාලන නියෝජිතවරියක් වශයෙන් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ කාන්තාවකි. විපක්ෂයේ අදහස් සහ විචේචන නොපැකිළව පිළිගත්තාය. 88 -89 භීෂණ සමයේ එවකට රජය විසින් අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව උදෙසා පොලිස් නිලධාරීන් ඔවුන්ගේ නිවෙස් වෙත ලබාදීම අනිවාර්යකර තිබුණු අවස්ථාවේ රණරාජා යුවළ පොලිස් ආරක්ෂාව තරයේ ප්‍රතික්ෂේප කළ අතර අවශ්‍යම නම් රාත්‍රියට පමණක් එම නිලධාරීන් යොදවන්නැයි ඉල්ලා සිටියහ. ඔවුන් දෙදෙනා මියෙනතෙක්ම කිසිම ආරක්ෂකයෙක් ළඟ තබා ගත්තේ නැත. ඔවුන් ගතකළේ ඉතා සරල දිවිපෙවෙතක්ය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ ඉතා සමීපව ගනුදෙනු කරන්නට ඇයට අවස්ථාව සැලසුණත් කිසි විටෙක ඇය නායකත්වයට විරුද්ධව හෝ පක්ෂයේ උන්නතියට පටහැණිව කටයුතු කළේ නැත. ඇය එ.ජා.පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කළාය. ලක් වනිතා සංවිධානයේ කාන්තා සහ තරුණ කටයුතු සංවිධායක ලෙසත් කටයුතු කළාය. ඒ සෑම මොහොතකම ඇය කාන්තාවන් නියෝජනය කළාය.
ප්‍රමිලා, අරුණි, නිවුන් දරුවන්වන ශිරෝමි, ශමිලා සහ අංජලී ඇගේ ආදරණීය දියණියන් පස්දෙනාය. ඇය සෑමවිටම දරුවන්ට ආදරණීය මවක් වෙමින් ඔවුන්ට උසස් අධ්‍යාපනය ලබාදුන්නාය. වර්තමානයේ ඇගේ බාල දියණිය වන අරුණි රණරාජා මහත්මිය නෙදර්ලන්ත රජයේ මෙරට තානාපතිනිය වශයෙන් භාරධූර කාර්යයක නියැළෙමින් සිටින්නීය. ඇගේ වැඩිමහල් දියණිය ප්‍රමිලාගේ සැමියා තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා වර්තමානයේ දේශපාලනයේ නිරතව සිටියි. 2016 දී මෙලොවින් සමු ගන්නා ඇය කාන්තා මහජන නියෝජිතවරියක් වශයෙන් මහනුවර නගරය ලෝක උරුම නගරයක් බවට පත්කිරීමට සිය උපරීම දායකත්වය ලබාදුන්නාය. මහනුවර ජනතාව තුළ අදටත් ඇය මතකයේ සිටින්නේ ඇය අනුගමනය කළ මහත්මා දේශපාලනය නිසා වන්නට ඇත.