ක්‍රිකට් අඹරට අලුතින් පායන පුංචි පැංචි මොනරාගල බට්ටි

අප්‍රේල් 22, 2024

 

පසුගියදා හම්බන්තොට, සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැතියේ උණුසුම් ක්‍රිකට් තරගාවලියකි. ඒ අවුරුදු 19න් පහළ තුන්කොන් විස්සයි විස්ස තරගයයි. ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ මේ තරගය සඳහා එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන ප්‍රබල රටවල කණ්ඩායම් එක්වූහ. මේ තරගාවලියේදී මුළු රටම කතා කරන්නට ගත්තේ මොනරාගල කට්ට කළු බට්ටි ගැනය. මේ පුංචි කෙළි පැටික්කිය ගැන කතා කරන්නට පූර්විකාව වන්නේ මේ ප්‍රබල කණ්ඩායම් දෙකම මවිත කරමින් ඇය යැවූ දඟපන්දු හමුවේ ලබාගත් කඩුලු සංඛ්‍යාවයි.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ගේ මුවඟට අනුකම්පාසහගත සිනහ උපදවන තරම් වූ මේ පුංචි කෙළි පැටික්කිය දෙස ඔවුන් බලා සිටියේ ඇය මේ ජාත්‍යන්තර තරගයට පැමිණියේ කෙසේදැයි සිතාගන්නට බැරි ලෙසිනි. ඒ තරමටම ඉතා සිහින් සිරුරක් හිමි පුංචි ක්‍රීඩිකාවගේ පන්දු යැවීමට තමුන්ට රිසිසේ පන්දුවට පහර දීමට පුල පුලා බලා සිටි ක්‍රීඩිකාවන්ට සිදු වූ දේ සිතා ගන්නටවත් බැරි තරම්ය. මේ පුංචි ක්‍රීඩිකාවගේ වමත් දඟ පන්දු යැවීම හමුවේ ඉතා අසරණ තත්ත්වයට පත් වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකාවන් ක්‍රීඩා පිටිය මැදට පැමිණ බලා සිටියේ පුදුමයෙනි. ඔස්ට්‍රේලියාවේ ප්‍රබලතම ක්‍රීඩිකාව වූ අමී ස්මිත්ගේ කඩුල්ල පන්දු බිඳ දමමින් ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණයට හරස් වූයේ මේ පුංචි ක්‍රීඩිකාවයි. ඇය හේවා මුණසිංහගේ චමුදි ප්‍රමෝදාය.

මුළු රටම දැන් කතා කරන මොනරාගල චමුදි උපත ලබන්නේ 2009 වසරේ අප්‍රේල් 25 දාය. වයස අවුරුදු 14 වැනි මේ පුංචි දැරිවිය මොනරාගල, කුඹුක්කන පඤ්ඤානන්ද මහ විදුහලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. වන මැද පිපි කුසුමක් ලෙසින් විකසිත වූ චමුදිට ක්‍රිකට් පිටියේ දිදුලන තරුවක් ලෙසින් බබළන්නට අවස්ථාව උදා වෙන්නේ අහඹු සිදුවීමකිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ හෂාන් තිලකරත්නගේ බිරිය මේ වනවිට ඉතා වටිනා සද්කාරයක නියැළෙයි. ඒ ශ්‍රී ලංකාවේ යොවුන් දක්ෂ ක්‍රීඩිකාවන් ක්‍රීඩකයන් සොයා යමින් ඔවුන් ඉදිරියට ගැනීමේ කටයුත්තයි. මෙවන් වූ මහඟු මෙ‍ෙහවරක් වෙනුවෙන් ක්‍රීඩාපිටියක් විවෘත කිරීම සඳහා ඇය එහි පැමිණියාය. එහිදී මේ පුංචි පැංචි ක්‍රීඩිකාවගේ හැකියාව ඇය මැනවින් හඳුනා ගත්තාය. ඉතා අහඹු ලෙස හමු වූ මේ වටිනා මැණික ඔපමට්ටම්කර ජාතික තලයට රැගෙන ආ අයුරු අප්සාරි තිලකරත්න මහත්මිය අපට හෙළි කළේ රාජකාරි මැද ලබාගත් ඇමතුමකට පිළිතුරු දෙමිනි.

