අධිකරණ කටයුතු පිළිබඳව ලංකාවේ ප්‍රථම කාන්තා කැබිනට් අමාත්‍යවරිය

නීතිඥ තලතා අතුකෝරළ
පෙබරවාරි 19, 2024

 

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා භූමිකාව තවමත් අවම මට්ටමක පවතියි. අවසන් සංගණනයට අනුව මෙරට ජන සංඛ්‍යාවෙන් 51.6%ක් කාන්තාවන් ය. 48.8%ක් පිරිමින් ය. එසේ වුව ද නිදහස ලබා ගැනීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තුවේ 102ක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටියේ 03ක් පමණි. වර්තමාන පාර්ලිමේන්තුවේ 225න් 12කි. 2016 වර්ෂයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්යවන ආකාරයට නීතිමය විධිවිධාන සකස් කරන ලදි. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක් සඳහා 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නීති සම්මත විය. කාන්තා නියෝජනය අනිවාර්ය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතිය මෙය වේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිම සඳහාත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරිම සඳහාත් කාන්තාවන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ආයතන නියෝජනය කිරිම සඳහා පෙරට පැමිණීම කාලීන අවශ්‍යතාවයකි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය සහ දිරිමත් කිරීම අරමුණු කරගත් ලිපි මාලාවක පහළොස් වැන්නයි මේ.

අද අප කතා කරන දේශපාලන නියෝජිතවරිය මෙරට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයට පත් ප්‍රථම කාන්තා කැබිනට් අමාත්‍යවරියයි. අධිකරණය වැනි සුවිශේෂී විෂයක කැබිනට් අමාත්‍ය ධුරයක් මෙතෙක් කාන්තා නියෝජිතවරියක් වෙත පැවරී තිබුණේ නැත. එසේම ඇය විදේශ රැකියා කටයුතු පිළිබඳව ද මෙරට පළමු කාන්තා කැබිනට් අමාත්‍යවරිය වන්නීය. ඇය නමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරළ මැතිනියයි.

දේශපාලනයට පිවිසීමට තුන්හිතකවත් බලාපොරොත්තුවක් නොතිබූ අවස්ථාවක ඇය 2004 වසරේදී දේශපාලනයට අවතීර්ණ වූවාය. වසර දහයක් විපක්ෂයේ ප්‍රබල සාමාජිකාවක් ලෙසත් ඉන්පසුව වසර 05ක් කැබිනට් අමාත්‍යවරියක් සහ වර්තමානයේ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙසත් කටයුතු කළ ඇය වසර විස්සකට ආසන්න කාලයක් අඛණ්ඩව ජනතා ආදරය දිනාගනිමින් මහජන නියෝජිතවරියක් වශයෙන් කටයුතු කරමින් සිටින්නීය. විවිධ අභියෝග මැද වුව ඇය මුහුණ දුන් මැතිවරණ සියල්ලම ජයගෙන සුවිශේෂී වාර්තාවක් තබන්නට ද සමත් වූවාය. 2015 මහ මැතිවරණයෙන් දිවයිනේ වැඩිම මනාප ලබාගත් කාන්තා නියෝජිතවරිය වන්නේ ඇයයි. 2004 සිට 2015 දක්වා පැවැති සෑම මැතිවරණයකදීම රත්නපුර දිස්ත්‍රික්කයේ ඉහළම මනාප ලබාගත් මහජන නියොජිතවරිය ද වූවාය. දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන නියෝජිතයන් අභිභවමින් සහ විශාල අභියෝග මැද 2020 පැවැති මහමැතිවරණයත් ඇය ඉහළින්ම ජයග්‍රහණය කළාය. රත්නපුර ෆර්ගසන් විදුහල, කොළඹ මියුසියස් විදුහල, බිශොප් විදුහල, රත්නපුර ජේසු බිලිඳුන්ගේ කන්‍යාරාමය යන පාසල් තුළින් අධ්‍යාපන ලබාගත් ඇය ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිඥවරියක් බවට පත් වූවාය. ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ ඇගේ පියා සහ මව එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෝ වූහ. එකළ ඔවුන්ගේ විවාහයට අත්සන් කරන්නේ ඩී.එස්. සේනානායක මහතා සහ ෆැන්සිස් මොලමුරේ මහතාය. 60 දශකයේ මැතිවරණ දෙකකින් ජයග්‍රහණ ලබන ඔහු ජේ.ආර්. ජයවර්ධන සහ ඩඩ්ලි සේනානායක යන නායකයන් යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ එ.ජා. පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයෙක්ව කටයුතු කළේය. තලතා අතුකෝරළ නම කියැවෙන, ඇසෙන ඕනෑම කෙනෙකුට නිතැතින්ම සිහියට නැගෙන නමක් වන්නේ ගාමිණී අතුකෝරළ යන්නයි. ඇය එවකට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ උප නායක වශයෙන් පක්ෂයේ භාරධුර කර්තව්‍යයක නියැළී සිටි, ප්‍රකට දේශපාලන නියෝජිතවරයෙක් වන දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී අතුකෝරළ මහතාගේ බාල නැගණියයි. 1977 දී දේශපාලන ගමන ආරම්භ කරන ඔහු තරුණ කටයුතු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය ධුරය සහ වාරිමාර්ග, මහවැලි ඉඩම් හා ගුවන් සේවා යන අමාත්‍යංශයන්හි කැබිනට් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරන අතර, 2002දී ඇතිවූ හදිසි රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වෙයි. ඔහුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරමින් සිටිය ද සක්‍රීය දේශපාලනයට පිවිසීමේ කිසිදු උවමනාවක් ඇයට තිබුණේ නැත. නමුත් සිය ආදරණීය සොහොයුරාගේ හදිසි අභාවයත් සමඟ දිස්ත්‍රික්කයේ ජනතාව එවකට එ.ජා. පක්ෂ නායකත්වය වෙතින් සොහොයුරාගෙන් හිස්වූ ආසනයට ඇයව පත්කරන ලෙස ඉල්ලා සිටියහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ අභාවයෙන් පසුව නැවතුණු දේශපාලන ගමන රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ආසනය නියෝජනය කරමින් ඇය ආරම්භ කළාය.

