සඳුන් කපුරු සුවඳ පිරුණු යාල්පානමේ සිරි විසිතුරු බලමින් යන ගමනක අරුමේ

ජුනි 3, 2024

 

ට්‍රිප් එකක් කියන්නෙ ඉතින් ජීවිතේ ගොඩක් කල් ප්ලෑන් කරල යන ගමනක්. පවුලෙ උදවිය, යාළුවො කට්ටිය වගේම නෑදෑ පිරිවර එක්ක ට්‍රිප් ප්ලෑන් කරන අපි හැම වෙලාවෙම බලන්නේ යන ගමනෙ උපරිම සතුට, විනෝදය වගේම නිදහස විඳගන්න. අන්න ඒකට යන ගමන ප්ලෑන් කරන එක ගොඩක්ම වැදගත්.

 

දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියල කතාවක් තියෙනවනේ. ඒක පොඩ්ඩක් එදාට වඩා අද වෙනස්. ඒ කියන්නෙ දැනගෙන ගියත් අද අතරමං වෙන්න පුළුවන් නිසයි.

අද අපි ඔයාට කියන්නේ හරියටම දැනගෙන අවබෝධයෙන් යන්න ඕනෙ වෙනස්ම සොඳුරු අමිල වටිනාකමක් එක් කරන ගමනක් ගැන.අද අපි ඔබව එක්කන් යන්නෙ යාපනේට.එහෙනම් අපි යාපනේට ආදරයෙන් පාද තබමු.

යාපනේ කියන්නෙ අපේ රටේ වෙනම පාරාදීසයක්. වෙනම සංස්කෘතියක්, වෙනම භූගෝලීය පිහිටීමක් වගේම බලන්න ගොඩක් තැන් යාපනේ තියෙනවා. ඒ වගේම මේ අර්ධද්වීපයේ ආවේණික කෑමබීම වර්ගත් ඕනෙ තරම්.

මේ ගමන යන්න පුළුවන් ක්‍රමත් කීපයක්ම තියෙනවා. බොහෝදෙනෙක් දැන් යාපනේ යන්නෙ කෝච්චියෙන්. රෑ කෝච්චියට ගොඩවෙලා පොඩි නින්දක් දාගෙන උදේ පාන්දරම යාපනෙන් බහින සංචාරකයෝ බොහෝමයි. ඒ වගේම යාපනේ යන බස් එකක් තමන්ගේ ගමනට යොදාගන්න පිරිසුත් ඉන්නවා. ඒවගේම සමහර පිරිස් තමන්ගෙම හරි කුලියට ගත්ත වාහනේක හරි යාපනේට එනවා. මේ මොකේ ආවත් බලන්න තියෙන තැන් ටික මිස් වු‍ණොත් ගමන ලොස්.

අන්න එහෙම ගමන ලොස් වෙන්නෙ නැතුව යන්න තමයි මේ ගයිඩ් ලයින් එක අපි ඔයාලට හදලා දෙන්නෙ.

 

කෝච්චියේ ගියත්, බස් එකේ ගියත් යාපනේ නරඹන්න පුළුවන් කුලී රථ ඕනෙ තරම් තියෙනවා. යාපනේ වටේ රවුම් ගහන්න A/C වෑන් එකක් ගන්න පුළුවන් නම් ඒක වැදගත්. මොකද ඒ තරමට රස්නේ යාපනේ කූල් එකේ ඇවිදින එක තමා ගමනේ විනෝදේ.