“මම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ කැඳවුම්කාරිය ලෙසයි කටයුතු කරන්නේ. මේ වගකීම මට පැවරුවේ ක්‍රිකට් ආයතනයෙන්. මට ලොකු වගකීමක් ඔවුන් පවරලා තියෙනවා. ගමට ගිහින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකි දක්ෂ දරුවන් හඳුනාගෙන සංචිතගත කරමින් ඔවුන් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම තමයි මට පැවරිලා තිබෙන වගකීම. එහිදී අපි හැම ගමකම තියෙන පාසල්වලට ගිහින් ක්‍රිකට් ක්‍රීඩා කරන්න දක්ෂ දරුවන්ව හඳුනා ගන්නවා. ඉන්පසුව ඒ අයට ඉදිරියට එන්න මාර්ගය සකස්කර දෙනවා. මේ වැඩසටහන් මාලාවේ දින තුනක වැඩසටහනකට මම ගියා. ඒ ගිය වෙලාවේ තමයි චමුදි දුව මට හමුවුණේ. මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රිකට් සංගමයේ සභාපති, ලේකම් වැනි නිලධාරීන් සමඟ තමයි මම මේ පාසලට ගියේ. ඒ යන අවස්ථාවක චමුදි දුව ඉගෙනුම ලබන පඤඤානන්ද මහා විද්‍යාලයට පැති විකට්ටුවක් ලබාදීලා තිබුණා. මම ඇවිත් ඉන්නවා කිව්වාම ඒක විවෘත කරන්න මට ආරාධනය කළා. මේ විකට්ටුව විවෘත කරන්න පුංචි ගැහැනු දරුවෝ දෙන්නෙක් යොදවලා තිබුණා. ඒ කියන්නේ එක් දරුවෙක් බැට් කරනවා. අනෙක් දරුවා පන්දු යවනවා. ඇත්තටම ඒ බැට් කරපු දරුවත් හරි හොඳයි. ඒ වෙලාවේ චමුදි බෝල් කළා. එයා වේග පන්දු යැව්වෙ. හැබැයි හරි ලස්සනට ඉලක්කයට එයා පන්දුව දැම්මා. එතැන මම සමඟ පළාත් පුහුණුකාර කොඩිකාර මහත්තයා මා සමඟ හිටියා. මම ඇහැව්වා කොඩිකාර මේ දරුවා හරි ලස්සනට බෝල් කරනවා. ඔයා මෙයා මීට පෙර දැකලා තියෙනව ද කියලා. නැහැ මිස් අපිත් දැක්කේ අද තමයි කියලා ඔහු මට කිව්වා.

එතැන හිටියා ස්වේච්ඡාවෙන් මේ දරුවන්ට ක්‍රිකට් පුහුණු කරන කුමාර කියලා තරුණයෙක්. ඔහු දමිළ. ඔහුගේ රැකියාව ත්‍රීවිල් පැදවීම. එ්කෙන් ලැබෙන මුදලින් තමයි මේ දරුවන්ට බෝල අරන් දීලා උදවු කරන්නේ කියලා එතැන හිටිය අය මට කිව්වා. ඔහු උසස් පෙළත් සමත් තරුණයෙක්. ඊට පස්සේ මම දිස්ත්‍රික් පුහුණු කාර්ය මණ්ඩලයට මේ දරුවා භාර දුන්නා. ඒ දවස්වල චමුදිගේ වයස අවුරුදු 12යි. මට මතකයි චමුදිගේ මල්ලිත් වඩාගෙන අම්මත් එතැනට ඇවිත් හිටියා. මම අම්මත් එක්කත් කතා කළා.

