උඹ ඇවිල්ලා ගොඩාක් වෙලාද?

පෙබරවාරි 19, 2024

පෙර සටහන

 

වැහි අඳුරින් බර වූ කෙම්මුර බදාදාවකි. කාර්යාලය අද එතරම් කාර්යබහුල නැත. පිළිගැනීමේ නිලධාරිනියගෙන් පැමිණි දුරකථන ඇමතුමට අනුව කාන්තාවක මා සොයා පැමිණ තිබුණි. දුරකතනයෙන් නම නොකී ඇය මා හමුවීමට අවශ්‍ය බව දැන්වූයේ ලිපි ගොනුවක් භාර දීමට අවශ්‍ය යයි පවසමිනි. පිළිගැනීමේ පරිශ්‍රයේදී අප දෙදෙනා හමුවූ අතර, ඇය මාගෙන් කළ ඉල්ලීම වූයේ ඇගේ කතාව තරුණීට ලිවීමට කැමැත්තක් දක්වන බවත්, ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසත් ය.

එකවරම පිළිතුරක් සෘජුව ලබා දිය නොහැකි ඇගේ ඉල්ලීමට පිළිතුරක් දැක්වීමට මාසයක් යන්නට මත්තෙන් ඇය නැවත මා අමතා කියා සිටියේ ඇයගේ කතාව ඇය ලියමින් සිටින බවත්, එය මා හට ලැබීමට සැලැස්විය හැකි බවත් ය.

මීට මාසයකට පමණ පෙර එහි පළමු කොටස මා අතට පත් වූ අතර ඉන්පසුව මම ඇයව ඇමතුවෙමි. ඇය කියූ කතාන්දරය හරි අපූරු එකකි. ඒ නිසාම එය තරුණී නවකතාව ලෙස අප විසින් තෝරා ගන්නා ලදි.

මෙතැන් පටන් තරුණීහි පළ වන්නේ නම නොකියන ඈ ලියන ඇගේම කතාන්දරයයි.

මා විසින් එම නව කතාන්දරයට ශ්වේත සමනලී යන නම තබන ලදි. ඕනෑම පාටක් ආලේප කළ හැකි ඕනෑම දුරකට පියඹා යා හැකි ශ්වේත සමනලී දැන් කියවන්න.

මේ නම නොකියන, ඇය ලියන ඇගේ ජීවන අන්දරයයි.

 

එය සීතලෙන් පිරුණු සුවපහසු අසුන් සහිත සැප රියකි. රිය ඇතුළේ ඉංග්‍රීසි ගීතයක් නාද වෙමින් තිබුණි. කවදාවකවත් නොවිඳි සෙන්ට් පුසුඹින් සුවපහසු රිය පිරී තිබුණද ඒ සුවඳ විඳ ගැනීමට තරම් ආකල්පමය අස්වැසිල්ලක් මගේ හිත මත නොතිබුණි. පැය ගණනක ගමනේ මහන්සියක් හිත පීඩාවට පත්කර තනිකඩ විඩාවත් ඕනෑවට වඩා මා හෙම්බත් කොට තිබුණි.

“උඹ ඇවිල්ලා ගොඩාක් වෙලාද?“

මහත්තයා ඇහුවේ පිටුපස අසුන බලාගත්වනමය.

“නෑ. මාත්තයා ගොඩ වෙලාවක් නෑ.“ මම එක එල්ලේ උත්තර දුන්නේ මහත්තයාගේ මුහුණ දෙස බලාය.

“උඹ එනවා කිවුවේ දහයට විතරනෙ බං.“

මම කිසිවක් නොකියා ඉදිරි වීදුරුවෙන් ඈත බැලුවෙමි.

“උඹේ තාත්තා ක්‍රිෂ්ණා නේද?“

මහත්තයා මගෙන් අැහුවේ තාත්තා හොඳ හැටි දන්නා හඳුනන චරිතයක් වග අඟවමිනි.

“ඔව් මාත්තයා ඔව්.“

“උඹ කාල ද ඉන්නේ?“

උත්තරය අවසානයේ මහත්තයාගෙන් නැවතත් පැනයකි.

“ඔව් මාත්තයා“

මම සීරුවෙන් උත්තර දුන්නෙමි.

ඉන්පසුව නිවෙසට පැමිණෙන තෙක්ම අප අතර කිසිදු කතාවක් සිදුවූයේ නැත.

එය පැරැණි තාලයේ විශාල පෝටිපෝවකින් වට වුණු සුදු පැහැති නිවෙසකි. ගිරා නිල් වර්ණයෙන් හැඩ වූ විශාල තාප්පය කහ පැහැති ආලෝකයෙන් වර්ණ ගන්වා තිබුණි. නේක විධ විදුලි බුබුළු මුළු පරිසරයම අලංකාර කොට තිබූ අතර සුදු පැහැති බිත්ති අතරින් පතර කහ සහ රතු පැහැති වර්ණ මිශ්‍රකොට ආලෝක කොට තිබුණි.

සඳළුතලයේ දොර මඳක් ඇරී තිබුණු අතර ඒ ‍ෙකළින් උඩු මහලේ අලංකාරය සුළු වශයෙන් පෙනුණි. රථය නතර වූයේ පෝටිකෝව මධ්‍යයේය. රථයෙන් බැස ගත් පුද්ගලයා ප්‍රධාන දොර වෙත ළං වූ අතර එහි සීනුව ඔහු විසින් තෙවරක් නාද කරන ලදි. එකවරම දොර ඇරුණි. ඇරුණු දොරින් බර අඩි තබමින් එළි බැස ගත්තේ තලත්තෑනි කාන්තාවකි.

“සීමන් උඹ චූටි නෝනාගෙ බඩු ටික අරගෙනද ආවේ?“

මා කැඳවාගෙන යාමට පැමිණි පුද්ගලයා ලොකු මහත්තයා නොවන බව වටහා ගත්තේ ඒ මොහොතේදීය. මගේ තාත්තා සමඟ සාකච්ඡා කොට මේ ගමන සංවිධානය කරන්නට ඇත්තේ ඇතැම් විට ඔහු විසින් විය හැකි බවට මා අනුමාන කළෙමි.

තද නිල් පැහැති දිගු ගවුමකින් සැරසුණු ලොකු නෝනා එළියට පැමිණියේ සිනාමුසු මුහුණෙනි.

“එන්න.... එන්න... සීමන් එන්න ටිකක් පරක්කු වුණා නේද?

ලොකු නෝනා මා පිළිගත්තේ හෘදයාංගම ළෙන්ගතු සිනහවකිනි.

“ක්‍රිෂ්ණා කිවුවා හොඳට ඉගෙන ගත්ත ළමයෙක් කියලා. අපිටත් ඇත්තටම ඕනෙ හොඳට ඉගෙන ගත්ත ළමයෙක්.“

නැවතත් අතීතයේ අඳුරු මංසලකුණු අතර මා තනි වීමි. ජීවිතය යනු ගමනකි. ඒ ගමන අප කෙසේ හෝ ඇවිද යා යුතුය. මම බෑගය තදින් අල්ලා ගනිමින් ගේ ඇතුළට පිවිසුණි.

 

 

තවත් දිගහැරුමකින් හමුවෙමු