 

කොටුව බලල පටන් ගන්න

යාපනේට එන යන සංචාරකයෙක් ලන්දේසි කොටුවට ගොඩවෙලා එහි අසිරිය විඳින්න අමතක කරන්නෙම නැහැ. කොටුවෙලා තියෙන ජීවිතවලට වියළි කරදිය සුළඟක සිහිල ලබන්න ලන්දේසි කොටුව කදිම තැනක්. පෘතුගීසි, ලන්දේසි වගේම බ්‍රිතාන්‍ය ජාතිකයන් ප්‍රයෝජනයට ගත්තු යාපනේ කොටුව ඇතුළෙ පරිපාලන ගොඩනැඟිලි, පල්ලිවල නටබුන් වගේම අලංකාර දිය අගල් නරඹන්නටත් පුළුවන්. මේ ගෘහ නිර්මාණ සංස්කෘතික නරඹන අපට වැටහෙන්නේ එදා මේ කොටුව කොතරම් ගාම්භීරව, ප්‍රතාපවත්ව නැඟී සිටින්නට ඇත්ද යනවග.

 

දැනුම බෙදන ශ්වේත මැඳුර

 

යාපනේ කොටුවෙ ඉඳන් අවට සිරි නරඹන ඕනෙම කෙනෙකුට ශ්වේත වර්ණයෙන් විරාජමානව වැජඹෙන යාපනයේ පුස්තකාලය දකින්නට පුළුවන්. කොටුවෙන් සමු අරන් පුස්තකාලය ළඟට යන ඔබට මෝගල් සම්ප්‍රදායට අනුව ඉදිකරන ලද එදා ආසියාවේ විශාලතම පුස්තකාලය දකින්නට පුළුවන්. 1955 මාර්තු 29 දා ඇල්ෆර්ඩ් දොරේ අප්පා විසින් මුල්ගල් තබා ඉදිකරපු මේ පුස්තකාලය 1981 ජූලි 01 දා දැවී ගියේ අපේ රටට ලොකුම දැනුම ගබඩාව අහිමි කරමින්.

 

මතක රකින කදිම කුලුන

 

පුස්තකාලයට නැ‍ෙඟනහිරින් පෙනෙන යාපනේ ඔරලෝසු කණුවත් බලන්නම වටින තැනක්. 1875 වේල්සයේ කුමාර‍යාගේ ලංකාගමනය සිහිවීමට 1877 වසරේදී මේ ඔරලෝසු කණුව ඉදි වූ බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. යාපනයේ ගාම්භීරත්වය මේ මහා ඔරලෝසු කණුව හරහාත් දැකගන්න පුළුවන්.

 

සංග්ලියන් මැඳුරත් බලන්න

 

යාපනය සංචාරයේදී බොහෝදෙනකුට මඟහැරෙන තැනක් තමයි සංග්ලියන් මාලිගාව.

සංග්ලියන් මාලිගාව බලන්නත් අමතක කරන්න එපා. යාපනයේ රජ කළ සංග්ලියන් රජුගේ මාලිගය ලෙස සැලකෙන මෙම පුරාවිද්‍යා ස්මාරකය තුළදී අලංකාර ලී කැටයම් වගේම මෝගල් සම්ප්‍රදාය මූලික කොටගත් ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමත් නරඹන්න පුළුවන්.මේ අලංකාර මාලිගය බොහෝදෙනකුට මඟ හැරෙන්නට ප්‍රධානතම හේතුව වන්නේ එය යාපනය ප්‍රධාන සංචාරක මාර්ගයෙන් ඈත්ව පිහිටීම නිසාමයි. මන්ත්‍රී මාලිගාව ලෙසත් හඳුන්වන මේ අපූරු මාලිගාව දැක බලා ගන්නත් මේ ගමනේ ගමන් ලැයිස්තුවට දාගන්න.

 

නළල් පටියටත් වඳින්න

 

හින්දු සංස්කෘතියේ නළල් පටය ලෙස හඳුන්වනු ලබන නල්ලූර් කෝවිල යාපනය සංචාරය සඳහා යන සියලු ආගමික බැතිමතුනගේ ගෞරවාදරයට සහ භක්ති වන්දනාවට ලක් වේ. යාපනයට යන සෑම සංචාරකයකුම නල්ලූර් වන්දනාවට පේවෙති.