වෛරී දේශපාලන ක්‍රමයත් සියලු දේ මුදල් මත තීරණය වන පරිසරයක් නිර්මාණය වී තිබීම නිසාත් එකළ නිවිතිගල ආසනයේ මැතිවරණ කටයුතු සිදුකිරීම ඇයට අතිශය අමාරු සහ දුෂ්කර එකක් විය. නමුත් සාමකාමී දේශපාලන ක්‍රමයක් අනුගමනය කිරීමට ඇය නිතරම උත්සාහ කළාය. 2008දී රත්නපුර දිස්ත්‍රික්කයේ එ.ජා.පක්ෂයේ සංවිධායක සහ කාන්තා සංවිධානයේ සභාපති වශයෙන් දිවයින පුරා පක්ෂයේ සංවිධාන කටයුතුවල නිරත වූවාය. මෙරට අධිකරණ අමාත්‍ය ධුරය සඳහා ප්‍රථම වතාවට කාන්තාවක් පත්වන්නේ 2017 වසරේදීය. අධිකරණ අමාත්‍යවරිය වශයෙන් පත්වන ඇය ධුර කාලය තුළ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියාය. කිසිම නඩුවකට බලපෑම් කිරීමට හෝ අධිකරණ කටයුතු අවභාවිත කිරීමට ඇය කටයුතු කළේ නැත. බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නාය. දරුණු ගණයේ පාතාලයට සම්බන්ධ පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණු පුද්ගලයන් රඳවා තබා ගැනීමට “බූස්ස” බන්ධනාගාරය වෙන් කර එය පවත්වාගෙන යාමට අවශ්‍ය යන්ත්‍රණය සකස් කළේ ඇයයි. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම, දිවයිනේ ප්‍රධාන බන්ධනාගාර නිරීක්ෂණය කරමින් ඒවා විධිමත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම ඇගේ කාලය තුළ සිදුවූ ධනාත්මක ක්‍රියාකාරකම්ය. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව ක්‍රියාත්මක කළ ඇතැම් වැඩපිළිවෙළ නිසා ඇයට මරණ තර්ජන ද එල්ල වූ අවස්ථා තිබිණ. විදේශ රැකියා අමාත්‍යාංශය භාර ගන්නා අවස්ථාවේ සමාජය තුළ විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් තිබුණේ යහපත් ප්‍රතිරූපයක් නොවෙයි. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් එක් කරුණක් වූයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල් සුභසාධන සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවයි. ඒ අනුව පළමු පදවි ප්‍රාප්තිය වනවිට “ශ්‍රමික සුරැකුම” නමින් වැඩසටහන ආරම්භ කරමින් කාන්තා ශ්‍රමිකයන්ගේ උන්නතිය වෙනුවෙන් සෘජු තීන්දු තීරණ ගැනීමට ඇයට හැකියාව ලැබිණ. කාන්තාවන් බහුලව විදෙස්ගතවන නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළාය. විදෙස්ගත ශ්‍රමිකයන් මුහුණ දෙන විවිධ ගැටලු විසඳීමට මැදිහත් වෙමින් මරණ දඬුවම වැනි අමානුෂීය දඬුවම්වලට ලක්ව සිටි ශ්‍රමිකයන්ගේ එම දඬුවම ඉවත් කර නැවත මේ රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම් කළාය. එතෙක් අවිධිමත්ව තිබූ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ වැටුප විධිමත් තලයකට ගෙන ඒමට නීති හඳුන්වා දුන්නාය. ඒ වන විට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් කුඩා දරුවන් සිටි මවුවරුන් විදෙස්ගත වීම සමාජය තුළ විශාල ඛේදනීය තත්ත්වයක් බවට පත්ව තිබිණි. ගමින් ගමට යමින් පියා සමඟ හෝ මිත්තණියන් සමඟ හෝ තනි වූ කුඩා දරුවන් දුටුවාය. ඇතැම් නිවෙස්වල සිදුවීම් අතිශය ශෝකජනක විය. විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් සමාජ සුභසාධන වැඩසටහන් සහ නව නීති කඩිනමින් ක්‍රියාත්මක කළාය. ඇගේ මූලික අරමුණ වූයේ කාන්තාවන් ගෘහ සේවය සඳහා විදෙස්ගත වීම අවම කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණයකර ඒ වෙනුවට ඊශ්‍රායලය, කොරියාව, ජපානය, අමෙරිකාව වැනි රටවල විවිධ රැකියා අවස්ථා ලබා ගනිමින් ඒ සඳහා තරුණ පිරිස් යොමු කිරීමටයි. ඒ සඳහා ඇය විශාල පරිශ්‍රමයක් ගත්තාය. කාන්තා නියෝජිතවරියක් ලෙස 2015 යහපාලන ආණ්ඩුව යටතේ වගකිවයුතු අමාත්‍යාංශ 02ක වැඩ කිරීම අතිශය අභියෝගකාරී වූවත් ඇය එම අභියෝග ඉතා සාර්ථකව ජයග්‍රහණය කළාය.

