කොල්ලෙක් වගේ සික්ස් පැක් බොඩියක් හදාගන්න ඔයත් කැමැති ද?

පෙබරවාරි 26, 2024

 

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා කියමනක් තියෙනවා. ඒ වගේ අපේ හැදෙන බඩත් ටිකක් පැත්තෙන් බැලුවාම ගාණට පේනවා. බඩ ටිකක් හැදීගෙන එනකොටම අපිට බඩ අඩු කරගන්න ඕනි වෙනවා. එතකොට රූපවාහිනියේ අන්තර්ජාලයේ සහ වෙ‍ෙළඳ පොලේ තියෙන ලාභ ක්‍රම හමුවෙනවා. බඩේ ආලේප කරලා බඩ අඩු කරන ක්‍රම, බඩ වටා බෙල්ට් එකක් දාලා බඩ අඩු කරන ක්‍රම, බඩට හොඳට ව්‍යායාම කරවන යන්ත්‍ර වගේම වැඩි බඩ මට්ටුව පිණිස සැදූ එක එක වර්ගයේ ඖෂධත් තියෙනවා. ඒත් සරලවම සැලකුවාම බඩ ලොකු වෙන්නෙ ව්‍යායාමයකින් තොරව සිරුරට පමණට වඩා ආහාර දාගත්තම කියලා අපි හොඳටම දන්නවා. යොගාසන කියන්නේ කළගෙඩි වගේ බඩවල් අඩු කරන්න තියෙන හොඳම ක්‍රමයක්.

උදර අඩුකර ගැනීමට තිබෙන හොඳම ආසනය නෞකාසනය වේ. මෙය උදරය අඩුකර ගැනීමට පමණක් නොව අග්න්‍යාසයට, අක්මාවේ තෙල් තැන්පත් වීමට සහ වකුගඩු ප්‍රාණවත් වීමටත් හේතුවක් වේ.

පළමු රූපයේ පරිදි දණ්ඩාසනයට පැමිණ පා දෙක ළංකර අත් දෙක කලවා දෙපසට දමා කොන්ද සෘජුව තබාගෙන නිකට ඔසවා තබාගන්න.

ඉන්පසු හොඳින් ආශ්වාස කරන්න. එසේ ආශ්වාසකර 2 රූපයේ පරිදි පා දෙක ඉදිරියට විහිදුවා දෙඅත් ද ඉදිරියට විහිදුවා ඉදිරිපස බලාගෙන සිටින්න. තත්පර 30 සිට තත්පරය දක්වා ගණන් කරමින් එම ආසනයේ රැඳී සිටින්න. මෙම ආසනය වාර 3 බැගින් කිරීම ප්‍රමාණවත් වේ.

ඉන්පසු 3 රූපයේ පරිදි චතුරාංග දණ්ඩාසනය පුහුණු විය යුතුය. මෙය මඳක් දුෂ්කර ආසනයක් වේ. මේ සඳහා හොඳ මානසිකත්වයක් සහ අධිෂ්ඨානයක් අවශ්‍ය වේ.

දෙඅත් මිට මොළවා අැඟිලි මිට මොළවා ගන්න. පා දෙක එකට පටලවා විළුඹ ඔසවා ඉදිරිය බලා සිටින්න. මෙය ඩොල්ෆින් මත්ස්‍යයාගේ ඉරියව්ව ලෙසත් හඳුන්වයි. මෙම ඉරියව්වේ සිටිමින් 1 සිට 100 දක්වා සෙමින් ගණනය කරන්න. මෙසේ ගණනය කිරීම මඟින් ආසනයේ රැඳී සිටින කාලය වැඩි වේ.

මෙම ඉරියව්ව උරහිස, උකුල් ඇට, සන්ධිවල ඇති ගැටලුවලටත් උදරයේ ඇති බොහෝ රෝගවලටත්, පාලනය කරගත නොහැකි දියවැඩියාව, අක්මාවේ තෙල් බැඳීම, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග සහ හර්නියා වැනි රෝගවලින් වළකාලයි.

මේ ආසනය පුහුණුවන ඔබ දිනකට ආහාර වේල් 3ක් ගන්නේ නම් ආහාර වේල් දෙකකින් යැපීමට උත්සාහ ගන්න. එය යෝගීවරු ද උත්සහ කළ පිළිවෙතයි.

කිසිදු විටෙක ආහාර ගත් විගස වැඩි ජල ප්‍රමාණයක් පානය නොකර අවුන්සයක් පමණ පානයකර අඩි 150ක් පමණ සක්මන් කරන්න. රාත්‍රී ආහාරය රාත්‍රී 7ට නම් ඊට පෙර ආහාර ගෙන, උදෑසන ආහාරය උදේ 10ට පමණ ලබා ගන්න.

බත් වෙනුවට මී කිරි, අලිගැටපේර, මී පැණි වැනි ආහාරයක් ගන්න. ඒ සමඟ පිරිසුදු එළකිරි වීදුරුවක් හෝ උණුසුම් ජලය දෙහි යුෂ එකතු කළ පානයක් පානය කරන්න.

දිවා ආහාරයට බත් පොල් කටු හැඳි 1 1/2ක් පමණ බත්, මාළු, මස් හෝ බිත්තරයක්, සලාදයක් සහ එළවළු එකතුකර ගන්න. බඩ පිරෙනකම් කෑම නොගන්න. උදරය කොටස් 4ට බෙදා 1 කොටසක් ආහාර සඳහා, වතුර සඳහා තව කොටසකුත්, වාතය සඳහා තව කොටසකුත් අනෙක් කොටස හිස්ව තබා ගන්න. ආහාර ගත් විගස නින්දට නොයන්න.

මේ ක්‍රමය හරියටම අනුගමනය කළොත් ඔයාටත් කොල්ලෙක් වගේ සික්ස් පැක් බොඩියක් හදාගන්න පුළුවන්.

 

 

ඡායාරූප - රංජිත් අසංක

උපදෙස් -
ආචාර්ය චාමින් වර්ණකුල
සෙත්සඳ යෝග නිකේතනය