යාපනයේ නගර සංචාරයේදී හමුවන නල්ලූර් කන්දස්වාමි කෝවිලත් ආගමික වශයෙන් මෙන්ම නිර්මාණාත්මක අතින්ද වැදගත් තැනක්. කෝට්ටේ රජ කළ හයවැනි බුවනෙකබා රජතුමා විසින් ඉදිකළා යයි කියන නල්ලූර් කෝවිලේ කපුරු සුවඳ මේ ගමනට තවත් ජවයක් එක් කරනු නියතයි.

 

යමුනරි පොකුණේ කොළ පෙන අතරේ

 

නල්ලූර් කෝවිලට මීටර් 800ක විතර දුරින් පිහිටන යමුනරි පොකුණත් නැරඹිය යුතුමයි. යමුනරි පොකු‍ණේ යමුනා නදියේ මෙන්ම ශුද්ධ දිය ඇති බවට විශ්වාසයක් හා ජනප්‍රවාදයත් යාපනයේ ජනතාව අතර අදටත් පවතිනවා. 1478 දී පරරාජසේකරන් රජු විසින් මේ පොකුණ ඉදිකළා කියලයි ඉතිහාස කතාවල කියවෙන්නෙ.

 

හවසට නාගන්න කැෂුවරිනා යන්න

 

නගර සංචාරයෙන් පස්සෙ හවසට නාගන්න හැමෝම යන්නෙ කැෂුවරිනා බීච් එකට. යාපනේ ඉඳන් එතරම්ම දුරක් නෑ. දළ වශයෙන් කිලෝමීටර 34යි. වාහ‍ෙන්ක පැය බාගෙ ගමනක්. ඉතාමත් අලංකාර මේ වෙරළ තීරයේ බය නැතුව නාගන්න පුළුවන්. ඒ වගේම කොරල් බලන්නත් බොහෝ දෙනෙක් මෙතැනට එනවා.

මේ බීච් එක සංචාරකයන් අතර ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නොගැඹුරු සිඳු තටාකයක් ලෙසටයි.

 

නිදහසේ නිස්කලංක හුස්මක් අරන් ගතේ වෙහෙස වගේම හිතේ මහන්සියත් නිවාගන්න මෙතැන කියාපු තැනක්.

 

නගුලේෂ්වරන් කෝවිල

 

යාපනයේ සංචාරයේදී අපට හමුවන ගොඩක් සංචාරක ස්ථාන සුප්‍රසිද්ධ ආගමික සංධිස්ථාන විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. නගුලේෂ්වරන් කෝවිල කියන්නෙත් අන්න ඒ වගේ පෞරාණිකම තැනක්. මේ දේවස්ථානයේ ශිව දෙවියන් වෙනුවෙන් දිනපතා කරනු ලබන යාතිකාව ඕනෑම ආගමක් අදහන්නකුගේ මනසට ගෙනෙන්නේ නිදහසක්. ඒ වගේම ඒ බැතිබර ශාන්තිය යාපනය සංචාරයේ පුරාවට වගේම ජීවිත කාලය පුරාවටම ඔබට දැනේවී.

 

පොකුණේ කීරමලේ පිරිසුදු ජලේ බලේ

 

යාපනේ යන හැමෝම කීරමලේ පොකුණේ ගිලිලා නාගන්න අමතක කරන්නෙ නැහැ. නගුලේෂ්වරන් කෝවිල ළඟ ඉඳන් මීටර් 200ක් විතර ගියහම හම්බවෙන කීරමලේ කියන්නෙ වෙනස්ම විදිහට හැදිච්ච පොකුණක්. පිරිසුදු මුහුදු දිය ගත සිහිල් කරන මේ පොකුණ ලොව පුරාම ජනතාවගේ අවධානයට පාත්‍රවෙලා තියෙන්නෙ මේ පොකුණෙන් නාගත්තම ලෙඩරෝග සුවවන බවට ඇති විශ්වාසය නිසාමයි.