 

මහජන නියෝජිතවරියක් ලෙස අඛණ්ඩව වසර 20ක් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇයට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා අවස්ථාව උදාවන්නේ කැබිනට් අමාත්‍යවරියක්ව සිටියදීය. 1991දී ආරම්භ කළ නමුත් 2015 වනතුරු පිහිටුවීමට නොහැකිව තිබූ සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පිහිටුවීමට මූලිකත්වය ලබා දුන්නේ ඇයයි. 1994දී තම සහෝදරයා විසින් ආරම්භ කරන ලද එහෙත් අඩපණව තිබූ නිවිතිගල සංවර්ධන වැඩපිළිවෙළ නැවත සක්‍රීය කරමින් අවිධිමත්ව පවත්වාගෙන ගිය කොළඹ - ඇඹිලිපිටිය මහාමාර්ගය දෙපස මාළු වෙළෙඳ පොළ විධිමත් ස්ථානයකට ගෙනයාම, මධ්‍යම බස් නැවතුම්පොළ සහ සති පොළ ඉදිකිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, මහාමාර්ග, නිවාස වැනි ක්ෂේත්‍ර නියෝජනය වන දැවැන්ත සංවර්ධනයක් වසර 24ට පසුව ප්‍රදේශය තුළ ඇති කරන්නට මූලිකකත්වය ගත්තාය. මේ සියලු සංවර්ධන වැඩ කටයුතු ඇය සිදු කළේ ප්‍රාදේශීය සභා, පළාත් සභා කිසිම බලයක් නොමැතිව විවිධ පක්ෂ එකමුතුවෙන් සැදුම්ලත් ආණ්ඩුවක් නියෝජනය කරමින්ය. ඒ සඳහා ඇයට කැබිනට් ඇමැතිවරුන්ගේ උපරිම සහායක් ලැබිණ. කැබිනට් අමාත්‍යවරියක්ව සිටියදී ඇය මුදල් නාස්තිය අවමවන පරිදි කටයුතු කළාය. කිසිවිටක බැනර්, පෝස්ටර් භාවිත කරමින් අමාත්‍යාංශ කටයුතු සඳහා ප්‍රචාරණයක් ලබා දුන්නේ නැත. එකළ විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධව ක්‍රියාත්මක වැඩසටහන් සඳහා ඇය සහභාගී වන බව දැන සිටියේ අදාළ දිස්ත්‍රික් ලේකම්වරයාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් පමණි. ඒ වැඩසටහන් සඳහා පෝස්ටර්, බැනර්, දැන්වීම් මඟින් ඕනෑ තරම් ප්‍රචාරණයක් ලබා ගැනීමට හැකියාව තිබූ නමුත් ජනතාවගේ බදු මුදලින් එවැනි අනවශ්‍ය ප්‍රචාරණයක් ලබාදීමට ඇය කටයුතු කළේ නැත. සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය භාර ගන්නා ලෙස එවකට ජනාධිපති ලේකම්තුමාත් එ.ජා.පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් දැනුම් දුන් විට තවත් අමාත්‍යාංශ ගෙන අනවශ්‍ය වියදමක් දරන්න අකමැති බවත් අවශ්‍ය නම් එම ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් වෙත ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියාය. පසුව ඇය ඒ මුදල් එතෙක් අසාධාරණයට ලක් වූ ආසනවල සංවර්ධන සඳහා යොදවන්නට කටයුතු කළාය. කාන්තාවක් ලෙස තම ගරුත්වය ආරක්ෂා කර ගනිමින් දේශපාලනයේ නිරත ඇය සැබෑ ලෙසම තම වගකීම ඉටුකළ ජනතා නායිකාවකි. විපක්ෂයේ සාමාජිකයන් සමඟ ගනුදෙනු කළේ ඉතා සාමකාමී අන්දමිනි. ඇය ඩීල් දේශපාලනය බැහැර කළාය. වංචාව දූෂණයට එරෙහිව නැඟී සිටියාය. බණ්ඩාරනායක රජය යටතේ එකළ ඔවුන්ගේ ව්‍යාපාර කිහිපයක්ම ජනසතු විය. සහෝදරයා පක්ෂයේ මහලේකම් වශයෙන් කටයුතු කරන විට තම පෞද්ගලික දේපළ උකස්කර පක්ෂය වෙනුවෙන් මුදල් යෙදවීමට කටයුතු කළේය. මේ නිසා අතුකෝරළ පරම්පරාවට දේශපාලනය තුළ අයථා ලෙස මුදල් ඉපැයීම හෝ වංචා දූෂණ අක්‍රමිකතා වැනි සුලභ දේශපාලන කතා අසන්නට ලැබුණේ නැති තරම්ය. 1977 දී මගේ අයියා පාර්ලිමේන්තුවට යනකොට තිබුණු දේවල් අඩුවුණා මිස අපිට තිබුණු දෙයක් වැඩි‍ෙවලත් නෑ. වැඩි කරගෙනත් නෑ. මමත් අයියත් දේශපාලනය කරන්නේ මව්පියන්ගෙන් ලැබුණු දෙයින් මිස දේශපාලනයෙන් හම්බ කර ගත් දෙයින් නොවෙයි. ඒ නිසා අද මට නිරවුල් මනසකින් නිදාගන්න පුළුවන් යැයි ඇය තෘප්තිමත්ව සඳහන් කළාය. සාර්ථක දේශපාලන නියෝජිතවරියක් සේම ඇය කාන්තාවක් වශයෙන් ජීවිතයේ සුවිශේෂී පරිත්‍යාග කළ ආදරණීය ගැහැනියකි. සිය වැඩිමහල් සහෝදරයාගේ දරුවන්ට ආදරණීය මවක් වෙමින් ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ඇප කැප වුණාය. දේශපාලනය තුළ ඇය කොපමණ කාර්යබහුල වුවත් සිය ආදරණීය සැමියාට යුතුකම් ඉටුකරන වගකීම් සහගත බිරිඳකි. බෞද්ධකම රැක ගනිමින් බුදුදහමට අනුව සිය ජීවිකාව ගෙන යාමට නිරතුරුව උත්සාහ කරන ඇය පුරුද්දක් වශයෙන් අදටත් නිවසින් පිටව යන්නේ මව පියා සහ සහෝදරයාගේ පිළිරුවට වැඳ ආශිර්වාද ලබා ගනිමිනි. දේශපාලනය තුළ අමතක නොවන සිදුවීම වන්නේ 2015 ජනාධිපතිවරණයට පෙර දින ඇගේ බල ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් ආධාරකරුවන් දෙදෙනකු මිය යෑමේ සිදුවීමයි. මැතිවරණයෙන් ඇය නියෝජනය කළ පාර්ශ්වය ජයග්‍රහණ කළ ද ප්‍රථම වතාවට ඇගේ ආසනය තුළ මනුෂ්‍ය ඝාතනයක් සිදු විය. එය කාන්තාවක් වශයෙන් ඇය මුහුණදුන් අතිශය දුෂ්කර අවස්ථාවක් වූවා මෙන්ම සමස්ත දේශපාලනය තුළ කළුපැල්ලමක් එක් කරන්නට සමත් සිදුවීමක් ද විය.

එවැනි අපහසු දේශපාලන වටපිටාවක වුවද ඇය ඇගේ පාක්ෂිකයන් අතහැර ගියේ නැත. ඔවුන් වෙනුවෙන් පෙනී සිටියාය. කුමන අභියෝග හමුවේ වුව කාන්තාවට හිමි ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට වග බලා ගත යුතුව බව ඇය තරයේ විශ්වාස කරයි. වර්තමානයේ විපක්ෂය නියෝජනය කරමින් භාරධුර කර්තව්‍යයක නියැළෙමින් සිටින ඇය කාන්තාවට ආදර්ශමත් දේශපාලන නියෝජිතවරියක් සේම මෙරට දේශපාලනය තුළ නොමැකෙන කාන්තා සලකුණක් ද වන්නීය.