මම අම්මාගෙන් ඇහැව්වා දුව ලස්සනට බෝල් කරනවා නේද කියලා. එතකොට එයා කිව්වා දරුවාගේ අතේ හැම වෙලාවෙම තියෙන්නේ බෝලයක් තමයි මැඩම්. අපේ දරුවාට ඉස්සරහට එන්න උදවු කරන්න කියලා. ඊට පස්සේ විදුහල්පතිතුමා සමඟ මම කතා කළා. මට මේ දරුවාගේ අනාගතය පේන නිසා මේ පාසල ඇතුළේම පුහුණු කරන්න ක්‍රමයක් යොදන්න කියලා ඉල්ලීමක් කළා. විදුහල්පතිතුමා කුමාරගේ තියෙන ගැටලුව මට කිව්වා ඔහුට කිසිම වැටුපක් නැතුව ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ කියලා. හෂාන්ගේ විදේශ රටක මිත්‍රයෙක් වෙන හසිත ඒකට උදවු කරන්න කැමැති වුණා. මම ඒ මුදල මාසයෙන් මාසෙට ගෙව්වා. මේ වගේම තවත් පාසලක් තිබුණා ලක්ෂපාන මහ විදුහල. ඒ පාසලෙත් මේ වගේම දරුවෙකුට උදවු කළා. එහෙම කරලා තමයි අපි මේ දරුවාව මෙතැනට ගෙනාවේ. අප්සාරි මහත්මියගේ සොයා ගැනීමත් සමඟ අපේ ක්‍රිකට් ක්‍රීඩා පිටිය පිළිබඳ අනාගත බලාපොරොත්තු තැබීමට අවස්ථාව උදා වී තිබේ. ඇය එතැනින් නොනැවතී ඇයගේ පුහුණුවීම් කටයුතු ගැන ද සොයා බැලීමට අමතක නොකළාය. ඒ ගැන අප්සාරි මහත්මිය මෙලෙසින් සඳහන් කළාය.

“මේ දරුවා පොඩි නිසා වේගපන්දු යැවීම ගැන කොඩිකාර මහත්තයා මට කතා කළා. දරුවාගේ පන්දු යැවීමේ ඉරියව් සියල්ල මට වීඩියෝ වලින් එව්වා. ඊට පස්සේ ඔහු දඟපන්දු පැත්තට දරුවා යොමු කරලා මට වීඩියෝ එවලා තිබුණා. චමුදි දුව පන්දු යවන ආකාරය මම හරිම ආසාවෙන් බලාගෙන හිටියේ මමත් මේ දරුවා මේ තැනට ගේන්න සම්මාදම් වුණා කියන පුංචි සතුටත් එක්ක. දරුවාට මම පුළුවන් ආකාරයට පෞද්ගලිකව උදවු කළා මේ දරුවා අපි ඉහළට ගේනවා. අපි සියලු දෙනා එකතුවෙලා ගමට යෑමේ ප්‍රතිඵලය තමයි අද මේ ලබන්නේ.

මේ දරුවන් ඉදිරියට ගේන්නේ විදුහල්පතිවරු, මවුපියන් අපි පිළිබඳ විශාල විශ්වාසයකින්. අපි ගැහැනු දරුවෝ කොළඹට පුහුණුවට ගේන්නෙ නැහැ. ඒ පළාතෙම පුහුණුකරුවන් යටතේ පුහුණු කරනවා. මෙහිදී අපට තේරීම් කමිටුව විශාල සහයෝගයක් දක්වනවා. මේ කටයුත්ත ලේසි නැහැ. අපි විශාල කැපවීමක් කරමින් තමයි ඈත දුෂ්කර ප්‍රදේශවලට යන්නේ. සමහර පැතිවල රෑට යන්න බැහැ අලි ඉන්නවා. හරිම දුෂ්කරයි. නමුත් අපි ඒ දුෂ්කරතා ගැන නොසිතා හැම ගමකටම යනවා. මේ ගම්වල මිනිස්සු ගතිගුණ අතින් පොහොසත්. ඒ වගේම දරුවෝ හරිම දක්ෂයි. චමුදි වගේ දක්ෂ දරුවො තව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ඉන්නවා. ඒ දරුවොත් නිසි වෙලාවට එළියට ඇවිත් දස්කම් පෙන්නයි. ඒක තමයි අපේ එකම සිහිනය.

