මුඩුබිමක් හරිත පුරයක් කළ රාජගිරියේ ගොවි පවුල

අප්‍රේල් 22, 2024

 

කොලොම්තොට සුවිසල් කොන්ක්‍රීට් වනය මැද දස දෙසින් පෙනෙන්නේ අහස් උසට නැඟි ගොඩනැඟිලි යායකි. මේ සුවිශාල ගොඩනැඟිලි පිරි කොන්ක්‍රීට් වනයේ ගහක් කොළක් වවන්නට තැනක් ඉතිරිව ඇත්තේ නම් ඒ ඉතා කුඩා බිම් කඩකි. එහෙත් අපගේ ඇස් ඇදහිය නොහැකි තරම් වූ විශාල බිමක එළවළු වගාවක් දකින්නට ලැබීම පුදුමයකි. රාජගිරියේ ඔබේසේකරපුර මොරගහමුල්ල පාරේ අක්කර පහක ඉදි වූ මේ වගා බිම සැබැවින්ම අපූර්වතම ගොවි බිමකි.

මේ ගොවි බිමේ හිමිකරුවා වන්නේ රාජගිරියේ සුරේන්ද්‍ර ගෝමස් මහතාය. ඔහු මේ වගාබිමේ හිමිකරුවා ලෙසින් විශාල කැපවීමක් කරනු ලබන්නේ වගාවට ඇති සැබෑම උනන්දුව හා ආසාව නිසාමය. ඉතාලියේ ඉතා හොඳ රැකියාවක් කළ ගෝමස් මහතා තම උපන් මවුබිමේ මහ පොළොවට සැබෑම ආදරයක් ඇති මිනිසෙකි. ඔහු මේ මහ පොළොවට ඇති ආදරය ගෞරවය නිසාම සියලු දේ අත්හැර ගොවිතැන තෝරා ගත්තේ තම ජීවිතයේ සැබෑම සුවය එහි රැඳී ඇති බව අවබෝධකර ගනිමිනි.

ගොඩනැඟිලි පමණක් ඉදි වූ බිමක වගාවක සුවය විඳින ගෝමස් මහතාගේ වගාබිම හරිත යායක් ලෙසින් දර්ශනය වන්නේ විවිධ වූ එළවළු, පලතුරු සහ පලා වර්ග රාශියකින් පිරී ඉතිරී යමිනි . මේ හරිත බිමේ සුවය විඳින ඔහුගේ ගොවිබිමේ රහස් අපට හෙළි කළේ මෙලෙසිනි.

“රාජගිරිය ඔබේසේකරපුර කියන්නේ වසර විස්සකට තිහකට පෙර ඒ තරම් ජනාකීර්ණ ප්‍රදේශයක් නොවෙයි. මේ පළාත ඉස්සර ගම්මානයක්. පසුගිය අවුරුදු දහයක පහළොවක කාලය තුළ තමයි මේ ඉඩම් කට්ටි කරලා විකුණන්න පටන් ගත්තේ. ඊට පස්සේ ශීඝ්‍ර ලෙස මේ ප්‍රදේශය සංවර්ධනය වෙන්න පටන් ගත්තා. ඉඩම් මිල ඉහළ ගියා. මේ ගම්වල හිටපු මුල් පදිංචිකරුවන් වගාවෙන් ඈත් වුණා. නමුත් අපි අපේ ඉඩම් විකුණුවේ නැහැ. ඒ නිසා අපේ ඉඩම් ඉතුරු වුණා. අපට ලොකු ආර්ථික පසුබිමක් තිබුණේ නැහැ. නමුත් මම පුංචි කාලේ පටන්ම වගාවට නිදහසට තමයි කැමැත්ත තිබුණේ. නමුත් මේ තියෙන ආර්ථික තත්ත්වය කොළඹ ප්‍රදේශයේ ගොවිතැන් කිරීමෙන් පමණක් ජීවත් වෙන්න බැරි බව මට ටික කාලයක් යනකොට අවබෝධ වුණා. නමුත් මම අපේ තිබුණු ඉඩම් විකුණුවේ නැහැ. ඒ නිසා මම ඉතාලියේ රැකියාවකට ගියා. ඒ ගිහින් මුදලක් හොයාගෙන නැවත ලංකාවට ආවා. ඒ ඇවිත් තමයි නැවත වගාවට අත තිබ්බේ.“

මෙලෙසින් වගාවට ප්‍රවේශ වූ සුරේන්ද්‍ර ගෝමස් මහතා අද සාර්ථක කාබනික එළවළු වගාවක හිමිකරුවකු වී සිටි. රසායනික පොහොර හෝ කෘමිනාශක ඉතාම අවම ලෙස භාවිත කරමින් සිදුකරන මේ වගාවේ විශේෂත්වය වන්නේ උඩරට මෙන්ම පහතරට එළවළු වර්ග රාශියක්ම වගාකර තිබීමය. කන්ද උඩරට වැවෙන රාබු, ගෝවා, බෝංචි වැනි එළවළු වර්ග ද ඔහු එහි හොඳින් වගාකර සරු අස්වැන්නක් ලබා ගනී. එලෙසින්ම මාළු මිරිස්, බණ්ඩක්කා, වැටකොළු, පිපිඤ්ඤා, බටු, කරවිල, වට්ටක්කා වැනි එළවළු ද එහි එක් කොටසක වගාකර ඇති බව පෙනේ. තවත් එක් කොටසක් මේ බිමේ වෙන්වී ඇත්තේ පලා වර්ග වෙනුවෙනි. ගොටුකොළ, සාරණ, නිවිති, කංකුන්, මුකුණුවැන්න වැනි පලා වර්ග රාශියකින් මේ බිම කොළ පැහැවී ඇත්තේ කාබනික පොහොර වර්ග පමණක් භාවිතයට ගනිමිනි.