 

 

බුදුන් වැඩිය නාගදීපය

 

යාපනේට යන හැමෝම නාගදීපෙ යන්නත් අමතක කරන්නෙ නැහැ. කුරිකඩ්ඩුවාන් ජැටියෙන් ගමන් අරඹන බෝට්ටු සේවාවෙන් නාගදීපයත් වැඳල නාගපුශානි අම්මාන් කෝවිලටත් ගිහින් එන්න පුළුවන්.

 

කුරිකඩ්ඩුවාන් ජැටියෙන් නාගදීපෙට වගේම ඩෙල්ෆ් දූපතටත් බෝට්ටු සේවාවක් ඇ‍රඹෙනවා. ඒත් ඩෙල්ෆ් වෙතට යන විශාල බෝට්ටු පිටවෙන්නෙ කාලසටහනකට අනුව. යාපනේට යන බොහෝ දෙනෙක් නොයන යා ඒත් යුතු තැනක් තමයි ඩෙල්ෆ්. පැය එකහමාරක විතර මුහුදු ගමන වගේම ඩෙල්ෆ්වල හමුවන නටබුන්, ගැමියන් මේ ගමනට එකතු කරන්නෙ අමිල වටිනාකමක්. ඩෙල්ෆ් යනවා කියන්නෙ හරියට වෙනම රටකට යනවා වගේ තමයි.

 

තෝසේ වඩේ කාලා රස බලන්න

 

දැන් ගමනෙ මහන්සියත් එක්ක බඩගින්නකුත් එන්න පුළුවන්. හැමදාම බත් ගිලින නිසා යාපනේදි හොඳ උළුඳු පිටි දාපු තෝසයක් කන්නත් අවස්ථාව උදාවෙනවා. යාපනේට යන බොහෝදෙනෙක් තෝසයක් වඩයක් කාලා එළකිරි කාලක් බොන්න යන්නේ මලයාන් කැෆේ එකට. මලයාන් කියන්නේ ලංකාවේ පරණම තෝසේ කඩේ කියලයි කියන්නේ. එතැනදි කෙසෙල් කොළේ දාපු විවිධ වර්ගවල තෝසෙ කන්න පුළුවන්.

 

දඹකොළපටුනටත් යන්න

 

දඹකොළපටුන හා සංඝමිත්ත‍ා මෙහෙණින් වහන්සේ මෙරටට ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීම ගැන සබඳතාව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතිහාසයේ කියැවෙන මේ ‍‍ෙඑතිහාසික භූමිය දැක බලාගන්නටත් යාපනේට යන ඕනෑම කෙනෙකුට අවස්ථාව තිබෙනවා.

 

පේදුරුතුඩුවත් බලන්න

 

‍ෙකළවරක් නැති චාරිකා ගොඩක කෙළවරක් දකින්න ඔයාට පුළුවන්. හැබැයි මේක ලංකාවේ උතුරු කෙළවර. ඒ තමයි පේදුරුතුඩුව. යාපනේ ඉඳන් කිලෝමීටර 35ක් විතර දුරින් පිහිටන පේදුරුතුඩුව බලන්නත් යන්න අමතක කරන්න එපා. පේදුරුතුඩුව බලල එන ගමන් හොඳ කට්ට කරවල ටිකක් ලාභෙට ගන්නත් පුළුවන්.