අප්සාරි තිලකරත්න මහත්මියගේ උත්සාහයේ ප්‍රතිඵල දකින්නට තවත් කාලය මදිය. චමුදි වැනි දරුවන් තවතවත් මේ ලක් දෙරණේ නාමය ජාත්‍යන්තරය දක්වා රැගෙන යන්නට පෙරට එන දිනය වැඩි ඈතක නොවනු අැත.

චමුදිගේ දක්ෂතාව වෙනුවෙන් දැවැන්තම කැපවීමකර ඇත්තේ ඇයගේ ආදරණීය මවයි. ඇය තම දරුවාගේ හැකියාව දැක සතුටු කඳුළු වගුරවන්නීය. ඒ කඳුළු අතුරින් ඇයගේ සතුට අපට සඳහන් කළේ මෙලෙසිනි.

“අපිට ඇත්තටම දරුවා ඉදිරියට ගේන්න ලොකු වත්කමක් තිබුණේ නැහැ. සැමියා පොඩි කඩයක රස්සාව කරනවා. ඒකෙන් තමයි දරුවෝ තුන්දෙනාගෙම අධ්‍යාපන කටයුතු කළේ. මේ හැම දෙයක්ම කරගන්න බැරි තැන දරුවාගේ ක්‍රීඩා වැඩවලට වියදම් කරන්න අපට තිබුණු ඉඩමක් විකුණුවා. මට ඉඩමට වඩා වටින්නේ දරුවාගේ අනාගතය. දරුවා හොඳ තැනකට එනවා නම් අපි ඕනෑම කැපකිරීමක් කරනවා. අපේ ලොකු දුව නර්සින් විභාගය ලිව්වා. තව අපට පුතෙක් ඉන්නවා. ඇත්තට පුංචි කාලෙ ඉඳලා පොඩි දුව ක්‍රිකට්වලට ආසයි . එයා බෝල් දාන්න ඉගෙන ගත්තේ ටීවී එක බලා ඉඳලා. ගෙදර මිදුලේ කට්ටිය එක්ක සෙල්ලම් කරන වෙලාවට මම බලාගෙන ඉන්නවා දුවගේ හැකියාව. ඒත් අපට මේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා හිතාගන්න බැහැ. ඇත්තට අප්සාරි මැඩම්. දරුවාගේ හැකියාව දැකපු දවසේම මැඩම් මට දරුවා ගැන කතා කළා. ඒ වගේ දරුවාගේ පාසලේ විදුහල්පතිතුමා, කොඩිකාර සර් මේ කුමාර සර්, හැම කෙනෙක්ම දරුවාට ඉදිරියට එන්න උදව් කළා. මගේ එකම හීනය අපේ දරුවා ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරනවා දැකිම තමයි

චමුදිගේ මවගේ සිහිනය වී ඇත්තේ ඇය ක්‍රීඩාවේ තරුවක් ලෙසින් එළිය දැකීමය. ඒ වෙනුවෙන් මඟ අැයට විවෘතව තිබේ. චමුදි තම හැකියාව තුළින් කැපවීමෙන් ක්‍රීඩා කර අනාගතයේ ශ්‍රීලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නියක ලෙසින් දැකගැනීමට හැකිවීම අප සැමගේම සිහිනයයි.

 

සටහන

දුමින්ද කාරියවසම්

වැල්ලවාය විශේෂ අයි.ආර්. ගරුසිංහ