මේ සියලු කටයුතු සඳහා සුරේන්ද්‍ර ගෝමස් මහතාට සහයෝගය හිමිවන්නේ ඔහුගේ දයාබර බිරියගෙන් සහ දරුවන්ගෙනි. ඉතාම සුන්දර වූ පරිසරයක ඉදි වූ මේ වගා බිම නිර්මාණය වී ඇත්තේ කොරටුව අසලින් ගලා යන කුඩා ඇළක් ද සමඟිනි. බැලූ බැලූ අත දකින්නට ඇත්තේ විවිධ වර්ගයේ එළවළු, පලතුරුය. ඔහුගේ දෑතින්ම වගාකළ මේ බිමේ අස්වැන්නෙන් කොටසක් ඔහු තම පවු‍ලේ ප්‍රයෝජනයට ගන්නා අතර ඉතිරි කොටස කොරටුවේදීම විකුණා මුදලක් උපයා ගනී. මෙලෙසින් වගාකර ආර්ථික වාසියක් හා ලාභයක් ගැනීම පමණක්ම අරමුණු නොවූ ගෝමස් මහතාගේ සිහිනය වී ඇත්තේ වස විසෙන් තොර එළවළු පරිභෝජනයට මිනිසුන්ට අවස්ථාව උදාකර දීමය. ඔහුගේ එම සංකල්පය පිළිබඳ හෙළි කළේ මෙලෙසිනි.

“පසුගිය කොරෝනා කාලය තමයි මට වගාවට වැඩිම උනන්දුවක් ඇති කළේ. මට ලොකු බයක් දැනුණා. මිනිසුන්ට කන්න දෙයක් නැති වෙයි කියලා. එහෙම වුණේ අපේ සමාජය තුළ තිබුණු ආකල්ප තමයි. මිනිසුන්ගේ මතයක් තිබුණා වගා කරලා ගොඩ යන්න බැහැ කියලා. කුඹුරු කොටල වැඩක් නැහැ, හරක් හදලා හරි යන්නේ නැහැ කියලා මිනිසුන්ගේ මනස තුළ තිබුණා. නමුත් කොරෝනා කාලෙදි මිනිස්සුන්ට කන්න නැති වෙයි කියලා හිතෙන කොට හැම කෙනෙක්ම වගා කරන්න පටන් ගත්තා.

මම හිතුවා මේ වසංගතය කාලේ මිනිස්සු 100කට හරි මම කන්න දෙනවා කියලා. ඒ උත්සාහය මම අද වනතෙක් අතහැරියේ නැහැ. ඇත්තටම කෘමි නාශක භාවිතය ගැන මට විශ්වාසයක් තිබුණේම නැති නිසා පාළු වෙලා තිබෙන මේ වගාබිමේ ඇළේ තියෙන ජපන් ජබර යොදාගෙන කාබනික පොහොර හැදුවා. ඒ පොහොර තමයි මම වගාවට යොදා ගත්තේ. දැන් මගේ වගාව ගැන මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් දන්නවා. ඒ නිසා මිනිස්සු මගේ කොරටුවටම ඇවිත් එළවළු මිලදී ගන්නවා. කවුරුත් කැමතියි නැවුම් එළවළු කොරටුවෙන්ම මිලදී ගන්න.“

සුරේන්ද්‍ර ගෝමස් මහතා මුදලට වඩා වගාවෙන් ලබන ආත්ම තෘප්තිය ඉතාම ඉහළය. රාජගිරිය වැනි නාගරික ප්‍රදේශයක ඔහු කරනු ලබන මේ වගා සංග්‍රාමය සැබැවින්ම රටටම ආදර්ශයකි. ඔහු තම දෑතේ මඩ තවරා ගන්නට ලජ්ජා නොවූ සැබෑම ගොවි මහතෙකු ලෙස අභිමානයෙන් යුතුව මෙම වගාව දෙස ආපසු හැරී බලයි. ඔහු වසර ගණනක් තුළ හෙළූ රන් දහඩියට නියම වටිනාකමක් හිමි වී තිබේ. ඔහුට ද තම පිය උරුමයෙන් හිමි වූ මේ විශාල බිම විකුණා ඉතාම පහසුවෙන් මුදලක් උපයා ගන්නට හැකියාව තිබිණි. ඒ අවස්ථාව අදට ද එලෙසින්ම ඉතිරිව තිබේ. නමුත් ඔහු ඒ සියල්ලටම වඩා අගය කරන්නේ ගොවි මහතෙකු ලෙස තම වෙහෙස මහන්සිය දහඩිය වගුරුවා ලබන සරු අස්වැන්නමයි.