 

කදුරුගොඩට වැඳලා එන්න

 

යාපනේ ඉඳන් කන්කසන්තුරේ පාරේ හමුවෙන කඳුරුගොඩ විහාරය බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් දැකිය හැකි පුරාවිද්‍යා භූමියක්. බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනේදී මෙම ස්ථානයේ විඩා නිවූ බවත් ජනප්‍රවාදවල කියැවෙනවා. වෙනස්ම ආකාරයේ චෛත්‍ය සංකීර්ණයකින් යුතු මේ බිම අපවත් වූ රහතන් වහන්සේලාගේ ධාතු තැන්පත්කොට තැනූ චෛත්‍යවලින් නිර්මාණය වූ බවට ඉතිහාසඥයන් මත පළකොට තිබෙනවා. විවිධ ප්‍රමාණයේ ශෛලමය ස්තූප 50කට අධික ප්‍රමාණයක් මෙම බිමේදී දැකිය හැකියි.

 

ඒ වගේම යාපනේට යන සංචාරකයො නලවර ළිඳ ළඟට යන්න

 

නලවර ළිඳ බලන්නත් යන්නට ඕනෙ. නලවර, නීලවෛරයි, පතුලක් නැති ළිඳ ආදී නම් කිහිපයකින් මෙය හඳුන්වනවා. හුණුගල්වලින් නිර්මාණය වූවායයි කියන මේ පොකුණෙ පතුලක් නෑ කියලා විශ්වාසයක් තියෙනවා. මේ ළි‍ඳේ පතුල හොයන්න ගිහින් ජීවිතේට සමුදුන්න පිරිසකුත් ඉන්නවා. ඔවුන් කිහිපදෙනකුගේ නම් මේ ළිඳ අසල ලියලා තියෙනවා.

 

නෙල්ලිඅඩිය නෙල්ලි රසේ

 

යාපනේ හැදෙන මිදි පොකුරක රහ බලන්නත් මේ ගමනෙදි අමතක කරන්න එපා. යාපනේ මාර්කට් එකේ ඇවිදින ගමන් මිදි වගේම යාපනේට ආවේණික පේදුරු වඩේ, අග්ගලා, කොට්ටකිලංගු, තම්බපු කොට්ටකිලංගු තල්පිනාටු, නෙල්ලි ජූස් ටිකක් රහ බලන්නත් පුළුවන්. යාපනයේ යන ගමනේදී නෙල්ලි අඩියේදී ලංකාවේ රසම රස නෙල්ලි, මිදි වගේ ජූස් වර්ගත් රහ බලන්න පුළුවන්

 

කටට රසට හැඟුම් ගේන යාපනයේ පුදුම කෑම

 

මස් මාංස කන කෙනෙකුට ඉස්සො , දැල්ලො, කකුළුවො වගේම එළු මසුත් යාපනේ තියෙනවා. පොඩි විනෝදයක් ගන්න අයට තල් අරක්කු, තල් රා යාපනේට ආවේණික දේවල්. ඒ වගේම යාපනයට ආවේණික කූල් එකක රහ බලන්නත් මේ ගමනෙදී අමතක කරන්න එපා. කූල් කියන්නේ යාපනයට ආවේණික අමුතුම විදිහේ සුප් වර්ගයක්. සී ෆුඩ්, මුරුංගා කොළ, සියඹලා, මිරිස් වර්ග දාලා කායම් හොද්දක් වගේ හදන කූල් එක යාපනයේ ගමනට අමුතුම ෆීල් එකක් ගෙනේවී. මේ ගමනෙදි ඔයා මතක තියාගන්න ඕනේ ලොකුම කාරණය තමයි හැම නිතරම මඟතොට දන්න අය එක්ක අදහස් හුවමාරු කරගන්න එක. අපි ඇවිත් ඉන්නේ නොදන්න පළාතකට කියලා මතක තියාගත්තොත් අමතක නොවෙන මතක ටිකක් අරන් එන්න ඔයාට පුළුවන් වේවි. අපි මේ දුන්නේ යාපනයේ යන්න පොඩි උත්තේජනයක් විතරයි. ඒ උත්තේජනය ජීවිතයේ ඉමිහිරි මතක අතරට එක්කර ගන්න එක ඔයාගේ වගකීමක්.

 

එහෙනම් ඔයාට සුබ ගමන්!