ජාතික රූපවාහිනිය - තරුණී මිතුදමින් රූ කිරුළ-2024ට සියල්ල සූදානම්

මාර්තු 18, 2024

ජාතික රූපවාහිනිය කියන්නෙ ජාතියේ නාළිකාව. ලංකාවේ පැවැත්වෙන අවුරුදු කුමර කුමරියන් තේරීමේ තරගවලින් උසස්ම ප්‍රමිතියේ තරග පැවැත්වෙන්නෙ ජාතික රූපවාහිනියෙන්. ඒ හා සම්බන්ධ වෙමින් නිල මාධ්‍ය අනුග්‍රහය දක්වන තරුණී පුවත්පත කාන්තා පරපුරට විශාල මෙහෙවරක් කරන පුවත්පතකි. මේ අපූරු සුසංයෝගයෙන් පැවැත්වෙන රූ කිරුළ 2024 තරගයේ අවසන් කුමර කුමරියන් 24 දෙනා සඳහා නිශ්චිත තරග අංක ලබාදීම පසුගිය දා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්වුණි.

ඔවුන්ව ප්‍රවීණ පුහුණුකරුවන් මඟින් පවත්වනු ලබන පුහුණු වැඩමුළු වෙත මේ වනවිටත් යොමුකර තිබේ. එම කුමර කුමරියන් 24 දෙනා අප්‍රේල් මස 14 වැනිදා අවසන් මහා තරගය සඳහා ඉදිරිපත් කෙරේ. එම අවසන් මහා තරගය අප්‍රේල් මස 14 වැනි දින සවස 5.30 සිට ජාතික රූපවාහිනී තෙවැනි මැදිරියේ සිට සජීවිව විකාශය වේ.

රූ කිරුළ අවසන් මහා තරගයේදී පළමුවැනි, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා අවුරුදු කුමර කුමරියන් වෙනුවෙන් මූල්‍ය ත්‍යාග සහ වටිනා වෙනත් ත්‍යාග පිරිනැමේ. මීට අමතරව අවුරුදු කුමරියන් සඳහා හොඳම වරලස, නිරෝගීමත් සම, දක්ෂතම කුමරිය සහ ජනප්‍රිය කුමරිය යන අංගයන් ඔස්සේ ද අවුරුදු කුමාරයන් සඳහා දක්ෂතම පෞරුෂය, කඩවසම් කුමරා, ජනප්‍රිය කුමරා යන අංගයන් ඔස්සේ ද තේරීම් සිදු කෙරේ.

සොබා සිලෝන් හර්බල් ආයුර්වේද රූපලාවණ්‍ය‍ සන්නාමය පූර්ණ අනුග්‍රාහකත්වය දක්වන රූ කිරුළ 2024 නිර්මාණ අධ්‍යක්ෂණය පැතුම් සංසකය. අධීක්ෂණය සුමේධ අතුලසිරි සහ රංග ප්‍රේමරත්නය.