තරුණී මාධ්‍ය අනුග්‍රහයෙන් හැඩ වූ ජාතික රූපවාහිනියේ රූ කිරුළ - 2024

කුමර කුමරියෝ කිරුළ පලඳති
අප්‍රේල් 22, 2024

ඔබේ ආදරණීය කාන්තා පුවත්පත තරුණී හා ජාතික රූපවාහිනිය මාධ්‍ය සුසංයෝගයෙන් සංවිධානය කළ රූ කිරුළ - 2024 අවුරුදු කුමරා සහ කුමරිය තිසුරි - රවිඳුගේ සොඳුරු රුවෙන් මෙවර තරුණී කවරය හැඩ වේ.

තරගකාරියන් 14000ක් හා තරගකරුවන් 3700ක් අතරින් කුමරියන් 2000ක් සහ කුමරුන් 1000ක් මුල් වටයෙන් තෝරාගත් අතර තරග වට කිහිපයකින් අනතුරුව අවසන් මහා තරගය සඳහා කුමරන් - කුමරියන් 24 දෙනකු තරග වදින ලදී. දින 50ක් තුළ පැවැති පුහුණු වැඩමුළුවලින් අනතුරුව 14 වැනි දින උත්කර්ෂවත් අවසන් තරගය පැවැත්විය.

මෙම රූ කිරුළ තරගාවලියේ නිර්මාණ අධ්‍යක්ෂණය පැතුම් සසංක විසින් සිදුකළ අතර නිරූපණ වින්‍යාස අධ්‍යක්ෂණය රොසෑන් ඩයස් විසින් සිදු කරනු ලැබීය. නර්තන අධ්‍යක්ෂණය චන්න විජේවර්ධනයන් ගෙනි. විනිසුරු මඬුල්ල වශයෙන් ප්‍රවීණ නිරූපණ වින්‍යාස අධ්‍යක්ෂ රොසෑන් ඩයස්, ප්‍රවීණ නර්තනවේදී චන්න විජේවර්ධන, ප්‍රවීණ රංගන ශිල්පීන් වන ධනංජය සිරිවර්ධන, රොෂාන් රණවන, උදාරි පෙරේරා, සංජානි ඔනාලි සමඟ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීෂා ද සිල්වා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. ජයග්‍රාහී රූ කුමරිය තිසුරිට කිරුළ පැලඳවීම පසුගිය වසරේ රූ කුමරියවන චාමිණී වික්‍රමසිංහ විසින් සිදුකළ අතර ජයග්‍රාහි කුමරු රවිඳුට කුමාර මාලය පැලඳවීම පසුගිය වසරේ කුමරා වන ප්‍රශාන් සිල්වා විසින් සිදුකරන ලදී. ජයග්‍රාහකයන්ට උර පලඳනා සහ ත්‍යාග ප්‍රදානය ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ රූපවාහිනී සංස්ථා සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහත්වරුන් අතින් සිදු කෙරිණි.

 

 

ඡායාරූප - සුලෝචන ගමගේ