සියලු දොස් දුරු කරන දුරු

පෙබරවාරි 26, 2024

 

අද අපේ කතාබහ ස්වභාවික ප්‍රති ප්‍රතිඔක්සිකාරක ( Natural anti oxidants ) බහුල ලෙස අඩංගු කුළු බඩු වර්ගයක් පිළිබඳවයි . Sweet cummin සහ cummin seed ලෙසින් හඳුන්වන මහදුරු සහ සූදුරු මුල්තැන්ගෙයි කුළු බඩු අතර ඉතා ජනප්‍රිය රසකාරකයක් මෙන්ම ගෘහණිය වෙදැදුරෙක් කරන ඉතා ප්‍රබල ඖෂධයක්. මහදුරු පැණි රසයෙන් යුක්ත නිසා මධුරිකා ලෙසත් සූදුරු වල ඇති ආහාර දිරවීමේ ශක්තිය නිසා ජීරක ලෙසත් ආයුර්වේද වෙදකමේ දී හඳුන්වනවා. දුරු වල ඇති රසය සහ සුවඳ නිසා අපේ රටේ ආහාර වලටත් වඩා රස කැවිලි නිෂ්පාදනයේදී මෙය වැඩියෙන් භාවිතා කරනවා.

මහදුරුවල පොටෑසියම්, කැල්සියම්, යකඩ, මැග්නීසියම් හා මැංගනීස් අඩංගුව පවතින නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමට විශාල ලෙස උපකාර කරනු ලබන අතර බහුල ලෙස කාන්තාවන් පීඩාවට පත්වන පියයුරු පිළිකා තත්ව වලදී පිළිකා ශෛල සමඟ සටන් වැද පිළිකාව ජය ගැනීමට මහදුරු උපකාර කරගන්නට පුළුවන්. ලේ වඩවන ගුණයෙන් යුතු නිසා ශරීරයේ ලේ හිඟ අවස්ථාවලදී මෙය දිව ඔසුවක්. සූදුරු සහ මහදුරු වර්ග දෙකම රුධිරයේ ඇති ග්ලූකෝස් සාන්ද්‍රනය අඩු කරන නිසා දියවැඩියා රෝගීන්ට මහත් අස්වැසිල්ලක් සලසා දෙන ඖෂධයක් ලෙසින් හැඳින්වීම ඉතාම නිවැරදියි. රූ සපුව පිළිබඳ සැලකිලිමත් වන කාන්තාවන්ට සූදුරු කියන්නේ නැතිවම බැරි ඖෂධයක්. කබලේ මදක් බැද කුඩුකර තබාගත් සූදුරු කෝපි මෙන් සකසා දිනපතා පානය කිරීමෙන් අත් කර ගත හැකි ප්‍රතිඵල සඳහන් කළොත් ඔබ පුදුමයෙන් පුදුමයට පත් වේවි. සූදුරු ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරන නිසා අධික තරබාරුවට වගේම ශරීරය උදරය කලවා අත් වැනි ස්ථානවල අධික ලෙස මාංශ පේශී වර්ධනය වීම වැලැක්වීමටත් හැකියාව පවතිනවා. ඒ වගේම ශරීරයේ ලප කැළැල් ඉවත්වී ඒකාකාරී පැහැයකින් යුතු පැහැපත් සමක හිමිකාරියක වීමට සූදුරු පානය ඔබට ඉඩ සලසා දෙනවා. එයට හේතුව සූදුරු මගින් ශරීරයේ පවතින විෂ පදාර්ථ ඉවත් කර අක්මාව හා වකුගඩු වැනි ඉන්ද්‍රියන් නිරෝගී කිරීම නිසයි. අධික ලෙස දහඩිය දැමීම හෝ දහඩිය දුගඳ පවතින අවස්ථාවල සූදුරු ඇල්දියෙන් අඹරා ශරීරයේ ආලේප කර ස්නානය කිරීමෙන් ඉතා පහසුවෙන් එම ගැටලුව ජය ගත හැකියි. ආහාර හොඳින් දිරවන ගුණය ඇති නිසා අජීර්ණ අවස්ථාවට වගේම බඩ පුරවා දැමීම හා නිසි ලෙස මලපහ පිට නොවීම වැනි අවස්ථාවලත් සූදුරු පානය ඔබේ පිහිටට එනවා. ගර්භණී සමයේ උදෑසන ඇති වන ඔක්කාරය හා අරුචිය සූදුරු තැම්බූ වතුරට මී පැණි මිශ්‍ර කර බීමෙන් ඉතා ඉක්මනින් සුව වෙනවා. කාන්තාවන්ට පමණක් නොව අද වන විට හිස්හොරි ගැටලුව පිරිමි පාර්ශ්වයටත් විශාල කරදරයක්. සූදුරු තැම්බූ ජලයෙන් හිස සෝදා විනාඩි කිහිපයක් මෘදු ලෙස සම්බාහනය කර ඉන් පසු පිරිසිදු ජලයෙන් සෝදා හැරීමෙන් දින කිහිපයක් තුළ දීර්ඝ කාලයක් කරදරයක්ව පවතින හිස් හොරි වදයෙන් පහසුවෙන් නිදහස් වන්නට පුළුවන්. කුඩා දරුවන්ට ඇතිවන වමනය හා අජීරණ තත්ව වලදී සූදුරු තැම්බූ ජලයට සීනි හා මී පැණි එක්කර දීමෙන් සුළු වේලාවක් තුළ සුවපත් භාවයට පත් කළ හැකියි. සූදුරුවල අැනෙතෝල් නමින් හැදින්වෙන ෆයිටොකෙමිකල් අඩංගුවන නිසා ශරීරයේ දැවිල්ල අඩු කිරීමට උපකාර කරනු ලබනවා. එනිසා අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටිස් අවස්ථාවලදී සූදුරු පානය මීපැණි මිශ්‍ර කරදීම ඉතාම සුදුසුයි. සූදුරුවල බහුල ලෙස යකඩ හා විටමින් E අඩංගු නිසා වයසට යාම පමා කිරීමට හා කොණ්ඩය කැඩී යාම වලක්වා ශක්තිමත් කිරීමට සූදුරු වලට හැකියාව පවතිනවා. ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම නියාමනය කර ට්‍රයිග්ලිසරයිඩ් හා LDL හෙවත් නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට සූදුරු වලට හැකි බව නූතන පර්යේෂණ වලින් පවා හෙළිවී තිබෙනවා. ඒවගේම දුරු කියන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම ලිංගික ශක්තිය වර්ධනයට මෙන්ම ධාතු වර්ධනයටත් උපකාරී වන ඖෂධයක්. ශරීරයේ ග්‍රන්ථිවල ශ්‍රාවයන් වැඩි කරන තයිමෝල් නම් රසායනිකය සූදුරුවල අඩංගු නිසා කිරි දෙන මව්වරුන්ට කිරි වැඩිවීමටත් නව යොවුන් වියේ ගැහැනු පිරිමි දරුවන්ගේ ඉන්ද්‍රියන් වර්ධනයටත් සූදුරු හා මහදුරු කියන්නේ අප්‍රමාණ ගුණ ඇති ඖෂධයක්.

 

ආයුර්⁣වේද වෛද්‍ය

රුවන් බණ්ඩාර ජයතිස්ස